කුසලානය එක්ක දිගහැරෙන නැමීබියාවේ ක්‍රිකට් කතාව | සිළුමිණ

කුසලානය එක්ක දිගහැරෙන නැමීබියාවේ ක්‍රිකට් කතාව

 

විස්සයි විස්ස ලෝක කුසලානයේ පළමු වටය අවසන් වන විට ලොකු ම පෙරළිය සිදු කළ කණ්ඩායම තමයි නැමීබියාව කියලා කියන්නේ. ඔවුන් ඒ කාණ්ඩය යටතේ තරග වදිමින් ශ්‍රී ලංකාවට පමණක් පරාජය වී මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයට සුදුසුකම් ලැබුවා. දැන් ඔවුන් සුපිරි දොළහ අතරදි මහා ලොකු දස්කමක් නොපෑවත් මේ ආපු ගමන විශිෂ්ට අනාගතයක පෙරලකුණක් යැයි සලකන්න පිළිවන්.

“අපි ලෝකයේ දහ නව වැනි තැනට ශ්‍රේණිගත වෙලා ඉන්නේ. ඒත් අපිට මෙවර අයර්ලන්තය කම්පනයට පත්කරලා පළමු වටයේ දොළොස් වැනි කණ්ඩායම වෙන්න අවස්ථාවක් උදාවුණා. ඒක විශිෂ්ට ජයග්‍රහණයක්.” මෙහෙම කියන්නේ නැමීබියානු ක්‍රිකට් ආයතනය.

මොකද ඔවුන්ට මෙය මහමෙරක් තරම් අපූරු ජයග්‍රහණයක් වෙන්නේ 1979 වසරේ ඉඳලා 1990 දක්වා ඔවුන් කිසිදු අයි.සි.සී. තරගාවලියකට සුදුසුකම් ලබලා තිබුණේ නෑ. ඒ ඔවුන් ඒ කාලේ අයි.සී.සී. සාමාජිකයකු නොවූ නිසා.

නමුත් 1994 දී තමයි ඔවුන්ට පළඟ ශූරතා තරගාවලියට එක්වෙලා එහි නවවැනියා වෙන්න අවස්ථාව හිමිවුණේ. ඒ කියන්නේ ලෝකයේ හැත්තෑ අටවැනි කණ්ඩායම ලෙසයි. එය විවිධ අඩුවැඩි වීම්වලට ලක්වෙලා 1997 පහළොස්වැනි තැන (ලෝකයේ හැත්තෑ නවය), 2001 අනු ශූරතාව (දහ නවය), 2005 හත් වැනියා ලෙසත්, 2009 අටවැනියා වශයෙනුත්, 2014 හය වැනියා වශයෙනුත් ජයග්‍රහණ වාර්තා කර ගත්තා.

2018 සුදුසුකම් පවා ලබා ගැනීමට අපොහොසත් වූ ඔවුන් මේ ආපු ගමන සැබැවින්ම සුවිශේෂයි යැයි කියන්නට පුළුවන්. පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ 2012 තරගයේ දී තෙවැනි තැනටත්, 2013 දී දහය, 2015 හත, 2019 දී සිව් වැනි තැනටත් ඔවුන් පත්ව තිබෙනවා. මෙන්න මේ කරුණු එක්ක මෙවර එක්සත් අරාබි එමීරයේ හා ඕමානයේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානයේ තමන් ආපු ගමන ගැන නැමීබියාවට ඇත්තේ සුවිශාල ආඩම්බරයක්. තවත් අතකින් බලද්දී ඒකේ කිසිම අසාධාරණයකුත් නෑ.

සුපිරි 12 ගමන් මඟ

සුපිරි දොළහ කණ්ඩායම් අතර ඔවුන්ට පසුගිය ශූරතා ජයග්‍රහණය කළ ඉන්දියාව, බටහිර ඉන්දීය කොදෙව්, පාකිස්තානය වගේම නවසීලන්තය, ඇෆ්ගනිස්ථානය හා ස්කොට්ලන්තය සමඟ තරග කරන්න සිදුවෙලා තිබුණා.

“අපි මේ කණ්ඩායම හදාගත්තේ ක්‍රීඩකයන් දහ අටදෙනෙක්ගෙන්. මොකද අපි ගොඩාක් සම්පත් තිබෙන, සුඛෝපභෝගී ක්‍රිකට් රාජ්‍යයක් නොවෙයි.” තමුන්ගේ ශක්තිය ගැන කියන්න නැමීබියානු පුහුණුකරු පියරේ ඩි බ්‍රැරුයන් පසුගාමී වී තිබුණේ නෑ. ඒ තමන්ගේ ජයග්‍රහණය සම්බන්ධයෙන් ඇතිවූ ආත්ම අභිමානය එක්ක කරන ප්‍රකාශයක්.

මුළු රටෙන්ම ක්‍රීඩකයන් දහ අටදෙනෙක් අතරින් විස්සයි විස්ස ලෝක කුසලානයට සුදුසු ක්‍රීඩකයන් තෝරාගත්තා කියන්නේම මහා වීරකමක්. “මට මගේ ජාතික සංචිතයට ක්‍රීඩකයන් දහ අටක් ගන්න ඉඩ ලැබුණා. ඔවුන් පහුගිය වසර තුන පුරා කළ කී දේ ගැන මට හොඳ අවබෝධයක් තිබුණා. ඒක නිකං අමුතු, අසීරු දෙයක් විදි-

හට පෙනුණත් මේ ආකාරයෙන් දක්ෂතා අතරට එන්න අපට හැකිවීම ගැන මම ඇත්තටම සතුටු වෙනවා.” පුහුණුකරුවා පවසනවා

