කෙළි බිම මතක රස කළ වහසි බස් | සිළුමිණ

කෙළි බිම මතක රස කළ වහසි බස්

'වහසි බස් තෙපළන්නට අවශ්‍ය වන්නේ වගකීමෙන් තොරව තම මුව භාවිත කිරීම පමණ ය. දැන් දැන් එසේ බස් තෙපළීම ප්‍රතිවාදියා අධෛර්යමත් කරගැනීමේ ප්‍රමුඛ අභ්‍යාසයක් යැයි පිළිගැණේ. මේ ලෝක කුසලාන සමයේ මතුවන එවන් වහසි දෙඩීම් ගැන ය.'

1976 වසරේ කොදෙව් පිල ටෙස්ට් තරගාවලියක් සඳහා එංගලන්තයට පැමිණ සිටියේ ය. ටෙස්ට් තරගාවලිය ආරම්භවීමට ආසන්නව තිබිය දී එංගලන්ත නායක ටෝනි ග්‍රෙග් එක්තරා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළේ ය. එය සංචාරක කොදෙව් පිල මෙන් ම සම්පුර්ණ ක්‍රිකට් ලෝකයම සලිත කිරීමට සමත් ප්‍රකාශයක් විණි.

ඔහු මෙහිදී සඳහන් කර තිබුණේ මෙම තරගාවලියෙන් කොදෙව්වන් නීච ලෙස පහතට ඇද දැමීමට බලාපොරොත්තුවන බවයි. නමුත් අවසානයේ සිදුවූයේ කුමක් ද? ග්‍රෙග් ගේ මෙම ප්‍රකාශයෙන් වඩාත් ශක්තිමත් වූ කොදෙව්වන් තරගාවලිය ජයගත්තේ එංගලන්තය අන්තිම පහත තත්ත්වයකට ඇද දමමිනි. එය එසේ මෙසේ පරාජයක් නොව ටෝනි ග්‍රෙග් ප්‍රමුඛ එංගලන්ත සුද්දන් බිමටම තබා සමතලා කර දැක්වීමකට සමානව ය. ඒ මීට දශක හතර හමාරකට පෙර තත්ත්වය ය.

ඉන් වසර 45කට පසු මෙදා යුරෝපීය රටක ක්‍රිකට් නායකයෙකුගෙන් එවැනිම ප්‍රකාශයක් නිකුත් වුණේ ය.

“මම හිතන්නේ නෑ ශ්‍රී ලංකාව ඇතුළට යයි කියලා, අප ඇතුළු කණ්ඩායම් තුන පරාජය කිරීම ඔවුනට අපහසු වේවි.”

මෙසේ කීවේ නෙදර්ලන්ත නායක පීටර් සීලර් ය. ඒ මෙවර විස්සයි විස්ස තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයට පෙර ඔහු ශ්‍රී ලංකාව ගැන සිතූ ආකාරය ය. (පසුව ඔහු තම ප්‍රකාශය ගැන කනගාටුව ප්‍රකාශ කර තිබු බවක් ද වාර්තා විය.)

අවසානයේ ශ්‍රී ලංකාව තමන් ඇතුළත් කොටසේ තරග තුනම ජයගනිමින් සුපිරි 12 වටය සඳහා සුදුසුකම් අත් කර ගත්තේ ය. තරගාවලියට පෙර මෙවර විස්සයි විස්සේ කළු අශ්වයා ලෙස හැඳින්වූ නෙදර්ලන්තයට සිදු වූයේ තෝරා ගැනීමේ වට-යෙන්ම අන්ත පරාජයකට ලක්ව හිස් අතින් ආපසු හැරී යාමට ය.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාව සමග පැවැති තරගයෙන් ඔවුන් ලැබුවේ අන්ත පරාජයකි. මෙම තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් නෙදර්ලන්තය දැවී ගියේ පන්දු වාර 10 ක් තුළ ලකුණු 44 ක් ලබා සිටිය දී ය. නායක සීලර් ඊට එක් කළේ ලකුණු 02 ක් පමණි.

මහේෂ් තීක්ෂණ 03/02 වනිඳු හසරංග 09/03, ළහිරු කුමාර 07/03 ලෙස මෙහි දී කඩුලු දවාලූ හ. නෙදර්ලන්තය මෙසේ ලකුණු 44 ක ට දැවීයාම සටහන් කළේ ලෝක කුසලාන විස්සයි විස්ස තරග ඉතිහාසයේ කණ්ඩායමක් දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාවේ දෙවැනි ස්ථානය ලැබූ රට වශයෙන් තම නම සනිටුහන් කරගනිමිනි.

