රජයට ටටා කියා ටාටා සමාගම වෙත යළි ගිය එයාර් ඉන්දියා | සිළුමිණ

රජයට ටටා කියා ටාටා සමාගම වෙත යළි ගිය එයාර් ඉන්දියා

ටාටා ගුවන් සමාගමට අයත් යානයක් 40 දශක‍යේදී තම කාර්ය මණ්ඩලය සමග

තමා ආදරය කළ යමක්, තමන් මහන්සියෙන් ගොඩ නැගූ යමක් තමන් අතින් ගිලිහී ගිය විට දැනෙන වේදනාව කොතරම් විය හැකිද? 1947 වර්ෂයේදී එම වේදනාව ජේ.ආර්.ඩී. ටාටා නම් වූ ඉන්දීය ව්‍යාපාරිකයා නොඅඩුව වින්දේය. ඒ එයාර් ඉන්දියා ගුවන් සේවය තමන්ට අහිමි වීමත් සමගය. ජේ.ආර්.ඩී. ටාටා යනු ඉන්දියාවේ මුල්ම ගුවන් සමාගමේ හිමිකරුවාය. ඒ ගුවන් සමාගම වූයේ එයාර් ඉන්දියා ගුවන් සමාගමයි. ඉන්දියානු නාමය යටතේ ගුවන් සේවා පැවැත්විමට ඉන්දියාවට ප්‍රථම වරට ගුවන් යානා මිලදී ගනු ලැබුවේ 1932 වසරේදීය. ඒ වන විටත් ඉන්දියාව පැවතුණේ බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වශයෙනි. ඒ අනුව ගුවන් යානා ව්‍යාපාරය දිගින් දිගටම පවත්වාගෙන යෑමට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් ටාටා සමාගමට නොමද අනුග්‍රහයක් හිමි විය. ටාටා සමූහ ව්‍යාපාරය යටතේ එයාර් ඉන්දියා ගුවන් සමාගම ඉතා හොඳින් ක්‍රියාත්මක වූයේ ටාටා එයාර්මේල් යන නාමය දරමිනි. නමුදු එසේ වූයේ වසර කිහිපයක් දක්වා පමණි. ඉන්දියාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස ලැබීමෙන් පසු සියල්ල වෙනස් විය. ජේ. ආර්.ඩී ටාටා මහතාට තමා ගොඩනැගූ තම ගුවන් සේවය අහිමි වීමේ වේදනාව විඳ දරා ගැනීමට සිදුවන්නේද ඉන්දියාවට නිදහස ලැබීමෙන් පසුවය.

 

නිදහස් ඉන්දියාවේ ප්‍රථම අග්‍රමාත්‍යවරයා වූ ජවහල්ලාල් නේරු විශ්වාස කර සිටියේ පවතින එකම ගුවන් සේවය රජය සතු විය යුතු බවය. ඒ වන විට පෞද්ගලික සමාගම් ජනසතු කිරීමේ නේරුගේ උත්සාහය සාර්ථක ලෙස ක්‍රියාත්මක වෙමින් පැවති අතර ටාටා සමාගමේ ටාටා එයාර්මේල් ගුවන් සමාගමද ජන සතු කිරිමේ නේරුගේ උත්සාහය 1953 වසරේදී සැබෑ විය. එයාර් ඉන්දියා ගුවන් සේවය බිහි වන්නේ ඒ සමඟිනි.

එහෙත් ගුවන් සමාගමක් නඩත්තු කිරීමේ හැකියාව ටාටා වැනි ව්‍යාපාර ලොව දැවැන්තයකුට හැකියාව තිබුණද ඉන්දීය රජයට එවැනි හැකියාවක් තිබුණේ නැත. ටාටා සමාගම යනු තේ කොළවල සිට දැවැන්ත වාහන නිෂ්පාදනය කිරීම දක්වා ක්ෂේත්‍ර රාශියක පැතිරී ගිය ලාභ ලබන ව්‍යාපාර රැසක්ම ටාටා සමාගම සතුය. වාහන නිෂ්පාදනයේදී දැවැන්ත යුරෝපීය සමාගම් වන ජගුවාර් සහ ලැන්ඩ් රෝවර් යන සමාගම්ද ටාටා සමාගම සමඟ හවුල් නිෂ්පාදනවලට දායකවිම ඒ සඳහා හොඳම උදාහරණයකි.

ගුවන් සමාගම තමන්ට අහිමි වීම ටාටා සමාගමේ නිර්මාතෘ ජේ.ආර්.ඩී. ටාටා මහතාට බලවත් සිත් පීඩාවක් වූ බව ඔහුගේ පවුලේ සාමාජිකයන්ගෙ අදහසයි. කෙසේ වුවද පසුකාලීනව ටාටා සමාගම තවත් ගුවන් සමාගම් දෙකක් තමන් සතු කර ගැනීමට කටයුතු කළ අතර ඉන් එකක් වන්නේ සිංගප්පූරු සමාගමක් සමඟ හවුලේ ක්‍රියාත්මක වන ‘විස්තාරා’ ගුවන් සමාගමයි.

