බ්‍රිතාන්‍ය මහ රැජිනගේ අලුත්ම මී මිනිබිරිය පිළිබඳ පුවත්වලින් මේ දිනවල විදෙස් මාධ්‍ය පිරී තිබේ. ඇය නම් ලබා ඇත්තේ සියොනා එළිසබත් යනුවෙනි. තවමත් ඇයගේ ඡායාරූපයක් ලබා ගැනීමට කිසිදු පැපරාසි මාධ්යයෙව්දියකුට වුවද හැකියාවක් ලැබී නොමැති නමුදු මේ සිගිත්තියටද බ්‍රිතාන්‍ය ජනතාවගේ ආදරය හිමිවෙමින් පවතින බව පෙනේ. එයට හේතුව ඇයගේ මවට බ්‍රිතාන්‍ය ජනතාව බෙහෙවින් කැමැත්තක් දැක්වීමයි. පුංචි සියොනාට බ්‍රිතාන්‍යට ඔටුන්නට හිමිකම උරුම ලැයිස්තුවට එක් කළ ඇයගේ මව වනුයේ බියට්‍රිස් කුමරියයි.
බියට්‍රිස් කුමරිය යනු එලිසබත් රැජිනගේ දෙවැනි පුත්‍රයා වන ඇන්ඩෘගේ දියණියයි. එලිසබත් රැජිනට දරුවන් සිව් දෙනෙකි. ඒ අතරින් වැඩිමලා චාල්ස් කුමරා වන අතර දෙවැනියට උපත ලැබූ දියණිය ඈන් කුමරියයි. තුන්වැනිව උපත ලැබූයේ බියට්‍රිස් කුමරියගේ පියා වූ ඇන්ඩෘ කුමරා වූ අතර සිව්වැනියට රැජිනගේ බාල පුත් එඩ්වඩ් කුමරු උපත ලැබීය.
රැජිනගේ දරුවන් සංඛ්‍යාව හතරක් වුවද ලොව පුරා ජනප්‍රිය වූයේ චාල්ස් කුමරා පමණක්ම විය. සෙසු දරුවන් රජ පවුලේ සම්ප්‍රදායන් ආරක්ෂා කරමින් තම ජීවිත පවත්වා ගෙන යෑමට වඩා තම පෞද්ගලිකත්වය ආරක්ෂා කර ගනිමින් ජීවත් වීමට වඩා කැමැත්තක් දැක්වීය. ඒ අතරින්ද ඇන්ඩෘ කුමරා වඩාත් අප්රසිද්ධව ජිවත් වීමට කැමැත්තක් දැක්වූයේ ඔහුගේ බිරිය සාරා ෆර්ගියුසන්ගේ හිතුවක්කාර ක්‍රියා හේතුවෙනි. පසුව ඔහුට ළමා අපචාර සම්බන්ධයෙන්ද චෝදනා එල්ල වූ බැවින් ඔහු වඩාත් අප්‍රසිද්ධ ජීවිතයක් ගත කරන්නට විය.
ඇන්ඩෘ කුමරු සහ සාරා ෆර්ගියුසන් දියණියන් දෙදෙනෙකුගේ දෙමවුපියෝ වූහ. ඒ බියට්‍රිස් කුමරිය සහ එව්ජින් කුමරියයි. දැන් බ්‍රිතාන්‍යයම කතා වෙන රැජිනගේ අලුත්ම මී මිනිපිරිය වී ඇත්තේ මේ බියට්‍රිස් කුමරියගේ දියණියයි.
1988 වසරේදී උපත ලැබූ බියට්‍රිස් කුමරිය විවාහ වූයේ ඉතාලියානු සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය ව්‍යාපාරිකයකු වන එදුවාර්දෝ මාපෙල්ලි මොසී සමගිනි. ඔවුන් දෙදෙනාගේ විවාහය 2020 මැයි මාසයට යොදාගෙන තිබුණු නමුත් පැතිර ගිය කොවිඩ් වසංගතය හේතුවෙන් එය කල් දැමීමට සිදුවිය. පසුව එය 2020 ජූලි මාසයේදී පැවැත්වීමට කටයුතු යෙදූ අතර කොවිඩ් හේතුවෙන් දැඩි සෞඛ්‍ය නීති පිළිපදිමින් මේ විවාහ මංගල්‍යයට සහභාගී වීමට අමුත්තන්ට සිදුවිය.
කෙසේ වුවද පසුගියදා සියෙනා දියණියගේ උපත සිදුවීමත් සමග බියට්‍රිස් කුමරිය පිළිබඳව යළිත් බ්‍රිතාන්‍ය ජනතාවගේ ආදරය යොමු වෙමින් තිබේ.
සියෙනා හෙවත් එලිසබෙත් රැජිනගේ අලුත්ම මී මිනිබිරිය බ්‍රිතාන්‍ය ඔටුන්නේ උරුමකරුවන්ගේ ලැයිස්තුවේ එකොළොස්වැන්නිය වශයෙන් සිටින්නීය. ඇයගේ උපත පසුගිය සෙනසුරාදා සිදුවුණු අතර රජ පවුල ඇයගේ පාදයන්ගේ සලකුණු සටහන් වූ ඡායාරූපයක්ද සමගින් නිල වශයෙන් ඒ බව ලොවට දැනුම් දීමට කටයුතු යෙදීය.
කෙසේ වුවද මේ රජ පවුලේ නව සාමාජිකාවට හිමි වනු ඇත්තේ ඉතාලි ගෞරව නාමයන්ය. එය ‘නොබිලෙ දොන්නා‘ නම් වන අතර එහි අර්ථය වන්නේ ‘ගෞරවනීය කාන්තාව‘ යන්නයි. මේ ගෞරව නාමය බියට්‍රිස් කුමරියගේ සැමියාගේ ඉතාලි පෙළපත අනුව එම පවුලට හිමිවන ගෞරව නාමයක්ද වේ.