මෙහි විශේෂත්වය මෙම වාර්තාවේ නියම හිමිකරුවන් ද ඔවුන්ම වීම ය. 2014 විස්සයි විස්ස ලෝක කුසලන තරගාවලියේ දී ඔවුන් ලකුණු 39 ක ට දැවීගොස් තිබේ. ඒ ද ශ්‍රී ලංකාවට එරෙහිවම ය. එමෙන්ම එක්සත් අරාබි එමීරය තුළ කණ්ඩායමක් විස්සයි විස්ස තරගයක දැවීගොස් ඇති අඩුම ලකුණු සංඛ්‍යාව සේ සැලකේනේ ද මෙය ය.

''ශ්‍රී ලංකාව අපිට වඩා හොඳින් ක්‍රීඩා කළා. ඒ වගේම අපේ කොටසේ සිටිය සියලුම කණ්ඩායම්වලට වඩා හොඳින් ඔවුන් ක්‍රීඩා කළා. සම්පුර්ණ ගෞරවය ඔවුනට හිමිවිය යුතුයි” තරගයෙන් පසු නෙදර්ලන්ත නායකයා තමන්ගේ වහසි බස් අන් අතකට පෙරළා ගත්තේ එලෙසිනි.

මෙවර ලෝක කුසලානයේ පළමු වටය එනම් සුපිරි දොළොස් දෙනා අතරට තේරීම පිණිස පැවැති තරගාවලියේ දී ශ්‍රී ලංකාව තමන් අයත් කොටසේ පෙරමුණ ගත්තේ අපරාජිතව ය.

එමෙන්ම සුදුසුකම් ලබාගැනීමේ වටයේ සිටි කණ්ඩායම් අට අතුරින් මුලින්ම සුපිරි වටයට පිවිස සිටි කණ්ඩායම බවට පත් වූයේ ද ශ්‍රී ලංකාව ය. ඒ කලින් තරගයේ දී අයර්ලන්තය පරාජය කිරීමෙන් අනතුරුවයි.

සුදුසුකම් අත්කර ගැනීමේ වටයේ ශ්‍රී ලංකාව මුහුණ දුන් මුල්ම තරගය නැමිබියාවට එරෙහිව පැවැත්විණි. නැමිබියානු පිතිකරුවන් ලකුණු

96කට සීමාකිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්වූ හ. මහේෂ් තීක්ෂණ කඩුලු 3 ක්, ළහිරු කුමාර කඩුලු දෙකක් හා වනිඳු හසරංග කඩුලු දෙකක් ලෙස ඒ වෙනුවෙන් දායක වූ හ.

කලින් අවස්ථාවල මෙන්ම මෙම තරගයේදී ද සුපුරුදු ලෙස පළමු පන්දු වාර 10 තුළ ශ්‍රී ලංකා පිලේ මුල් පෙළ බිඳ වැටෙනු දැකගත හැකි විය. මෙවර එය සිදු වුවේ පන්දු වාර 5.1 ක් තුළ ය ඒ 26.03 වශයෙනි.

කෙසේ නමුත් අවිශ්ක ප්‍රනාන්දු නොදැවී ලකුණු 30,භානුක රාජපක්ෂ නොදැවී ලකුණු 42 ලබමින් පන්දු වාර 13.3 ක් තුළ ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට සමත් වූ හ.

අයර්ලන්තය සමග පැවැති තරගයේදී ද ශ්‍රී ලංකා පිලේ මුල්පෙළ බිඳ වැටීම යළිත් සහතික විය. එවර කණ්ඩායමේ ලකුණු පුවරුවේ ලකුණු අට වාර්තා වනවිට කුසල් පෙරේරා, චන්දිමාල් හා අවිශ්ක ප්‍රනාන්දු ක්‍රීඩාගාරය වෙත හරවා යවා තිබිණි. කෙසේ නමුත් පැතුම් නිශ්ශංක පන්දු 47 කින් ලකුණු 61 ක් ද, වනිදු හසරංග පන්දු 47 කි න් ලකුණු 71 ක් ද ලබමින් සිව්වැනි කඩුල්ල උදෙසා එක් කළ ලකුණු 123 ශ්‍රී ලංකාව ජයග්‍රාහි මාවතට අවතීර්ණ කළේ ය.