“අපි පුංචි රටක්. ක්‍රිකට් ගහන්නෙත් බොහොම පොඩ්ඩයි. ඉතිං අපිට අපි ගැන පුදුම අභිමානයක් තියෙන්නේ.” යැයි කියන්නේ සුපිරි දොළහට තේරුණු නැමීබියානු කණ්ඩායමේ නායකයා වන ග්‍රෙර්හාර්ඩ් එරාස්මුස්. ඔහු සුපිරි වටයට එන්නට අවශ්‍ය වූ ජයග්‍රහණය ලබා ගන්න ලකුණු 126 ක ඉලක්කයක් හඹා ගොස් නොදැවී ලකුණු 53 ක් රැස්කිරීමට සමත් වුණා. ඔවුන් නෙදර්ලන්තය ලකුණු හතළිස් හතරකට සීමා කරමින් මෙවර ලෝක කුසලාන ඉතිහාසයේ දෙවැනි අඩුම ලකුණු ප්‍රමාණයට ඔවුන් සීමා කළා.

“අපි තුළ තියෙන්නේ ලොකු උද්යෝගයක්. ඇත්තටම අපි ඉතාම හොඳ කණ්ඩායම් එක්ක තරග කරලයි මෙතැනට ආවේ. දැන් එය ආවර්ජනය කරමින් සතුටු වෙන්න සුදුසු අවස්ථාවක් අපට උදාවුණා. නමුත් අපි ආවේ නිකං පුරසාරම් දොඩවමින් ඉන්න නොවෙයි. ඉන්දියාව, පාකිස්තානය සහ නවසීලන්තය වගේ කණ්ඩායම් එක්ක ක්‍රීඩා කරනවා කියන්නේම විශිෂ්ට පුහුණුවක්, අත්දැකීම් හිමි කර ගැනීමක්. ඒක අපේ ක්‍රීඩකයන්ට ලැබෙන මහඟු, දුර්ලභ අවස්ථාවක්. මම කියන්නේ අපි මේ හැමෝම එක්ක තරගකාරී ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන්න සූදානම් කියායි. පිත්තෙන්, පන්දුවෙන්, පන්දු රැකීමෙන් අපි හොඳ තරගයක් දෙන්න සූදානම්.” එරාස්මුස් කියනවා. ඔවුනට තිබෙන තවත් ශක්තියක් ලෙස දැක්විය හැක්කේ දකුණු අප්‍රිකාව නියෝජනය කරමින් ජාත්‍යන්තරයේ ක්‍රිකට් ක්‍රීඩා කර ඇති ඩේවිඩ් වියෙස් මෙම කණ්ඩායම නියෝජනය කිරීම. ඔහු 2016 වසරේ ලෝක කුසලානය නියෝජනය කර තිබෙනවා.

“මගේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ ගැන ලොකු විශ්වාසයක් තිබෙනවා. පීඩනයක් එල්ල වන විට ඔවුන්ට ඊට මුහුණ දෙන්න හැකියි. නෙදර්ලන්තය හා තරගයේ දී මා එක්ක හිටියේ ඩේවිඩ් වියෙස්.” මෙහෙම කියන්නේ එරාස්මුස් ම යි.

මේ වන විට නැමීබියාව ඔස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලානයට එක්වන කණ්ඩායම් දහසයේ ස්ථානයක් දැනටමත් වෙන්කරගෙන අවසන්. ඒ අනුව 2022 ඔවුන් ඔස්ට්‍රේලියාවේ දී මීළඟ ලෝක කුසලානය වෙනුවෙනුත් ඔට්ටු වේවි.

මේ දේවල් කරන්න ඔවුන් තුළ සුවිශාල පිබිදීමක් ඇති කළ පුහුණු කළමනාකරණ කණ්ඩායමක් ඉන්නවා. ඒ අය බොහෝම සුප්‍රකට නම් සහිත හිටපු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයෝ වීම තවත් සුවිශේෂීයි. ඔවුන් බොහොමයක් දෙනා විවිධ රටවල් නියෝජනය කරමින් ක්‍රීඩා කර ඇති උදවිය. මේ අය අතරේ නැමීබියාවේ ක්‍රිකට් කළමනාකරු පාකිස්තානයේ හිටපු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයකු වන අෂාර් මහමූද්.

අපි ඉස්සෙල්ලා කිව්වා වගේ කණ්ඩායම් පුහුණුකරුවා නැමීබියානුවෙක්මයි. ඔහු පියරේ ඩි බ්‍රැරුයන් වේ. සහය පුහුණුකරුවා වන්නේ දකුණු අප්‍රිකාවේ ජාත්‍යන්තර ක්‍රීඩකයකු වූ ඇල්බි මෝකර්ල්. පාකිස්තානයේ රෂීඩ් ලතිෆ් දඟ පන්දු පුහුණුකරු වද්දී නවසීලන්ත ජාතික කයිල් මිල්ස් වේග පන්දු පුහුණුකරුවා වශයෙන් කටයුතු කරන්නේ. එංගලන්තයේ රවී බොපාරා කණ්ඩායමේ භෞත චිකිත්සකවරයා. අභ්‍යාසක ධුරය ද පාකිස්තාන ජාතිකයකු විසින් දරන අතර ඔහු බාසිට් අලී. ඒ අනුව නැමීබියාව ශක්ති සම්පන්න පුහුණු කළමනාකරණ මණ්ඩලයක සේවය ලබා ගනිමින් දැන් ලෝකයේ ක්‍රිකට් පෙතේ මෙතරම් සුවිශාල ගමනක් පැමිණීමට සමත්ව තිබෙනවා. එය සැබැවින්ම අගය කළ යුතුයි.

කාන්ති ජයසිංහ

Comments