සංවේදී පරිසර කලාපයක් හා අගනා පුරා විද්‍යාත්මක උරුම භූමියක් වූ රිටිගල ලෝක උරුමයක් ලෙස නම් කිරීමට කටයුතු කරන්නැයි රජය යුනෙස්කෝවෙන් ඉල්ලා සිටීමට තීරණය කර ඇත. මෙම තීරණය පසුගිය සැප්තැම්බර් මාසයේදි පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමකදී ඉදිරිපත් කරන ලදී.
රිටිගල සියවස් ගණනාවක් පැරණි ඓතිහාසික බෞද්ධ උරුමයකි. ඒ අතීතය වංශ කතාවට අනුව පණ්ඩුකාභය රාජ සමය තෙක් අතීතයට දිවයයි. පණ්ඩුකාභය කුමරුන් මාමාවරුන්ට එරෙහිව සටන් වැදුනේ රිටිගල සිටය.
බෞද්ධ විහාර සංකීර්ණයක් හා රෝහල් සංකීර්ණයක් පිහිටි මේ භූමියේ කටයුතු වෙනුවෙන් ද සංඝයාගේ විහරණ වෙනුවෙන් ද අනුරාධපුරයේ රජ පැමිණි රජුන් මේ ස්ථානයට අවශ්‍ය ආධාර හා ප්‍රධානයන් කරන ලදි.
අතීතයේ මෙය අරිට්ට පබ්බත ලෙස ද හඳුන්වා ඇත. උතුරු මැද පළාතට අයත් භූමියකි.
වියළි කලාපයට අයත් රිටිගල කඳුවැටිය මුහුදු මට්ටමින් මීටර් 766 ක් හෙවත් අඩි 2513 ක් උසින් යුතු වේ. හබරණ අනුරාධපුර මාර්ගයට ඔබ්බෙන් පිහිටා ඇති මේ භූමිය අක්කර 377කින් යුතුය.
මෙහි වන පුරාවිද්‍යාත්මක බෞද්ධ උරුමය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සංරක්ෂිත කලාපයකි. එහි සංරක්ෂණ කටයුතු පිළිබඳ වගකීම් මධ්‍යම සංස්කෘතික අරමුදල වෙත පැවැරී ඇත. මේ පුරාවිද්‍යා උරුමය සංචාරක ආකර්ශනය දිනාගත් ස්ථානයකි. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු දැඩි රක්ෂිතයේ පුරාවිද්‍යා උරුමය පිහිටා ඇත. එබැවින් සීමිත භූමියක ඇවිද යාමට සංචාරකයන්ට අවස්ථාව සැලැසී තිබේ.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ඇති දැඩි රක්ෂිතයක් යනු තහනම් කලාපයකි. රිටිගල කඳුවැටිය ලංකාවේ පිහිටි සුවිශේෂි භූ පිහිටීමකින් යුත් ප්‍රදේශයක් වේ. ඉතා රමණීය හා මනස්කාන්ත පිහිටීමකි.
මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් රිටිගල ඓතිහාසික උරුමය ලෝක උරුමයක් බවට පත්කිරීමේ මූලික කටයුතු මේ වන විට සම්පාදනය කර ඇත.
අනාගතයේදී පුරාවිද්‍යා ස්ථාන ස්මාරක පිළිබඳ අධ්‍යයනය කිරීමට උචිත භූමියක් බවට රිටිගල පුරාවිද්‍යා භූමිය පත්වනු ඇත. රිටිගල වනාන්තරය පිළිබඳ බොහෝ ජනප්‍රවාද වේ. ඖෂධීය වටිනාකමින් යුත් වන ගහනය කඳුමුදුන් පද්ධතිය හා පාමුල වූ භූමිය හා බැඳි රාවණා ප්‍රවෘත්තිය ඒ අතරින් ඉතා ජනප්‍රිය වේ.