ශ්‍රී ලංකාවේ අවසන් ලකුණු පුවරුව මේ අනුව කිය වුනේ 171/7 ලෙස ය. චාමික කරුණාරත්න කඩුලු දෙකක්,මහේෂ් තීක්ෂණ කඩුලු තුනක් හා ළහිරු කුමාර කඩුලු දෙකක් ලෙස ජයග්‍රාහි

ඉලක්කය කරා ගිය ශ්‍රී ලංකා පිල අයර්ලන්ත කණ්ඩායම පන්දු වාර 18.3 ක් තුළ ලකුණු 101 කට සිමා කළ හ.

මේ අනුව ශ්‍රී ලංකා පන්දුයවන්නන් සම්බන්ධයෙන් යම් කතිකාවතක් ගොඩනැගී තිබුණේ ය. ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව් විස්තර විචාරක ඉයන් බිෂොප් කීවේ, “ශ්‍රී ලංකා පන්දු යවන්නන් අනික් කණ්ඩායම්වලට තර්ජනයක් වේවි.” කියා ය.

“පැයකට කිලෝ මීටර් 145 ක ට වැඩි වේගයෙන් පන්දු යවන ක්‍රීඩකයින් දෙදෙනෙක්, කිලෝ මීටර් 130ක පමණ වේගයකින් පන්දු යැවිය හැකි තුන් ඉරියව් ක්‍රීඩකයෙක්, කැපී පෙනෙන තේරුම් ගැනීමට අපහසු දඟ පන්දු යවන්නෙක්, භයානක ගුග්ලි පන්දුව සහිත ලොව අංක දෙකේ පා දඟ පන්දු යවන්නා මෙම ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා පිල සතුයි. ඔවුන් ඇත්තෙන්ම හොඳ පන්දු බලඇණියක්.” යැයි කියන්නේ ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු මිකි ආතර් ය. ඔහුට තම පන්දු යවන්නන් ගැන ඇත්තේ දැඩි විශ්වාසයකි.

පසුගිය වකවානුවෙහි දිගින් දිගටම පරාජය ලැබූ ශ්‍රී ලංකාව ඕමාන තරගාවලියේ සිට පුහුණු තරග දෙකත් සමග මේ වන විට අඛණ්ඩව තරග ජයගෙන තිබීම කැපී පෙනෙයි. විශේෂයෙන් මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායමත් සමග එක්වීමෙන් පසු කණ්ඩායම ක්‍රමයෙන් ඉදිරියට එන ආකාරය පැහැදිලිව දැක ගත හැක. එමෙන්ම පන්දු යවන්නන්ගේ අංශය චමින්ද වාස් යටතේ සීඝ්‍ර දියුණුවක් ලබා ඇති බව ද දැකිය හැකි ය.

සුපිරි කණ්ඩායම් දොළහ අතරට සුදුසුකම් ලබා ගැනීමේ වටය තුළ දැක ගැනීමට ලැබුණු විශේෂ සිදුවීම් අතර ටෙස්ට් වරම්ලාභී අයර්ලන්තය ඉවතට විසිවීම, ටෙස්ට් වරම්ලාහියකු නොවන ස්කොට්ලන්තය බංගලාදේශය පවා තරගයකින් පරදවමින් සුපිරි වටයට පැමිණීම ශ්‍රී ලංකාව වෙතින් පළමු තරගය පරාජය වීමෙන් පසු නැමීබියාව යළි නැගී සිටිමින් සුපිරි දොළහ අතරට එක්විම දැක්විය හැක.

එමෙන්ම බංග්ලාදේශයේ සකිබ් අල් හසන් විස්සයි විස්ස ජාත්‍යන්තර තරග පිටියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්වීම ද මෙහිදී කැපී පෙනෙයි. එතෙක් එම වාර්තාවට හිමිකම් කිවේ ලසිත් මාලිංග ය.

“ඇත්ත වශයෙන්ම මාලිංග හා රෂිඩ් ඛාන්ගේ වාර්තා සමාන කිරීමක් ගැන මට ඒ අවස්ථාවේ කල්පනා වුනේ නෑ.”

යැයි පවසා තිබුණේ ලසිත් මාලිංග හා ඇෆ්ගනිස්ථානයේ රෂිඩ් ඛාන් විස්සයි විස්ස ජගත් පිටියේ පන්දු හතරක දී අඛණ්ඩව කඩුලු හතරක් ලබා පිහිටුවා තිබු පන්දු යැවීමේ වාර්තාව සම කළ අයර්ලන්තයේ කර්ටිස් කැම්පර් ය.

අනිල් වීරසිංහ

Comments