දිනන්නේ කවු ද? | සිළුමිණ

දිනන්නේ කවු ද?

 

'අනාවැකි කියන්නට බොහෝ දෙනෙක් කැමති ය. ඒ කැමැත්තට අනුව මේ දිනවල බොහෝ අනාවැකි කියැවෙන්නේ කොවිඩ් වසංගතය ගැන ය. එ් අසවල් කාලය වනවිට එය අවසන් වන බව පවසමිනි. එසේ නැතහොත් මෙකී වසංගතයෙන් ආපදාවට ලක්විය හැකි ජන සංඛ්‍යාව ගැන පූරෝකථන ඉදිරිපත් කරමිනි. මේ සියල්ල අතරේ ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල හි අනාවැකි කීම ඇරැඹී ඇත්තේ ලෝක කුසලාන විස්සයි විස්ස කිරුළ දිනන්නේ කවුරුන් ද යන්න සම්බන්ධව ය.'

දැන් විස්සයි විස්ස ලෝක කුසලානයේ සෑම දෙනෙක්ගේ ම අවධානය යොමු වෙලා තිබෙන්නේ මෙවර ශූරතා කුසලානය හිමි වන්නේ කාට ද කියන එක ගැනයි.

ඒ වගේම වැඩියෙන්ම කඩුලු ගන්නේ, ලකුණු ලබා ගන්නේ කවු ද? කියන එක ගැනත් අනාවැකි ඉදිරිපත්වෙන්න පටන් අරන්. හිටපු ක්‍රීඩකයන් වගේම නොයෙකුත් ජනමාධ්‍යයත් මේ අතර පෙරමුණ ගෙන ඉන්නවා.

හිටපු ලොව සුපිරි දඟ පන්දු යවන්නා වන මුත්තයියා මුරලදිරන්ට අනුව නම් ශ්‍රී ලංකාවටත් ශූරතාව දිනන්න හැකියාව තිබෙනවා. ඔහු කිය-න්නේ පිතිකරුවන් තමන්ගේ දක්ෂතා තවදුරටත් සංවිධානය කර ගත්තොත් තරගාවලියේ ඉදිරියට යන්න අසීරු නෑ කියලයි.

“ඔවුන් ගේ ඉදිරිපෙළ පිතිකරුවන් හතර පස් දෙනා ගැනත් පන්දු යැවීමේ බලඇණිය දෙස බලන විට මම හිතන්නේ ඉන්දියාව ශූරතාවට ළඟ ම කණ්ඩායම කියායි.” මෙහෙම කියන්නේ ඔස්ට්‍රේලියාවේ හිටපු වේග පන්දු යවන්නනකු වූ බ්‍රෙට් ලී යි. ඒත් හිටපු එංගලන්ත ක්‍රිකට් නායකයකු වන මයිකල් වෝන් නම් කියන්නේ ශූරතාව දිනන්නේ එංගලන්තය බවයි.

“මම කියන්නේ එංගලන්තය දිනනවා. මොන දෙයක් නිසා ඉන්දියාව ශූරතාව දිනනවා යැයි කීවද මම දන්නේ නෑ.” එසේ පවසන ඔහු පෙන්වා දෙන්නේ තණ තීරුවල පවතින මන්දගාමී ස්වභාවය මත තරගයක් ජය ගැනීමට ලකුණු 150 ක් හෝ 160 ක් ප්‍රමාණවත් ලකුණු පුවරුවක් කියායි.

කොහොම නමුත් බටහිර ඉන්දීය කොදෙව් හා පාකිස්තාන කණ්ඩායම්වලින් එල්ල වන තර්ජනයත් සුළුපටු නොවන බවත් ඔහු විශ්වාසය පළ කර තිබෙනවා. වෝන්ට අනුව අවසන් වටයට එන රටවල් හතර එංගලන්තය, ඉන්දියාව, කොදෙව්, නවසීලන්තය වගේම පවතින තත්ත්වය මත පාකිස්තානය වෙන්නත් පිළිවන්. කොහොම වුණත් ඔහු කියන්නේ ඔස්ට්‍රේලියාවට නම් විස්සයි විස්සේ කිසිම අවස්ථාවක් නැති බවයි.

මේ අතර හිටපු සුපිරි ක්‍රිකට් තරුවක් වන ඉන්සමාම් උල් හක් ද සිය මතය ප්‍රකාශ කළ වුන් අතර කැපී පෙනෙනවා. ඔහු කියන්නේ තරගාවලියේ වැඩිම වාසිය ඇත්තේ ඉන්දියාවට කියායි.

