බොල්සෙනාරෝ දැන්වත් ගෙදර යන්න බ්‍රසීල ජනතාව කියති | සිළුමිණ

බොල්සෙනාරෝ දැන්වත් ගෙදර යන්න බ්‍රසීල ජනතාව කියති

ජාර් බොල්සෙනාරෝ බ්‍රසිලයේ මෑතකාලීනව පත් වූ අසාර්ථකම පාලකයා තමන් බව මේ වන විට පහැදිලිවන ඔප්පු කර පෙන්වා තිබේ. ඒ තම රට තුළට පමණක් නොව මුළු ලොවම ඉදිරියේ බ්‍රසීලය දෙවරක් අසරණ කිරීම තුළිනි. දැන් බ්‍රසීල ජනතාව වීථිවලට පැමිණ ගෙදර යන ලෙස බොල්සෙනාරෝට බල කරමින් සිටිති.බොල්සෙනාරෝ යනු ඇමරිකානු නිෂ්පාදනයකි. දකුණු ඇමරිකාව පුරා පැතිර ගිය වාමාංශික රැල්ල ආපිට ගැසීමට ඇමරිකාව යොදා ගත් නිවැරදි තුරුම්පුව වූයේ බොල්සෙනාරෝය. එහෙත් කනගාටුව මේ තුරුම්පුව ගසා බ්‍රසිලයේ වාමාංශික රැල්ල ආපසු හැරවූවද ලබා ගත් බලය පවත්වා ගැනීමට බොල්සෙනාරෝ අසමත් විමය.

 

බොල්සෙනාරෝ බ්‍රසීලයේ ජනාධිපතිධූරයට පත් වූයේ 2019 ජනවාරි මාසයේදීය. අන්ත දක්ෂිණාංශිකයකු ලෙස බලයට පැමිණි බොල්සෙනාරෝ ජනතාවට විශාල වශයෙන් බලාපොරොත්තු ලබා දුන්නේ පුළුල් දැක්මක් යටතේ දැවැන්ත ආර්ථික වර්ධනයක් කරා රට ගෙන යන බවට පොරොන්දු වෙමිනි. ඒ අනුව නව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කෙරුණු අතර වඩා විවෘත ආර්ථික ක්‍රියාකාරකම් සඳහා රජයෙන්ද ජනතාවට අවසර හිමි විය.

බොල්සෙනාරෝගේ අන්ත දක්ෂිණාංශික ප්‍රතිපත්තිය රට තුළ පමණක් නොව මුළු ලෝකයේම විවේචනයට ලක් වූ ප්‍රථම අවස්ථාව උදා වූයේ 2019 වසරේදීමය. එම වසර අගදී ඇමසන් මහා වැසි වනාන්තරය පුරා අති විශාල ලැව්ගිනි පැතිර ගියේ සමස්ත පෘථිවියටම ඔක්සිජන් සපයන මේ මිල කළ නොහැකි වස්තුවට දැවැන්ත හානි ගෙන දෙමිනි. සෑම වසරකම මෙවැනි ලැව් ගිනි ඇති වුවද මෙවර මෙතරම් විශාල ලෙස ලැව් ගිනි පැතිර යෑමට හේතුව විමසීමේදී හෙළිදරවු වූයේ බොල්සෙනාරෝගේ ආර්ථික ප්‍රතිසංස්කරණ ඔස්සේ වගාවන් සඳහා භූමිය ලබා ගැනීමට වනාන්තර එළිපෙහෙළි කිරීමට එතෙක් පැවති නීතිමය බාධාවන් බොල්සෙනාරෝගේ රජය විසින් ඉවත් කර ඇති බවත්, ඒ අනුව සිදු කළ ගොවි ක්‍රියාකාරකම් හේතුවෙන් මෙතරම් විශාල ලෙස ඇමසන් වනය පුරා ලැව් ගිනි පැතිර ගිය බවයි. බොල්සෙනාරෝ එවර බැණුම් අසා ගත්තේ බ්‍රසීල ජනතාවගෙන් පමණක් නොව, මුළු ලෝකයෙන්මය. මන්ද යත් ඇමසන් වනය යනු සමස්ත ලෝකයටම උරුම සම්පතක් වන බැවිනි.