රිටිගල ජයසේන පිළිබඳ ඇත්තේ චිත්තාකර්ශනීය කතාන්තරයකි. තවත් පිරිසක් මේ බෞද්ධ උරුමය බුදු පා පහසින් පූජනීයත්වයට පත්වූයේ යැයි විශ්වාස කරනු ලබයි.
කෙසේ වුවද රිටිගල යනු ලෝක උරුමයක් ලෙස මෙතෙක් නම් නොවූ ලෝක උරුමයකි. එහි ඇති ලංකාවට ආවේණික ශාක හා සත්ත්ව ප්‍රජාව ලොව කොතැනකදීවත් දැකගත නොහැක.
ඉතා කුඩා බිමකදී උප පරිසර කලාප කිහිපයක් හඳුනා ගැනීමටත්, එම පරිසර කලාපයන්හි ස්පර්ශය විඳීමටත් රිටිගලදී සංචාරකයන් හට අවස්ථාව සැලැසේ. සංචාරක කලාපයක් ලෙස රිටිගල කෙරෙහි අවධානය යොමුවීමට ද මෙය හේතුවී තිබේ.
ශ්‍රී ලංකාව සංචාරක කලාපයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේදී ලෝක උරුම ස්ථාන කෙරෙහි සංචාරකයන්ගේ අවධානය යොමුවේ.
මෙරටට පැමිණෙන සංචාරකයින් අතරින් පිරිසක් පැමිණෙන්නේ ලෝක උරුම ස්ථාන නැරැඹීම සඳහාය. තවත් පිරිසක් පුරාවිද්‍යා උරුමය නැරැඹීමට ද, තවත් කොටසක් දේශීය වෛද්‍ය ක්‍රමය පිළිබඳ අවධානය යොමු කරමින් ද පැමිණෙති. රිටිගල මේ සියල්ලන් වෙනුවෙන් සුදුසු සංචාරක කලාපයකි.
දේශීය වෛද්‍ය උරුමය මෙන්ම අංගම් පොර ආදි දේශීය ශිල්පීය ක්‍රම ආදිය කෙරෙහි ද සංචාරක ආකර්ශනය දිනාගත හැකිය. අංගම් පොර සටන් රිටිගල හා බැඳි සටන් උරුමයකි.
මේ වන විට ලංකාවේ සීගිරිය, මහනුවර, අනුරාධපුර, පොළොන්නරුව, දඹුල්ල, දඹුලලෙන, ගාල්ල නගරය, සිංහරාජය ආදීවූ ස්ථාන අටක් ලෝක උරුම ලෙස නම් වී තිබේ. ලෝක උරුමයක් බවට පත්කිරීමට සුදුසු ස්ථානයක් ලෙස ශ්‍රීපාද අඩවිය ද ඉදිරිපත් වී ඇත. රිටිගල ද ඒ අතරට එක්වීමෙන් ශ්‍රී ලංකාවේ අගය තවදුරටත් සංචාරක කලාපයක් ලෙස ඉහළ යනු ඇත.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වනජීවී හා පාරිසරික අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය හේමන්ති රණසිංහ රිටිගල දැඩි රක්ෂිතය ලෝක උරුමයක් බවට පත්කිරීම පිළිබඳව දැක්වූ අදහස මෙසේය.
රිටිගල කියන්නේ ලෝක උරුමයක් විය යුතු ම ස්ථානයක්. රිටිගල කඳුවැටිය අතීතයේ මධ්‍යම කඳුකරයට සම්බන්ධව පැවැතී ඇතැයි විශ්වාස කරනවා.
මධ්‍ය තැනිතලාවේ මුහුදු මට්ටමේ සිට අඩි 766 ක් උස කඳුවැටිය විශේෂ පරිසර කලාපයක් වේ.
