කනිෂ්ඨ ආසියානු පාපන්දු කුසලාන සුදුසුකම් ලැබීමේ වටය ඇරඹෙයි | සිළුමිණ

කනිෂ්ඨ ආසියානු පාපන්දු කුසලාන සුදුසුකම් ලැබීමේ වටය ඇරඹෙයි

 

 

මීළඟ ආසියානු කුසලාන වයස අවුරුදු 23න් පහළ කනිෂ්ඨ ශූරතා පාපන්දු තරගාවලියට සුදුසුකම් සපුරා ගැනීම අරමුණු කර ගනිමින් කටාර් දේශයේ දෝහා අගනුවර ට ගොස් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම අද (31) යේමනය ට එරෙහිව තරග බිමට අවතීර්ණ වෙයි.

අද (31) රාත්‍රී 08.30 ට දෝහා අගනුවර පිහිටි සුහයිම් බින් හමාඩ් ක්‍රීඩාංගණයේ දී මෙම තරගය පැවැත්වීමට නියමිත ය.

කාණ්ඩ 11ක් යටතේ ක්‍රියාත්මක කෙරෙන මෙවර සුදුස්සන් තෝරා ගැනීමේ තරගාවලියට ඉදිරිපත්ව සිටින ආසියාතික රටවල් සංඛ්‍යාව 42 කි.

මෙම තරග මාලාවන් රටවල් 11 ක් කේන්ද්‍ර කර ගනිමින් නොවැම්බර් මස 02 දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිත ය.

"ජී" කාණ්ඩය යටතේ ඉදිරිපත්ව සිටී චීනය සහ බෲනයි යන දෙරට අවසන් මොහොතේ තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කර තිබීම හේතුවෙන් තරගාවලිය රටවල් 42 ක් අතරේ ක්‍රියාත්මක කෙරේ.

ශ්‍රී ලංකාව, කටාරය, සිරියාව සහ යේමනය යන රටවල් 04 ක සහභාගිත්වයෙන් යුතුව මෙවර තරගාවලියේ "ඒ" කාණ්ඩය දෝහා අගනුවර දී පැවැත්වෙන අතර එයට කටාරය සත්කාරකත්වය ලබා දී ඇත.

මේ යටතේ ශ්‍රී ලංකාව මුහුණ දුන් ප්‍රථම තරගයේ දී පරාජයේ අමිහිරි වේදනාව අත්විඳින්නට සිදු වූයේ ඉකුත් සඳුදා දිනයේ දී ය. ඒ ප්‍රතිවාදී සිරියාව හමුවේ ගෝල් 05 - 00 ක් ලෙසිනි.

කටාරය(A), තජිකිස්තානය(B)

බහරේනය (C), උස්බෙකිස්තානය (D),

එක්සත් අරාබි එමීර් රාජ්‍යය (E),

ජෝර්දානය (F) ,තජිකිස්තානය (G),

සිංගප්පූරුව (H),චීන තායිපේ (I),

මොංගෝලියාව (J) සහ ජපානය (K) යන රටවල සත්කාරකත්වයෙන් යුතුව ඒ ඒ කාණ්ඩ තරග මාලාවන් දැන් පැවැත්වේ.

කාණ්ඩ ශූරතාවය දිනා ගන්නා රටවල් 11 සහ වැඩිම ප්‍රසාද ලකුණු ලබා ගන්නා අනු ශූරයන් 04 මෙවර අවසන් වටයේ තරගාවලියට සුදුසුකම් ලැබීමට නියමිත ය. ඒ සත්කාරක උස්බෙකිස්තානය ට අමතරව ය.

මීළඟ ආසියානු කුසලාන වයස අවුරුදු 23න් පහළ තරගාවලිය රටවල් 16 ක සහභාගිත්වයෙන් යුතුව පැවැත්වීමට නියමිතව ඇතතේ ලබන වසරේ දී උස්බෙකිස්තානය කේන්ද්‍ර කර ගනිමිනි.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කර ඇති සසංක ඩිල්හාර ජයසේකර, අසේල මධුෂාන්, නුවන් ගිම්හාන, මොහොමඩ් අමාන් ෆයිසර්, රිෆ්කාන් මොහොමඩ් සහ ෂබීර් රසූනියා මෙවර ශ්‍රී ලංකා කනිෂ්ඨ පාපන්දු කණ්ඩායම ශක්තිමත් කිරීම සදහා එක්ව සිටීම කැපී පෙනේ.

ක්‍රීඩකයන් 23 දෙනෙකුගෙන් සැදුම්ලත් ශ්‍රී ලංකා කනිෂ්ඨ පිරිමි පාපන්දු කණ්ඩායම ශ්‍රී ලංකා යුද හමුදාවේ සසංක ඩිල්හාර ජයසේකර මෙහෙයවයි. ඔහු කොළඹ කොටහේනේ ශාන්ත ලුසියා විදුහලින් පාපන්දු ක්‍රීඩාවට අවතීර්ණ වූ ක්‍රීඩකයෙකි.

කොළඹ මරදාන ශාන්ත ජෝශප් සහ කළුතර සිරිකුරුස විදුහල් වලින් අධ්‍යාපන ලබා ඇති ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවයේ නියුතු අසේල මධුෂාන් මෙවර කණ්ඩායමේ උප නායකයා ය.

ජාතික කනිෂ්ඨ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ජාත්‍යන්තර ක්‍රීඩක මොහොමඩ් අමනුල්ලා මහතා කටයුතු කරයි.

ශ්‍රී ලංකා කනිෂ්ඨ පාපන්දු කණ්ඩායම

සසංක ඩිල්හාර ජයසේකර (නායක), අසේල මධුෂාන් (උප නායක), මොහොමඩ් අමාන් ෆයිසර්, නුවන් ගිම්හාන, අබ්දූල් බාසිත්, මොහොමඩ් කුර්ෂීත්, මොහොමඩ් මුෂ්ෆීර්, ශිෂාන් ප්‍රබුද්ධ, කන්නන් තනුෂාන්, රිෆ්කාන් මොහොමඩ්, ශෙනාල් සන්දේශ්, විකුම් අවිශ්ක කවිඳු, චතුර ලක්ෂාන් ධනංජය, පැතුම් විමුක්ති මධුමාල්, ෂබීර් රසූනියා, රුමී රාසා, ඩැනියෙල් මැග්‍රාත් ගෝමස්, මොහොමඩ් මූර්සිත්, ගිහාන් චතුරංග, යුබරාසා තනුෂාන්, ලක්ෂිත උදයංග පෙරේරා, බදුර්ඩීන් තස්ලීම් සහ රුමේෂ් මෙන්ඩිස්.

මොහොමඩ් අමනුල්ලා මහතා (පුහුණුකරු), හිරාන් රත්නායක මහතා (කළමනාකරු), මොහොමඩ් ජස්ම්න් මහතා (සහාය පුහුණුකරු), සමන් දයාවංශ මහතා (දැල රකින පුහුණුකරු) මාකෝස් පෙරෙයිරා මහතා (අභ්‍යාසක).

සපුමල් වීදිය බණ්ඩාර

Comments