මේ අතර රජය සතු කර ගත් ටාටා එයාර්මේල් ගුවන් සමාගම එයාර් ඉන්දියා යනුවෙන් නම් කරනු ලැබූ අතර එතැන් සිට එය ඉන්දීය ගුවන් සේවය ලෙස ක්‍රියාත්මක විය. එහෙත් කනගාටුව වූයේ මේ ගුවන් සමාගම දිනෙන් දින පාඩු ලැබීමය. දැනට ලැබී ඇති තොරතුරු අනුව වසර 15ක් පුරා එක් අවස්ථාවකදී හෝ එයාර් ඉන්දියා සමාගම ලාභ ලබා නැත. පාඩු ලබමින් දිගින් දිගටම ක්‍රියාත්මක වන මේ සමාගම නඩත්තු කිරීමට ඉන්දීය රජයට අති විශාල වැයක් දැරීමට සිදුවූ අතර එය දිනකට ඩොලර් මිලියන 3ක් බව සඳහන්ය. ඉන්දීය රජය සම්පූර්ණයෙන් ඉන්දිය රුපියල් ට්‍රිලියනයකටත් වඩා මේ ගුවන් සමාගම පවත්වා ගැනීම වෙනුවෙන් වැය කර ඇති බව ද ප්‍රකාශ විය.

අවසානයේ මේ දැවැන්ත සුදු අලියා නඩත්තු කිරීම තවදුරටත් සිදු කළ නොහැකි බව තීරණය කරන්නේ අගමැති නරේන්ද්‍ර මෝදි ගේ භාරතීය ජනතා පක්ෂ ආණ්ඩුවයි. ඒ අනුව එයාර් ඉන්දියා ගුවන් සේවය සඳහා මිල ගණන් කැඳවීම පසුගිය දිනවල සිදු විය.

මේ පුවත ඇසුණු සැණින් ටාටා සමාගම තම ඉල්ලුම නිකුත් කරන්නේ තමන්ගෙ අතීත උරුමය යළි ලබා ගැනීමේ අරමුණෙන් යුක්තවය. ඒ සමඟම මිල ගණන් ඉදිරිපත් කළ සමාගම් අතර සිංගප්පූරු ගුවන් සමාගම සහ එයිටිහාඩ් ගුවන් සේවයද සිටි බව ප්‍රකාශිතය. කෙසේ වුවද අවසානයේ සුදුස්සාටම සුදුසු දෙය හිමි කරමින් එයාර් ඉන්දියා ගුවන් සේවය යළිත් ටාටා සමාගමට හිමි විය.

ටාටා සමාගම පවසන අන්දමට ඔවුන් මේ ගුවන් සේවය මිලදී ගැනීම සඳහා එයාර් ඉන්දියා සමාගමට ඩොලර් බිලියන 2ක්ද රජයට ඩොලර් බිලියන 8ක් ද වශයෙන් ගෙවීමට කටයුතු කළ බවයි.

ගනුදෙනුව සිදුවූ වහාම ට්වීටර් පණිවිඩයක් ටාටා සමාගමේ වර්තමාන හිමිකරු වන රතන් ටාටා මහතා පවසා ඇත්තේ ‘එයාර් ඉන්දියා යළිත් සාදරයෙන් පිළිනිමු’ යනුවෙනි. ඒ සමඟම ඔහු වැඩි දුරටත් පවසා ඇත්තේ ජේ.ආර්.ඩී.ටාටා මහතා අද සිටියානම් ඔහු ඉතා සතුටට පත්වනු ඇති බවයි.

 

ටාටා සමාගමේ වර්තමාන සභාපති ධූරය හොබවන නටරාජන් චන්ද්‍රසේකරන් ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා ඇත්තේ ‘ලොව අංක එකේ ගුවන් සේවයක් ස්ථාපිත කිරීම තම සමාගමේ අරමුණ වන බවයි’.

එහෙත් ඉන්දීය රජය පවා අසමත් කළ ගුවන් සමාගමක් ලාභ ලබන ව්‍යාපාරයක් බවට පත් කිරීමට ටාටා සමගමට හැකියාව ලැබේද යන්න ඇතැම් දෙනා විමසන පැණයකි. මේ වන විට එයාර් ඉන්දියා සමාගම සතුව පවතින ඇතැම් ගුවන් යානා වසර ගණනාවක් පැරණිය. ඒ අතරින් ඉදිරියෙන්ම ‘එයාර්බස්’ වර්ගයේ ගුවන් යානා පවතින අතර ඒවා සංඛ්‍යාවෙන් 30ක් පමණ වේ. මීට අමතරව බෝයිං 787-800වර්ගයේ යානා 27ක්ද, බෝයිං 777 වර්ගයේ යානා කිහිපයක්ද වේ.

සමාගම සතු වත්කම මෙසේ වුවද ටාටා සමාගමට වඩාත් වටින්නේ ගුවන් යානා නොව දැනටමත් එම සමාගම ක්‍රියාත්මක කරන ගමනාන්ත බව විචාරකයන්ගේ අදහසයි. ඉන්දීය රජයේ අනුග්‍රහය යටතේ එයාර් ඉන්දියා ගුවන් සමාගම වඩාත් වැඩි ගමනාන්ත රැසකට සේවය සැපයූ අතර එම කීර්තිනාමය ඉදිරියටත් පවත්වා ගැනීම මගින් ලාභ ලබන ව්‍යාපාරයක් දක්වා විතැන් වීම ටාටා සමාගමේ අරමුණ බව ඇතැම් දෙනාගේ අදහසයි.

ඒ කෙසේ වුවද තමන්ගෙන් ගිලිහී ගිය ඇතැම් දේ කෙතරම් මිලක් ගෙවා හෝ අත්පත් කර ගැනීම ඇතැම් විට ලාභ ලැබීමේ අරමුණෙන් නොව අතීත තුවාල සුවපත් කර ගැනීම වෙනුවෙන්ම ද විය හැකිය. ජේ.ආර්.ඩී.ටාටා ගේ අතින් ගිලිහී ගිය සිහිනය ඔහුගේ දරුවන් විසින් සාක්ෂාත් කර ගැනීම ඇතැම් විට පරම්පරාවක සිහින තෘප්තිමත් කරනු ඇත.

 

Comments