බොලෙරෝ ඩිෆෙ­න්ඩර් කරන කටු­ග­ස්තොට ප්‍රියන්ත | සිළුමිණ

බොලෙරෝ ඩිෆෙ­න්ඩර් කරන කටු­ග­ස්තොට ප්‍රියන්ත

ඩිෆෙ­න්ඩ­ර­යක් බවට පත්කළ වාහ­න­යක්

 

බොහෝ දෙනෙකුට ඩිෆෙන්ඩර් රථයක් මිලදී ගැණීමට ආසාව තිබුණත් රුපියල් කෝටි හතරක් පහක් වැනි විශාල මුදලක් වැයකිරීමට පුළුන් කමක් නැත. එවැනි රථයක් මිලදී ගැනීමට නොහැකි අය අද කටුගස්තොට හල්ලොලුවේ පිහිටි සුදුමල්ලි ගේ ගරාජය වෙත එන්නේ තම බොලෙරෝ රථය ඩිෆෙන්ඩරයක් කර ගැනීමේ අදහසිනි. බොලෙරෝ ඩිෆෙන්ඩර් කරන මේ නව නිර්මාණකරුවා සුදුමල්ලි යන නමින් හැඳින්වුවද ඔහුගේ නම ප්‍රියන්ත අනුර බංඩාරය.

ප්‍රියන්ත මෝටර්ස් හෙවත් සුදුමල්ලිගේ ගරාජයට ගිය අපට එතුළ බොලෙරෝ රථ විස්සක පමණ කොටස් වලට ගලවා තිබෙනු දැක ගැනීමට ලැබුණු අතර ගරාජයේ සිටින සේවකයන් විසින් ඒවා ලහි ලහියේ ඩිෆෙන්ඩර් රථ බවට පත්කරමින් සිටින අයුරුද දැක ගැනීමට හැකිවිය.

මහනුවර කිංග්ස්වුඩ් විදුහලේ ආදි සිසුවකු වන 42 දෙහැවිරිදි වියේ පසුවන සුදු මල්ලි තම ගරාජය තුළ කාර්ය බහුල අයෙකි. එහෙත් ගමේ සිදුවෙන සෑම පොදු කටයුත්තකදීම ඔහු නැතිවම බැරි චරිතයකි.

සුදු මල්ලි හත වසරේ ඉගෙනුම ලබන අවදියේ මුලින්ම චැලි වර්ගයේ යතුරු පැදියක් ධාවනය කරන්න පුරුදු වූ බවත් ඉන්පසු එම යතුරුපැදියේ ඇතිවන දෝෂ තමා විසින්ම සකස්කර ගත් බවත් එම යතුරුපැදිය කෑලී වලට ගලවා නැවැත සවිකිරීම පුහුණු වූ බවත් තමන් කවදා හෝ පාසල් අධ්‍යාපනය හමාර කළ විගස මෝටර් රථ අලුත්වැඩියා කරන්න ගරාජයක් ආරම්භ කිරීමට අදිටන් කරගත් බවද ඔහු අප සමඟ කියා සිටියේය.

තම සිහිනය සැබෑකරගත් අයුරු සුදුමල්ලි අපට විස්තර කළේ මෙසේය.

‘මම උසස් පෙළ හැදැරුවේ වාණිජ විෂය ධාරාවෙන්. ඉන්පසු මම පොල්ගොල්ල තරුණසේවා සභාවේ මෝටර් රථ කාර්මික ශිල්පය පිළිබඳ පාඨමාලාවක් හා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ කෙටි කාලීන පාඨමාලාවක් හැදැරුවා. මම මුලින්ම වාහන අලුත්වැඩියා කිරීමට පොඩි ගරාජයක් ආරම්භ කළා. ඒක කරගෙන යනවිට මීට වඩා වැඩි දෙයක් කරන්න ඕන කියන අදහස මගේ සිතට ආවා. ඒ වාගේම කවුරුත් නොකරන දෙයක් කරන්න ඕනෑ කියන අදහසත් සිතට ආවා.

අද අපේ තරුණ පිරිස ඩිෆෙන්ඩර් රථවලට ආසයි. නමුත් මිලදී ගන්න බැහැ. විශාල මුදලක් වැයවෙනවා. එනිසා මම හිතුවා මිලෙන් අඩු වෙනත් රථයක් උපයෝගි කරගෙන එය ඩිෆෙන්ඩරයකට සමාන අයුරින් සකස් කරන්න. මම ඒ වැඩේට සුදුසුම වාහනය මහෙන්ද්‍රා බොලේරෝ රථය බව නිගමනය කළා. බොලෙරෝ රථයක් යොදාගෙන එයට ඩිෆෙන්ඩර් රථයකට සමාන ආකෘතියක් නිර්මාණය කළා. මා ළඟට මුලින්ම මගේ හිතවතෙක් ගෙනාවා බොලේරෝ එකක් ඒක ඩිෆෙන්ඩරයක් වගේ පේන්න පොඩි වෙනස් කමක් කරල තිබුණා. ඒ වෙලාවේ මගේ හිතේ ඇඳිල තිබුණ ආකෘතිය මම එළියට දැම්මා. ඒ වාහනය කපල කොටල වැඩේට බැස්සා. ඇත්තටම එදා මට කිසිම බයක් දැනුණේ නැහැ. මට හිතුණා මට මේ දේ කරන්න පුළුවන් කියල.