ලැව් ගිනි නිවී යද්දී කොවිඩ් වසංගතය පැමිණි අතර කිසිවෙක් නොසිතූ ලෙස වයිරසයෙන් බ්‍රසීල ජනතාවට එල්ල වූයේ ඉතා දරුණු පහරකි. අවසානයේ ලොව දෙවැනියට වැඩිම කොවිඩ් ආසාදිතයන් බ්‍රසීලයෙන් වාර්තා වූ අතර මරණ සංඛ්‍යාවද අති විශාල විය. එවරද බ්‍රසීල ජනතාව වරද පැටවූයේ බොල්සෙනාරෝටය. රට තුළින් අති විශාල ලෙස ආසාදිතයන් වාර්තා වන විට එම සංඛ්‍යා ලේඛන නිසි අන්දමින් පවත්වා ගත යුතු නැති බවත්, ඒවා ජනතාවට හෙලිදරවු කළ යුතු නැති බවත් බොල්සෙනාරෝ පවසන විට බ්‍රසීල අධිකරණය ඔහුගේ මතය ක්ෂණයකින් බිද දැමුවේ නියමිත තොරතුරු ජනතාව දැනගත යුතුම බව පවසමිනි.

වසංගතයත් සමග පැමිණි ආර්ථික අර්බුදයටද බොල්සෙනාරෝ සතුව නිශ්චිත පිළියම් නොවුණු අතර වසංගතය හේතුවෙන් මියගිය සමස්තය ලක්ෂ හයකට අධික විය. මේ සියල්ල මත බ්‍රසීල ජනතාව අපේක්ෂා භංගත්වයට පත්වූයේ රටපුරා නගර 160කට අධික සංඛ්‍යාවකදී ජනාධිපතිවරයාට ඉල්ලා අස් වන ලෙස පවසා විරෝධතා පවත්වන්නට වූහ.

පසුගිය සෙනසුරාදා ආරම්භ වූ මේ විරෝධතා සඳහා නායකත්වය ලබා දෙමින් සිටින්නේ බ්‍රසීල විපක්ෂය සහ වෘත්තිය සමිති බවද වාර්තා වේ. මීළඟ මහ මැතිවරණය සඳහා තවත් වසරක කාලයක් පැවතියද විරෝධතා පවත්වමින් නගරවලට එක්රැස් වූ ජනතාව පවසන්නේ බ්‍රසීල ජනාධිපති ජාල් බොල්සෙනාරෝගේ පාලනය යටතේ රටට කිසිදු හොඳක් සිදු නොවුණු බවයි. එබැවින් තවදුරටත් ජනතාව පෙළමින් තිබෙන ආර්ථීක අවපාතයථ ආහාර හිඟය, දුගීබව යනාදී ගැටලු සඳහා බොල්සෙනාරෝ සතුව පිළිතුරු නොමැති බැවින් වහාම ඔහු ඉල්ලා අස්විය යුතු බවත්ය.

ජනතාව එල්ල කරන චෝදනා අතරට ජනාධිපතිවරයාගේ නම ගැවුණු දූෂණ චෝදනා කිහිපයක්ම තිබීම තත්ත්වය තවත් බැරෑරුම් කිරීමට හේතු වී තිබේ. මේ අතර බ්‍රසීල අධිකරණයක් විසින් ජනාධිපතිවරයාට එල්ල වී ඇති මේ වංචා සහ දූෂණ සම්බන්ධව වැඩි දුර තොරතුරු සෙවීමට අවසර ලබා දී තිබේ.

ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ සහයෝගය මත බලයට පැමිණි බොල්සෙනාරෝට ඇත්ත වශයෙන්ම මුහුණ දීමට සිදුවූයේ නොසිතූ අභියෝග රැසකටය. එහෙත් දැන් ඔහු එම අභියෝග ජය ගැනීමට අසමත් බව බ්‍රසීල ජනතාවගේ අදහස වී තිබේ. ඉතිරි වසරත් කෙසේ හෝ පාලනය පවත්වා ගෙන යෑමට බොල්සෙනාරෝට හැකියාවක් ලැබේවිද යන්න මේ අනුව නම් සැක සහිත බව පැවසිය හැකිය.

Comments