
2021 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටය නියෝජනය කළ කණ්ඩායම්හි උපරිම දක්ෂතා දැක්වූ ක්‍රීඩකයන් 11දෙනෙක් එක් කර ක්‍රිකට් කණ්ඩායමක් නම් කරන්නට ලෝක පූජිත සඟරාවක් වන විස්ඩන් සඟරාව පසුගියදා කටයුතු කළේ ය. ඒ අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයන් තිදෙනෙක්ද වෙයි. පන්දු යැවීමේ බලඇණිය නියෝජනය කරමින් මහීෂ් තීක්ෂණ, ළහිරු කුමාර සහ තුන් ඉරියව් අංශය නියෝජනය කරමින් වනිදු හසරංග විස්ඩන් නම් කළ ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෝ වෙති. ඔවුන් තිදෙනාද ඇතුළුව විස්ඩන් සඟරාව නම් කළ ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් මෙසේ පෙළගැස්විය හැකිය.
මැක්ස් ඔඩවුඩ්
නෙදර්ලන්තය නියෝජනය කළ මැක්ස් ඔතොඩවුඩ් මූලික වටයේදී අර්ධ ශතක 2ක් වාර් තා කරන්නට සමත් විය. මූලික වටය පුරා ඔහු ලකුණු 123ක් රැස් කරන්නට සමත් විය. විස්ඩන් නම් කළ කණ්ඩායමේ පිතිකරණ අංශය නියෝජනය කරන මැක්ස් එහි ආරම්භක පිතිකරුවාද වෙයි.
ජතීන්ද්‍ර සින්ග්
ලෝක කුසලාන මූලික වටයේදී ඕමාන් සුපිරි පිතිකරු ජතීන්ද්‍ර සින්ග් ද කැපී පෙනෙන පිතිහරඹයක නිරත විය. ඔහු එහිදී අර්ධ ශතකයක් ද සමඟ ලකුණු 113ක් රැස් කරන්නට සමත් විය. ඔහු නියෝජනය කරන්නේද විස්ඩන් සමාජය නම් කළ ක්‍රිකට් පිලේ පිතිකරණ අංශයයි.
ග්‍රෙහාඩ් ඉරාස්මස්
මූලික වටයේ තරගවල දී නැම්බියානු ක්‍රීඩක ග්‍රෙහාඩ් ඉරාස්මස්ගේ පිතිකර-ණයද වඩාත් කැපී පෙනුණි. අර්ධ ශතකයක් ද සමඟින් මූලික වටයේ තරගවල දී ලකුණු 105ක් රැස් කළ ඉරාස්මස් විස්ඩන් ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ බලඇණිය නියෝජනය කරයි.
රිචී බෙරින්ටන්
ස්කොට්ලන්තය නියෝජනය කරන රිචී බෙරින්ටන්ගේ පිතිකරණ දක්ෂතාද ලෝක කුසලාන මූලික වටයෙහි කැපී පෙනුණි. ඔහු අර්ධ ශතකයක්ද සමඟින් මූලික වටයේ තරග ත්‍රිත්වයෙහි ලකුණු 103ක් රැස් කරන්නට සමත් විය. හෙතෙම නියෝජනය කරන්නේ ද විස්ඩන් ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ බලඇණියයි.
ශකීබ් අල් හසන්
බංග්ලාදේශ සුපිරි ක්‍රීඩක ශකීබ් අල් හසන්ගේ දක්ෂතාද මූලික වටයේ තරගවල දී වඩාත් ඉස්මතුව පෙනුණි. පිතිකරණයෙන් ලකුණු 108 ක් මෙන්ම පන්දු යැවීමෙන් කඩුලු 9ක් බිඳ හෙලූ ශකීබ් විස්ඩන් ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩකයෙකි.
ඩේවිඩ් වීස්
නැම්බියානු ක්‍රීඩක ඩේවිඩ් වීස්ද මූලික වටයේ තරගවල දී දක්ෂතා අතර කැපී පෙනුණි. ඔහු පිතිකරණයෙන් අර්ධ ශතකයක් ද සමඟ ලකුණු 100ක් ලබාගත් අතර පන්දු යැවීමෙන්ද කඩුලු 3ක් දවාගන්නට සමත් විය. වීස්, විස්ඩන් කණ්ඩායමේ තුන් ඉරියව් අංශය නියෝජනය කරයි.
