නිහ­ඬව සමු­ගත් මානව හිත­වා­දියා මාතර රංජිත් ප්‍රිය­ලාල් | සිළුමිණ

නිහ­ඬව සමු­ගත් මානව හිත­වා­දියා මාතර රංජිත් ප්‍රිය­ලාල්

රංජිත් ප්‍රියලාල් සිය බිරිය සහ දරු දෙදෙනා සමග

 

 

මාතර දේශපාලනයේ බිම්ගත ක්‍රියාකාරිකයකු වූ නාදුගල රංජිත් ප්‍රියලාල් ඉකුත් ඔක්තෝබර් 14 වැනිදා ජීවිතයෙන් සමුගනු ලැබීය. වසර 1963 ජූලි 29 මාතරදී උපන් හේවා කසකර අන්නක්කගේ රංජිත් ප්‍රියලාල් මාස කිහිපයක සිට පිළිකා රෝගය වැලඳී ප්‍රතිකාර ලබමින් සිටියදී මිය යන විට 57 වැනි වියේ පසුවිය. වෘත්තියෙන් ජලසම්පාදන මණ්ඩලයේ ඉංජිනේරු සහකාරවරයෙක් වූ රංජිත් වාස්තුවිද්‍යාව පිළිබඳ වරලත් සාමාජිකයෙකි. ඡායාරූප ශිල්පියෙකි; පරිසරවේදියෙකි; මානව හිතවාදියෙකි.

මාතර ශාන්ත තෝමස් විදුහලේ කීර්තිමත් ආදි සිසුවකු වන රංජිත් ප්‍රියලාල් පාසල් සමයේදී එම විදුහලේ ශිෂ්‍ය භට කණ්ඩායමේ සැරයන්වරයකු සහ මලල ක්‍රීඩකයකු ලෙස විදුහලට කීර්තියක් අත්කර දුන් අයෙකි.

ඔහු පාසල් සමයේ සිටම සමාජ හා දේශපාලන ක්‍රියාකාරකම් කෙරෙහි වැඩි නැඹුරුවක් දැක්විය. වසර 1981 දී පමණ අ.පො.ස උසස් පෙළ අධ්‍යාපනය ලබමින් සිටියදීම කේ.ඩී. නන්දරත්න මඟන් ජවිපෙට එක්වූ රංජිත්ට ජවිපෙ අධ්‍යාපනික පන්ති 1982දී පවත්වන ලද්දේ රුහුණු සරසවියේ උපාධිධාරියකු වූ නිහාල් ගලප්පත්තිය. ඔහුගේ සමීප පාසල් හිතවතකු වූයේ රුවන් ෆර්ඩිනැන්ඩස්ය. 1982 අධ්‍යාපන ධවල පත්‍රිකාවට එරෙහිව සිය සමාජ ක්‍රියාකාරකම් ඇරඹූ රංජිත් දිගුකලක් තිස්සේ පුරවැසි අයිතීන් වෙනුවෙන් පෙනී සිටි අරගලකාරී මාවතක සිටි පුද්ගලයෙකි.

බී.වයි. තුඩාව, මංගල සමරවීර, මහින්ද විජේසේකර සහ ඩලස් අලහප්පෙරුම වැනි මාතර ප්‍රකට දේශපාලන නායකයන් සමඟ සමීප ඇසුරක් පැවැත්වූ රංජිත් ප්‍රියලාල් ඒ හරහා ප්‍රදේශයේ ජනතාවගේ සුබ සාධනය වෙනුවෙන් විශාල කාර්ය භාරයක් ඉටුකිරීමට සමත්විය.

 

රංජිත්ගේ පියා වෘත්තියෙන් කොන්ත්‍රාත්කරුවකු වූ අතර ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ කලක් ක්‍රියාකාරිකයෙකි. කොමියුනිස්ට් පක්ෂයේ රැස්වීම් සහ සාකච්ඡා පමණක් නොව ප්‍රගතශීලී බල කඳවුරේ සංවාද සඳහා ද තෝතැන්නක් වූයේ රංජිත්ගේ මහගෙදරය. ඔහුගේ නිවසෙන් පැමිණි වාමවාදී බව රංජිත් විසින් යළිත් තහවුරු කරන ලදී. මානව හිමිකම් ශිෂ්‍ය සංවිධානය, මවුවරුන්ගේ පෙරමුණ වැනි සිවිල් ක්‍රියාකාරී කටයුතු සඳහා ද ඔහු රුවන් ෆර්ඩිනැන්ඩිස් සමඟ බද්ධ විය.

වසර 1989න් පසු කිසිදු ක්‍රියාකාරී දේශපාලන ධාරාවකට රංජිත් සම්බන්ධ නොවූවද මාතර දිස්ත්‍රික්කය පුරා ක්‍රියාත්මක වූ බොහෝ ජනතා ක්‍රියාකාරකම්වලදී ඉතා ආකර්ෂණීය කාර්ය භාරයක් ඉටුකරන ලදී.

මාතර නූපේ පදිංචිව සිටි රංජිත් ප්‍රියලාල් ගේ අවසන් කටයුතු ඔක්තෝබර් 15 වැනි දින පස්වරුවේදී මාතර පොදු සුසාන භූමියේදී සිදු කෙරිණි.

Comments