අපි මුලින්ම බොලෙරෝ වාහනය ගලවනවා. ඊට පස්සේ එයට ඇවැසි තහඩු ටික පිටින් ගිහින් කපාගෙන නවාගෙන එනවා. ඒ වැඩේට නම් අද විශාල මුදලක් වැය වෙනවා. එදා අටේ හතරේ යකඩ තහඩුවක් ගත්තේ හාරදහස් අටසීයකට. අද නම් දාහතර දහස දක්වා මිල ගණන් ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ වගේම ඔක්සිජන්, කාබයිට් වගේ දේවල් වලත් මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. නමුත් ඒ මිල වැඩීවීමත් එක්ක මේක කරන්න අපහසු වුණත් නතර කරන්න බැහැ. කොහොම හරි ඇදගෙන යන්න වෙනවා.

අපි බොලෙරෝ රථය යොදාගෙන කරන නිර්මාණය ඩිෆෙන්ඩර් රථයකට බොහෝ දුරට සමානයි. නමුත් මේක ඩිෆෙන්ඩර් රථයකට වඩා දිගින් හා පළලින් ටිකක් වැඩියි. අපි ජපන් සීට් සෙට් එකක් තමයි හයි කරන්නේ. ඒ වගේම ඩිෆෙන්ඩර් වලට එන ටයර්, රිම් ආදියත් දානවා. වාහනේ දුනු වෙනස් කරනවා. මේකේ එන්ජින් ධාරිතාවය ඩිෆෙන්ඩරයකට වඩා අඩුයි.

බොලෙරෝ එකේ බර කිරල පස්සා බොඩිය වෙනස් කළා කියල වාහනයේ පොත නිත්‍යානුකුලව සකස් කරල දෙනවා. වාහනයේ ආසන ගණනත් වැඩි කරන්න පුළුවන්. නමුත් ඒකට රජයෙන් අයකරන බදු ප්‍රමාණය වැඩියි.

බොලෙරෝ රථය එන්නේ භාණ්ඩ ප්‍රවාහනයට. එකවර කිලෝ දාහක් ගෙනි යන්න පුළුවන්. අපි මේක වෙනස් කළාට පස්සේ සීට් ගණනට මගීන් ගියත් එවැනි බරක් නැහැ. මට කියන්න පුළුවන් බොලෙරෝ එක වෙනස් කළාට පස්සේ ඒකේ තිබුණු ශක්තියට වඩා වැඩි ශක්තියක් තියෙනවා මේ නිර්මාණය කළ වාහනයේ තිබෙනවා කියල. ඩිෆෙන්ඩර් වල ඇලුමිනියම් තහඩු තියෙන්නේ ඒවා රිවට් ගහලා තියෙන්නේ. නමුත් මම තහඩුව පාස්සලා තියෙන්නේ .

අද මම ලක්ෂ 09 ක් වැනි මුදලකට බොලෙරෝ එකක් ඩිෆෙන්ඩරයක් හා සමානව හදලා දෙනවා. මම මේක කරන්න පටන් අරගෙන දැන් අවුරුදු හයක් හතක් වෙනවා. මේ වන විට මම වාහන 50 ක් පමණ නිර්මාණය කරල තියෙනවා. එක වාහනයක් වෙනස් කරන්න මාස තුනක් විතර යනවා. මගේ ගරාජ් එකේ සේවකයෝ අට දෙනෙක් ඉන්නවා. ඒ අය මට ලොකු සහයෝගයක් දෙනවා. මේ වෘත්තියට අද සේවකයෝ නැතිකම මට ලොකු ගැටලුවක්. තරුණයෝ ඔක්කොම ත්‍රීවිල් පදිනවා. සේවක හිඟය නිසා එන තරමට වැඩ භාර ගන්න බැහැ. ඒ නිසා සමහර අවස්ථාවල එන අයට දින දෙනවා. බොලෙරෝ රථ ආනයනය කරන සමාගමේ අයත් මාව හමුවෙන්න ආවා. මේක ව්‍යාපාරයක් විදියට කරගෙන යන්න කැමැතිනම් එකතු වෙන්න කියල ව්‍යාපාරික පිරිස් මට කතා කළා. නමුත් එයට එකතු වෙන්න නම් මට තවම අදහසක් නැහැ.“

 ප්‍රියන්ත බංඩාර හෙවත් සුදු­මල්ලි

සුදු මල්ලි පවසන්නේ ඔහු ජීවිතයේ ලද අත්දැකීම්ය. ඔහුට හෙට ගැන විශ්වාසයක් ඇත. තමන් ගැන විශ්වාසයක් ඇත. එනිසා ඔහු සියල්ල කරගෙන යන්නේ තමන්ටම අවශ්‍ය පරිදිය. සියලු කතා අවසානයේ ඔහු පැවැසුවේ තමන් සතු නව බලාපොරොත්තුවකි.

“අප රටේ තවම තියෙනවා ඇමෙරිකාවෙන් ගෙන්වපු පරණ විලීස් ජීප් රථ.ඒවා උපයෝගි කරගෙන රැන්ග්ලර් වර්ගයේ ජීප් රථයකට සමාන රථයක් නිර්මාණය කරන්නත් ඉදිරියේදි බලාපොරොත්තු වෙනවා’

 

Comments