වනිඳු හසරංග
සුපිරි 12 වටයට අපරාජිතව එක් වුුණු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙස විස්ඩන් කණ්ඩායමට ඇතුළත් කර ඇති වනිඳු හසරංග මූලික වටයේ තරග ත්‍රිත්වයේ දී අර්ධ ශතකයක්ද සමඟ ලකුණු 71ක් ලබා ගන්නට සමත් විය. එපමණක් නොව පන්දු යැවීමෙන් කඩුලු 6ක් බිද හෙළන්නටද වනිඳු සමත් විය. එහිදී නැම්බියාවට එරෙහිව ලකුණු 24කට කඩුලු 2ක්ද අයර් ලන්තයට එරෙහිව ලකුණු 12කට කඩුල්ලක්ද නෙදර්ලන්තයට එරෙහිව ලකුණු 9කට කඩුලු 3ක්ද බිඳ හෙළුවේය. අයර්ලන්තය සමඟ පැවති තරගයේ වීරයා වන්නටද වනිඳු සමත් විය.
මැට් ක්‍රොස්
විස්ඩන් සමාජය නම් කළ කණ්ඩායමේ කඩුලු රකින්නා වන්නේ මැට් ක්‍රොස්ය. ස්කොට්ලන්තය නියෝජනය කළ ඔහු මූලික වටයේ තරගවල දී ලකුණු 82ක් ලබාගෙන ඇති අතර කඩුුලු රකින්නෙක් ලෙස උඩ පන්දු 3ක් සහ ස්ටම්ප් කිරීමකට ද දායක වී ඇත.
ජෝස් ඩේවේ
ස්කොට්ලන්තය වෙනුවෙන් ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරගවල දී කඩුලු 8ක් බිඳ හෙළන්නට සමත් වූ ජෝස් ඩේවේද විස්ඩන් නම් කළ ක්‍රිකට් පිලේ පන්දු යැවීමේ බලඇණිය නියෝජනය කරයි.
මහීෂ් තීක්ෂණ
විස්ඩන් සමාජය නම් කළ කණ්ඩායම නියෝජනය කරන දෙවැනි ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන්නේ මහීෂ් තීක්ෂණ ය. මූලික වටයේ තරග ත්‍රිත්වයේ දී හෙතෙම කඩුලු 8ක් බිඳ හෙළීය. මහීෂ් නැම්බියාවට එරෙහිව ලකුණු 25කට කඩුලු 3ක් ද අයර්ලන්තයට එරෙහිව ලකුණු 17ට කඩුලු 3ක්ද නෙදර්-ලන්තයට එරෙහිව ලකුණු 3කට කඩුලු 2ක්ද බිඳහෙළුවේය. නැම්බියාව සමඟ පැවති තරගයේ විරයා වූයේද මහීෂ් ය. කැරම් පන්දුවෙන් විස්මිත දස්කම් පාන මහීෂ් විස්ඩන් පිලේ පන්දු යැවීමේ බලඇණිය නියෝජනය කරයි.
ළහිරු කුමාර
විස්ඩන් ක්‍රිකට් පිලේ තුන්වන ශ්‍රී ලාංකික නියෝජනය වන්නේ ළහිරු කුමාරය. ඔහු මූලික වටය පුරාවට කඩුලු 7ක් බිඳ හෙළන්නට සමත් විය. ඔහු, මූලික වටයේ පළමු තරගයේදී නැම්බියාවට එරෙහිව ලකුණු 9කට කඩුලු 2ක්ද අයර්ලන්තයට එරෙහිව ලකුණු 22කට කඩුලු 2ක් ද නෙදර්ලන්තයට එරෙහිව ලකුණු 7කට කඩුලු 3ක්ද බිඳ හෙළුවේය. නෙදර් ලන්තය සමඟ පැවති තරගයේ වීරයා වන්නටද හෙතෙම සමත් විය.
පසිඳු මිහිරාන් රැටියල