කාශ්මීර හිම පවා උණුහුම් කරන ඉන්දු - පාකිස්තාන නැන්දම්මලාගේ සටන | සිළුමිණ

කාශ්මීර හිම පවා උණුහුම් කරන ඉන්දු - පාකිස්තාන නැන්දම්මලාගේ සටන

 

'ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක සෑම තරගයක්ම එක සේ උණුසුම් වුව ද වඩා උණුසුම් වන තරගය කුමක්දැයි ඇසුවහොත්? පිළිතුර පැහැදිලි ය. ඒ ඉන්දු - පාකිස්තාන ක්‍රිකට් තරගය ය. ඒ ඇයි?'

ඉන්දු - පාකිස්තාන තරග එතරම් උණුසුම් ඇයි?

ඉන්දියාව සහ පකිස්තානය අතර පැවැත්වෙන සාමාන්‍ය ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් වුව ද බෙහෙවින් උණුසුම් මුහුණුවරක් ගන්නේ ය. එයට ප්‍රධානම හේතුව වන්නේ ඉන්දියාව සහ පාකිස්තානය අතර පවතින දේශපාලන ගැටුම් ය.

1947 වසරේ දී ඉන්දියාවෙන් වෙන් ව වෙනම රාජ්‍යයක් බවට පාකිස්තානය බෙදී ගිය දා සිට දෙරට අතර ඇත්තේ ගැටුම්කාරී තත්ත්වයකි. එදා එසේ උද්ගත වූ ඉන්දු පාකිස්තාන විරසකභාවය දශක හතක් ගෙවී ගිය ද තවමත් නිමා වී නොමැත.

එම විරසකභාවයෙන් මිදෙන්නට ක්‍රිකට් ක්‍රීඩාවට ද හැකියාවක් උදාවී නැත. ඉන්දියාව සහ පාකිස්තානය ලෝක කුසලාන තරගාවලියක දී හැර වෙනත් ජාත්‍යන්තර තරගයක දී හමු නොවන තත්ත්වයක් ඇත්තේ එහෙයිනි.

එබැවින් ලෝක කුසලාන තරගාවලි අතරතුර ඉන්දියාව සහ පාකිස්තානය හමුවන සෑම තරගයක්ම පාහේ උණුසුම් මුහුණුවරක් ගනී. දෙරටෙහි ක්‍රීඩාලෝලීන් බොහෝමයකගේ සිත්සතන් තුළ ද විරසක සිතුවිලි පවතින හෙයින් තරගයක ජයග්‍රහණය වෙනුවෙන් දෙපි-ලෙහිම ක්‍රීඩකයෝ දැවැන්ත සටනක නියැලෙන්නේ එහෙ-යිනි.

2007 විස්සයි20 අවසන් තරගය

මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝණි පළමුවෙන්ම පන්දුවට පහර දීමට තීරණය කළේ ය. සිය කණ්ඩායම් වෙනුවෙන් ජය ඝෝෂා නඟන්නට දෙරටින්ම විශාල පිරිසක් ජොහැන්නස්බර්ග් ක්‍රීඩාංගණයට පැමිණ සිටිය හ.

ඒ අතර සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් ද විය. පන්දුවාර 20 අවසානයේ දී ඉන්දීය ලකුණු පුවරුව කඩුලු 5 ක ට ලකුණු 157 ක් ලෙස දැක්විණි. ගෞතම් ගම්බීර් පන්දු 54 ක දී ලකුණු 75 ක් ලබා ගත් අතර රෝහිත් ෂර්මා ලකුණු 30 ක් රැස්කළේ පන්දු 16 ක ට මුහුණ දෙමිනි. පාකිස්තානය වෙනුවෙන් උමාර් ගුල් ලකුණු 28 ක ට කඩුලු 3 ක් දවාගත්තේ ය.

ලකුණු 158 ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි පාකිස්තාන කණ්ඩායමේ මුල් කඩුලු බිඳ වැටී දුවද්දී දැවීයාම්වලින් දුර්වලව ජයග්‍රහණය ඈතට තල්ලුවද්දී එය වඩාත් ළං කළේ මිස්බා උල් හක් ය. එහෙත් අවසානයේ ඔහු අවාසනාවන්ත ලෙස දැවී ගියේ පිටිය පුරා හයේ සහ හතරේ පහර එල්ල කරමින් පාකිස්තානය ජය මාවත කරා ගෙනයෑමට දැවැන්ත සටනක නිරත වෙමින් සිටයදී ය. පකිස්තානයේ අවසන් කඩුල්ල ලෙස අවසන් පන්දුවාරයේ තුන්වන පන්දුවේදී අවාසනාවන්ත ලෙස මිස්බා දැවී ගියේ ජයග්‍රහණය ඉන්දියාවට හිමිකර දෙමිනි.

 

2021 සුපිරි වටයේ තරගය

එහි වාඩුව මෙවර පළමුව ලබාගත්තේ සුපිරි 12 තරග වටයේ සිව්වැනි තරගයේ දී ය. පාකිස්තානය සහ ඉන්දියාව අතර අතර පැවැති ඒම තරගයේදී පාකිස්තානය ඓතිහාසික ජයග්‍රහණයකට හිමිකම් කීවේ ය. එය 2007 වසරේ ඉන්දියානුවන් හමුවේ පාකිස්තානය ලත් පරාජයට ප්‍රති උත්තරයක් බඳු විය. ලෝක කුසලාන තරගාවලියක දී පාකිස්තානය විසින් ඉන්දියාව පරාජයට පත් කළ පළමු අවස්ථාව ද මෙය විය. එසේම විස්සයි20 තරග ඉතිහාසයේ ඉන්දියාව කඩුලු 10 කින් පරාජයට පත් වූ පළමු අවස්ථාව වූයේ ද මෙයයි.

එම තරගය ආරම්භ වන්නට පෙර සිටම ජයග්‍රහණය සම්බන්ධයෙන් දෙරටේ විවිධ මත ගැටුම් ඇතිව තිබිණි. කෙසේ නමුත් ‍පාකිස්තානු නායක බාබර් අසාම් තරගයට පෙර මාධ්‍ය අමතා පවසා තිබුණේ සිය කණ්ඩායම අනිවාර්යෙන්ම ඉන්දියාව පරාජයට පත් කරන බවයි. එහිදී අසාම් කියූ පරිදිම ඉන්දියාව පරාජය කිරීම සඳහා ඔහු තරගය මෙහෙය වූ අතර ඉන්දියාව ලබා දුන් ලකුණු 152 ක ඉලක්කය පන්දු 13 ක් ඉතිරිව තිබිය දී කිසිවකු නොදැවී ම සපුරා ගැනීමටද ඔවුන්ට හැකි විය. තරගය අවසානයේ දී ඉන්දීය නායක විරාට් කෝලි ප්‍රතිවාදී පාකිස්තානුවන්ට සිය උණුසුම් සුබ පැතුම් පිරිනැමුවේ ය.

 

පසිඳු මිහිරාන් රැටියල

Comments