“කිසිම තරගාවලියක ජයග්‍රාහකයන් කලින් නම් කරන්නට පුළුවන්කමක් නෑ. මගේ අදහසේ හැටියට ඉන්දියාවට හොඳ අවස්ථාවක් තියෙනවා. විශේෂයෙන් ම පවතින තත්ත්වය මත. ඒ වගේම ඔවුනට විස්සයි විස්ස සඳහා පළපුරුදු ක්‍රීඩකයිනුත් සිටිනවා.” හිටපු පාකිස්තාන් ක්‍රිකට් නායකයා තවදුරටත් පවසා තිබෙනවා.

හිටපු ක්‍රීඩකයන් මොනවා කිව්වත් එංගලන්ත කඩුලු රකින ක්‍රීඩක ජෝස් බට්ලර් කියන්නේ තමන් ජයගන්නා බවයි. “ඇත්තෙන්ම අපි ශුරතාව ජයගැනීමට ඉදිරියෙන්ම සිටින කණ්ඩායමක්. ඒකට අවශ්‍ය හොඳ ම කණ්ඩායමක් අපට සිටිනවා.” ඔහු පවසනවා.

කොහොම වුණත් ඉන්දියාව හා කොදෙව් කණ්ඩායම් ඉදිරියෙන් සිටින කණ්ඩායම් ද්විත්වයක් බව කියන්නත් ඔහු මැලි වන්නේ නෑ.

ඔහු මොනවා කිව්වත් ඔවුන්ගේම රටේ හිටපු ක්‍රිකට් නායකයකු වන නසාර් හුසේන් නම් කතා කරන්නේ ඉන්දියාවට පක්ෂවයි.

“ඉන්දියාව තමයි ඉදිරියෙන් සිටින්නේ.”මෙහෙම කියන ගමන් ඇඟ බේරගන්ඩ වගේ ඔහු මෙහෙමත් කියනවා.

“ඒත් පැහැදිලිව ම ශුරතාවය දිනාගන්නා කණ්-ඩායම ඔවුන් බව මම කියන්නේ නෑ. මේ තරග සංයුතිය අනුව ඕනෑම දෙයක් සිදු වන්න පුළුවන්.”

එහෙම වුණත් නසාර් හුසේන් එක්ක එකට එංගලන්තය නියෝජනය කළ තවත් හිටපු ක්‍රිකට් නායකයකු වන මයිකල් ඇතර්ටන් හිතන්නේ ශූරතාව දිනන්නේ කොදෙව්වන් බවයි. ඔහු කියන්නේ ගේල්, බ්‍රාවෝ, පොලාර්ඩ් සිටින කොදෙව්වන්ට තවමත් හොඳ අවස්ථාවක් ඇති බවයි. ඒ වගේම ඔහුගේ අවසන් ස්ථාන හතරට එන කණ්ඩායම් වන්නේ පළමු කොටසෙන් එංගලන්තය හා කොදෙව් පිලත් දෙවන කොටසෙන් ඉන්දියාව හා පකිස්ථානයත් බවයි ඔහු පවසා ඇත්තේ. “එංගලන්තය සතුව ආක්‍රමණික පිතිකරුවන් රැසක් සිටිනවා. ඉන්-දීය කණ්ඩායමේත් එහෙ-මයි. නවසීලන්තය සතුව භයානක පන්දු යවන්නන් වගේම පාකි-ස්ථානය සතුව භයානක පිතිකරුවන් සිටිනවා. නමුත් කොදෙව්වන් වඩාත් අත්දැකීම් සහි-

තයි. ඒ අනුව මම හිතන්නේ ඔවුන් තරගා-වලියේ හොඳින් ඉදිරියට යයි.” හිටපු කොදෙව් ක්‍රීඩක විස්තර විචාරක ඉයන් බිෂොප් අනික් කණ්ඩායම් සනසවමින් හෙමින් සීරුවේ තම කණ්ඩායම ඉදිරියෙන් තබයි.

