
ලෝක කුසලාන සත් සමාජික රග්බි තරගාවලියේ සුදුසුකම් ලබාගැනීමේ තරග වටයටත්, පොදු රාජ්‍ය මණ්ඩලයීය තරගාවලිය වෙනුවෙනුත් ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම සඳහා නව පුහුණු අධ්‍යක්ෂවරයකු පත්කර තිබේ.
ශ්‍රී ලංකා රග්බි සංගමය විසින් පසුගිය දා කොළඹ රමාඩා හෝටලයේ දී පැවැති මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය කරනු ලැබිණි. මෙම තරගාවලි වෙනුවෙන් ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවට අනුග්‍රහය දැක්වීමට “මූස් ක්ලෝතින් සමාගම “ ද ඉදිරිපත්ව ඇත.
'අපි වසංගත තත්ත්වය හමුවේ පසු බෑ ක්‍රීඩාව යළි ඉදිරියට ගැනීමට නව පුහුණු අධ්‍යක්ෂවරයකුගේ සේවය ගන්න සැලසුම් කළා. සත් සමාජික රග්බි ක්‍රීඩාවේ අති දක්ෂයෙක් වන බෙන් ගෝලින්ස් ගේ සේවය අපි ලබාගෙන තිබෙනවා. ඔහු යටතේ නිල්ෆර් ඉබ්‍රාහිම් මහතා පුහුණුකරු වශයෙන් කටයුතු කිරීමට නියමිතයි. පොදුරාජ්‍ය මණ්ඩලිය තරගාවලිය උදෙසාත් කණ්ඩායම පුහුණු කිරිමේ වගකීම මේ දෙපල විසින් දරණු ලබනවා.' යැයි ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ සභාපති රිස්ලී ඉල්යාස් පැවසී ය.
මෙම අවස්ථාව සඳහා සහභාගි වූ ආසියා රග්බි සම්මේලනයේ සභාපති ක්වයිස් අබ්දුල්ලා අල් දහාලායි ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව නගාලීමට නිරන්තරයෙන් සහය දැක්වීමට තම සම්මේලනය සූදානම් බවයි. මේ සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කර ඇති බව ද මෙරට රග්බි ක්‍රීඩාවේ යටිතල පහසුකම් සංවර්ධනය කරමින් රග්බි ක්‍රීඩාව නගා සිටුවීම වෙනුවෙන් අමෙරිකානු ඩොලර් 40,000 ක මුදලක් ගෙවුණු වසර තුළ රග්බි සම්මේලනයට ප්‍රදානය කළ බව ද ඔහු පැවසී ය.
මේ අවස්ථාවේ දී තමන්ගේ නව වගකීම සම්බන්ධයෙන් කරුණු දැක් වූ නව පුහුණු අධ්‍යක්ෂවරයා කියා සිටියේ, තම අරමුණ මෙරට රග්බි ක්‍රීඩාවේ ගුණාත්මක පක්ෂය වැඩිදියුණු කිරීම බව ය. ඒ අනුව එක්සත් අරාබී එමීර් රාජයේ දී නොවැම්බර් මස ආරම්භ විමට නියමිත ආසියානු රග්බි 7 තරගාවලියට සහාභාගී වන ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායම හා පොදු රාජ මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහාභාගිවන ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට නව ජවයෙන් සන්නද්ධ කිරීමට නව තාක්ෂණික දැනුම එක්කිරීම තම අරමුණ බව ද ඔහු ප්‍රකාශ කළේ ය.
ඔහු එංගලන්තයේ සත් සමාජික රග්බි කණ්ඩායම වෙනුවෙන් දස වසරකට අධික කාලයක් ක්‍රීඩා කර ඇති ක්‍රීඩකයෙක් වීම ද විශේෂත්වයකි. එසේම ලෝක සත් සමාජික රග්බි තරග බිමේ ඉහළම ලකුණු ලාභියා සේ සැලකෙන්නේ ද ඔහු ය.
ගීෂා මුණසිංහ
ඡායාරුප - නිරෝෂන් බටේපොල










