වැටත් නියරත් දෙක ම රැකගමු | සිළුමිණ

වැටත් නියරත් දෙක ම රැකගමු

ඔක්තෝබර් 25 දා එක වසරේ සිට පහ වසර දක්වා සියලු දරුවන්ට පාසල් විවෘත කිරීමට රජය තීරණය කර තිබේ. මෙහි පළමු අදියර යටතේ සිසුන් 200ට අඩු පාසල් 5,056ක ප්‍රාථමික අංශ ඔක්තෝබර් 21 වැනිදා සිට ආරම්භ විණි. එයට අමතරව ලබන සඳුදා ආරම්භ වන පාසල් සංඛ්‍යාව 4,096කි. ශ්‍රී ලංකාවේ සමස්ත පාසල් සංඛ්‍යාව 10,155ක් වන අතර ඉන් පාසල් 9,152ක් සඳුදා සිට විවෘත වන අතර එයට සිසුන් 13,05,948ක් අයත් ය. ශ්‍රී ලංකාවේ සමස්ත පාසල් සංඛ්‍යාව ජාතික පාසල් 373ක් සහ පළාත් පාසල් 9,782කි. ගුරු වෘත්තිය සංගම් පවසන්නේ සඳුදා සිට සියලු ගුරුවරු සහ විදුහල්පතිවරු සේවයට යළි වාර්තා කරන බවත්, යළි ඉගැන්වීම්, ඉගෙනීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමටද සූදානම් බවත් ය.

පාසල් ආරම්භ වූයේ දිගු කලකට පසුව ය. 2020 මාර්තු 21 වැසූ පාසල් සමහරක් නැවත ආරම්භ වූයේ ඒ වසරේ ම ජූලි මාසයේ දී ය. එහිදී ද බස්නාහිර පාසල් විවෘත වූයේ ඔක්තෝබර් මාසයේ වන අතර; මිනුවන්ගොඩ පොකුර ඇරඹීමත් සමඟ යළිත් මුළු මහත් පාසල් පද්ධතිය ම වසා දමන්නට සිදු විණි. ජනවාරි ඉතා කෙටි කලෙකට පාසල් ආරම්භ වුව ද කොරෝනා වසංගතය උග්‍ර වීම හේතුවෙන් නැවතත් පාසල් වසන්නට සිදු විණි.

ඒ අනුව බලද්දී වසර එකහමාරකට වැඩි කාලයක් තිස්සේ දරුවන් සිටියේ නිවෙස්වල ය. දරුවන් ට පාසල් භූමිය අමතක ව ගොස් ඇත. කෙළිදෙළෙන් කවටකමෙන් ගත කළ පාසල් සමය වෙනුවට උදේ හතරේ සිට දැන් දරුවෝ ඉන්නේ පරිගණකය දෙස බලා ගෙන ය. දරුවන්ගේ මානව සම්බන්ධතා යන්න තිරයකට පමණක් සීමා වී තිබේ.

සිසුන් 200ට අඩු පාසල් ඔක්තෝබර් 21 ආරම්භ කර නැවත දරුවන්ට පාසල් භූමියේ සරන්නටත් අතපසු වූ ඉගෙනුම් කටයුුතු නැවත අරඹන්නටත් රජය කටයුතු කළේ මේ සියලු දෑ මධ්‍යයේ ය.

ඊට පෙර සියලු ගුරුවරුන් එන්නත්කරණය කරමින් සිසුන් ද එන්නත්කරණ ක්‍රියාවලියට අනුකූල කරමින් රජය ගෙන යන වැඩපිළිවෙළ අවතක්සේරු කළ නොහැකිය. අනාගත පරම්පරාව විධිමත් අධ්‍යාපන ක්‍රමවේදයෙන් ඉවත් කර සුපහන් හෙටක් ගොඩනැඟිය නොහැකි බව සියල්ලෝ දනිති. ඒ අනුව පළාත් නවය ඇතුළත බහුතරයක් පළාත් ඔක්තෝබර් 21 දා සියයට පනහකට වැඩි ගුරු දරු පිරිසක් මෙකී ක්‍රියාදාමයට සිය සහයෝගය දක්වමින් පාසල් වෙත වාර්තා කර තිබුණහ. ඒ පිළිබඳ විශේෂ ලිපියක් 8-9 පිටු පුරා පළ වේ.

මේ වනවිට මාස තුනකට අධික කාලයක් දරුවන්ගේ ඉගෙනීම කඩාකප්පල් වී තිබේ. එය දිනවලින් ගතහොත් දින සියයකට අධික ය. එදිනෙදා අධ්‍යාපන කටයුතු ඔන්ලයින් මාර්ගයෙන් යම් තරමකට හෝ කළ දරුවන්ට පසුගිය කාලයේ ඒ කිසිවක් ම ලැබුණේ නැත. ඊට අමතර ව අත්‍යවශ්‍ය විභාග ආදියට ඉල්ලුම් කිරීමට බාධා ඇති වූ අතර විභාග ප්‍රතිඵලවලදී පවා සෞන්දර්ය ආදී විෂයයන් කළ දරුවන්ට පූර්ණ ප්‍රතිඵල ලැබුණේ නැත. කොරෝනා වසංගතයටත් වඩා විරෝධය වසංගතයක් වී දරුවන්ගේ ජීවිතයට බාධා ගෙන ඒම ගැන වඩාත් හොඳින් තේරෙන පාර්ශ්වයක් වේ නම් ඒ ද ගුරුවරුන් ම ය. එනිසා දරුවන්ගේ අනාගතය බිල්ලට තබා කරන මේ විරෝධය නවත්වා නම්‍යශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට ගුරුවරුන් පෙරමඟට ඒම අපි අගය කරන්නෙමු.

ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා ගැන ද අපි අවතක්සේරු නොකරන්නෙමු. එහෙත් ඕනෑ ම දෙයක් දිනා ගැනීමේ ක්‍රමවේදයක් හා වෙලාවක් තිබේ. මේ ඒ සඳහා වෙලාව නොවේ. රජය ඒ සම්බන්ධයෙන් නම්‍යශීලී පියවරක් අනුගමනය කරමින් මේ ප්‍රශ්නය කැඳත් රැවුලත් දෙක ම බේරාගෙන විසඳන මාර්ගයට පසුගියදා පිළිපන්නත් සුළුතරයක් කඩාකප්පල්කාරී ගුරුවරු සිය මතවාදයේ ම තරයේ එල්බ ගෙන සිටිති. සමස්ත ගුරු පරපුර ම මේ වැනි යැයි කියන්නට අපේ සූදානමක් නැත.

ශ්‍රී ලංකාවේ ගුරුවරුන් උදෙසා විධිමත් හා සාධාරණ වැටුප් ක්‍රමයක් හඳුන්වා දීමේ මූලික ගෞරවය හිමි විය යුත්තේ ශ්‍රීලනිප ආණ්ඩු සමයේ හිටපු අධ්‍යාපන අමාත්‍ය රිචඩ් පතිරණට ය. එහෙත් ඉන් පසුව බලයට පත් එජාප ආණ්ඩු වරින්වර විවිධ චක්‍රලේඛ ඉදිරිපත් කරමින් මේ විධිමත් ක්‍රමවේදය අවිධිමත් කළහ. එහි ප්‍රතිඵලයක් ලෙස විදුහල්පතිවරු හා ගුරුවරුන්ගේ වැටුප් ශ්‍රේණි අතර සැලකිය යුතු මට්ටමේ විෂමතාවක් ගොඩනැඟී තිබේ. පෙර චක්‍රලේඛ අහෝසි කර නව වැටුප් ක්‍රමයක් මඟින් මෙකී ගැටලුවට ස්ථිරසාර විසඳුමක් ලබාදෙන බව රජය තිර ලෙස ම පෙන්වා දී තිබේ.

බොහෝ ගුරුවරු තම දරුවන් වෙනුවෙන් පාසල් එන බව දැනටමත් පෙන්නුම් කර හමාරය. මේ අවස්ථාවේ රට තිබෙන්නේ දැඩි ආර්ථික අර්බුදයක ය. එනිසා විරෝධතාකරුවන් ඉල්ලන හැම දේම ඒ සැණින් දෙන්නට තරම් වත්කමක් හෝ හැකියාවක් මේ මෙහොතේ රජයට නැත.

ගුරු විදුහල්පති වැටුප් විෂමතා ප්‍රශ්නය වසර විසිහතරක් තිස්සේ බලපැවැත්වූ ප්‍රශ්නයක් බවත්, ගුරු, විදුහල්පතිවරුන්ගේ නොවිසඳුණු දුක් ගැනවිලි ඇති බවත් ඒ අනුව රජය ද පිළිගනී. ඒ සම්බන්ධයෙන් දීර්ඝකාලීන ව රජය විවිධ පාර්ශ්ව හා සාකච්ඡා කරමින් සිටියේ ය. රජය ඒ සියලු කැපකිරිම් කළේ මානුෂික අවශ්‍යතා ලෙස ප්‍රමුඛ වූ කොවිඩ් එන්නතට මෙන්ම සෞඛ්‍යයට ද අති විශාල මුදල් සම්භාරයක් වැය කරද්දී ය.

බොහෝ මධ්‍යස්ථ මතධාරීන් කොතෙක් සාධාරණ ඉල්ලීමක් වුවද මේ මොහොත ඊට නුසුදුසු බව අවධාරණය කරන්නේ ඒ නිසා ය.

එසේම රුපියල් බිලියන 70 ක අති විශාල මුදලක් ගුරු වැටුප් විෂමතා ඉවත් කිරීම වෙනුවෙන් මෙවන් අවස්ථාවක වෙන් කරන්න සිදුවීම කෙබඳු රජයකට වුවද දරා ගැනීමට නොහැකි ය. ඒ වුවත් රජය මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ඉන්නේ සාධනීය ප්‍රවේශයක ය. ඒ නිසා ගුරුවරු ද පාසල් දරුවන් ගැන සිතා මේ මොහොතේ සේවයට එක්වීම අගය කටයුතු ය.

එහෙත් ඒ සියල්ල තිබියදීත් පාසල් විවෘත කිරීමේ තීරණයට එළැඹීම සම්බන්ධයෙන් අප රජයට කෘතඥ වෙන්නේ දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වීම කිසිසේත්ම රටේ අනාගතයට හොඳ ලකුණක් නොවන නිසා ය. මේ කිසිවක් නොතකා පාසල් වෙත පැමිණි ගුරුවරුන් ට ජාතියේ කෘතඥතාව හිමි විය යුතුය. පාසල් වසා දමා කබලට වැටී සිටින දරුවන් ලිපට දමා අළු කිරීමට තරම් ගුරුවරුන් සැහැසි නොවීම ගැන ද ජනතාවගේ ඇත්තේ ප්‍රසාදයකි. අප දරුවන් තැනිය යුත්තේ ප්‍රේමයෙන්, ආදරයෙන් මිස වෛරයෙන් නොවේ.

Comments