කාටවත් ලෙහෙසි නෑ “කිසිම කණ්ඩායමකට ඩුබායි හි දී පහසු වන්නේ නෑ.” ඉන්දියාවේ ප්‍රකට අනාවැකි පළ කරන්නකු මෙන්ම ප්‍රසිද්ධ නක්ෂත්‍රඥයකු වන පණ්ඩිත ජගන්නාත් ගුරුජී

ඉරිදා පැවති ඉන්දු-පාකිස්තාන් සුපිරි 12 වටයේ තරගයට පෙර අනාවැකියක් පළ කර තිබුණා. මීට කලින් ඔහු ක්‍රිකට් ක්‍රීඩකයන් වගේම ක්‍රිකට් තරග ගැනත් නිවැරදි අනාවැකි පළ කර තිබූ අයෙක් බවටයි පැවසෙන්නේ. කණ්ඩායම් දෙකේම විශේෂයෙන් නායකයන් දෙදෙනා වූ විරාත් කෝලි හා බාබර් අසාම් දෙස බලන විට කණ්ඩායම් දෙක-

ටම පහසු නොවන බව ඔහු පවසා තිබුණා. නමුත් ඔහු ජයග්‍රාහකයා සඳහන් කර තිබුණේ නෑ. කොහොම නමුත් එම තරගයෙන් ඉන්දියාව පරදවා කඩුලු 10 කින් ජය ලබන්නට පාකිස්ථානය සමත් වුණා.

ලොව ප්‍රමුඛත ම ක්‍රිකට් සඟරාවක් වන විස්ඩන් සඟරාවේ කර්තෘ මණ්ඩල ප්‍රධානි පිල් වෝකර් සඳ-හන් කරන්නේ ඉන්දියාව, පාකිස්තානය, කොදෙව්, එංගලන්තය අවසන් පූර්ව වටයට පැමිණෙන බවයි. ඔහුට අනුව ශුරතාව අත්කර ගන්නේ ඉන්දියාවයි. “මගේ අදහසට අනුව කොදෙව්වන් පළමු කොටසේ අංක එකට පැමිණේවි.” ඒ විස්ඩන් සඟරාවේ කර්තෘ ජෝ හාර්මන් ය. ඔහු දරන අදහසට අනුව ඉන්දියාව හා පාකිස්ථානය අතර පැවැත්වෙන අවසන් තරගයේ ජය පාකිස්ථානයට ය.

ශුරතාව ජයගන්නා කණ්ඩායම් ලෙස ඉන්දියාව, කොදෙව්, එංගලන්තය හා පකිස්තානයට පක්ෂව අනාවැකි බොහොමයක් පළවී ඇති අතර, අවසන් කණ්ඩායම් හතරට එන රටවල් ලෙස අනාවැකි වැඩි ගණනකින් කියවෙන්නේ කොදෙව්, එංගලන්තය, පාකිස්ථානය, ඉන්දියාව බව දැක ගන්නට හැක. නවසීලන්තය අවසන් කණ්ඩායම් හතර අතරට එනු ඇති බවටත් මත පලවී තිබෙන අතර දකුණු අප්‍රිකාව ගැනත් අදහසක් දෙකක් දැක ගත හැකි ය. කෙසේ නමුත් ඔස්ට්‍රේලියාව ගැන අදහසක් දැක ගැනීමට නැති තරම් ය. එහෙත් අමතක නොකළ යුතු දෙයක් ඇත. ඒ 1987 ආසියාකරයේ පැවැති ලෝක කුස-ලාන එක්දින තරගාවලිය ඔස්ට්‍රේලියාව ජයගනු ඇතැයි කිසිවකුත් නොසිතුව ද එය ඔවුන් දිනාගත්තෝ ය.

පිතිකරුවන් අතර බාබර් අසාම් සිටින්නේ ඉදිරියෙනි. ඔහුට අමතරව මොහොමඩ් රිස්වාන්, කේ.එල්. රාහුල්, ජෝස් බට්ලර් වැනි පිතිකරුවන් ද පන්දු යවන්නන් ලෙස සයින් අෆ්රිඩි, මුෂ්ඨිෆිෂර් රහමන්, ජස්ප්රිට් බුම්රා වැනි ක්‍රීඩකයන් ගැන වැඩි වශයෙන් සඳහන් ය.

මේ සියල්ල අතර සුනිල් ගවස්කාර් ඉන්දීය පිලට අනතුරු හඟවා ඇත්තේ පසුගියදා පාකිස්ථානය හමුවේ ලද අන්ත පරාජය අමතක කර කඩිනමින් යළි ප්‍රකෘති දක්ෂතා දැක්විය යුතුව ඇති බවයි.

අනිල් වීරසිංහ

Comments