පහළ මට්ටමේදී වියළි මිශ්‍ර සදාහරිත වනාන්තයක් දැකගත හැකි වුවද ඉහළට යද්දී හමුවන්නේ නිවර්තන වනාන්තරයකට අයත් වෘක්ෂ හා පැළැටී සහිත භූමියකි. රිටිගල කඳු පන්තියේ ඉහළම වනාන්තර ප්‍රදේශය අධික සුළං ධාරාවන්ට ඔරොත්තු දෙන ‘පිග්මි‘ වනාන්තර හෙවත් කඳුකර වනාන්තර ලෙස හඳුනාගත හැකිය. එකම වනාන්තර පද්ධතියකට මෙවන් විශේෂ ලක්ෂණයන් දැකගැනීම අතිශයින් දුර්ලභ වේ.
රිටිගල වනාන්තරයේ ශ්‍රී ලංකාවට ආවේණික විශේෂිත ඖෂධීය වටිනාකම් ඇති ශාක විශේෂ හඳුනාගෙන තිබේ. අනුරාධපුරය හා පොළොන්නරුව ආශ්‍රිතව වෙසෙන දේශීය වෛද්‍යවරුන් අතීතයේ මේ පරිසර පද්ධතිය තුළින් තමන්ට අවශ්‍ය ඖෂධ සපයා ගනු ලැබීය. වර්තමානයේ මේ කඳු පන්තිය දැඩි රක්ෂිත වනයක් වන බැවින් ඖෂධ සොයා වනගත වීමට වෛද්‍යවරුන්ට පවා අවසර ලැබෙන්නේ නැහැ. එම ස්ථානයේ ඇති ඖෂධීය ශාක බාහිර ප්‍රදේශවල වගා කිරීමට කටයුතු කරමින් සිටිනවා.
මෙතන ඉපැරණි බෞද්ධ ආරාම සංකීර්ණය හා රෝහල් සංකීර්ණයක නටබුන් පමණයි ඉතිරිව තියෙන්නේ. ඒ රෝහල් සංකීර්ණයේ ඖෂධාගාරය රිටිගල වනය වන්නට ඇති. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් රිටිගල ඓතිහාසික භූමිය ආරක්ෂා කරනු ලබනවා.
ආරාම සංකීර්ණයට අයත් ගල්කුටි 400ක් හඳුනාගෙන ඇති අතර පිරිස් රැස්වූ ස්ථාන ආදී විවිධ ආකාරයේ ප්‍රාසාදවල නටබුන් දක්නට ලැබෙනවා. රිටිගල භූමියේ ඇති පුරාවිද්‍යාත්මක උරුමය, පාරිසරික හා වන උරුමය හේතුවෙන් ද මෙම ස්ථානය ලෝක උරුමයක් බවට පත්කිරීම ඉතාම සුදුසුයි. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සමඟ එක්ව මෙම ස්ථානයේ විවිධ සංරක්ෂණ ව්‍යාපෘති සිදුකරනු ලැබුවා.“
රිටිගල ලෝක උරුමයක් බවට පත්කිරීම පිළිබඳ පරිසරවේදියෙක් මෙන්ම නීතිඥයෙක් ද වූ ආචාර්ය ජගත් ගුණවර්ධනයන් පවසන්නේ මෙවන් කතාවකි.
“රිටිගල කියන්නේ ලංකාවේ තියෙන දැඩි රක්ෂිතයක්. ඒ කියන්නේ තහනම් කලාපයක්. අතිශයින් වැදගත් පුරාවිද්‍යා කලාපයක්. මේ කඳු පන්තියේ දේශගුණික උපකලාප කිහිපයක් දකින්න තියෙනවා. ජෛව විවිධත්වය අතින් ඉතාම සංකීර්ණ සංවේදී පරිසර පද්ධතියක්. මෙය ලෝක උරුමයක් වීම ඉතා අගෙයි. ඒ පිළිබඳව උත්සහයෙන් කටයුතු කළ යුතුයි. ඒත් ඒ ලෝක උරුම කලාපය සංචාරක කලාපයක් බවට පත්කරනවා නම් එයට එකඟවන්න බැහැ.
සංවේදී පරිසර පද්ධතියට තවදුරටත් සංචාරකයින් ඇතුල් නොකළ යුතුයි. පුරාවිද්‍යා රක්ෂිතය දැනටමත් සංචාරක කලාපයක්. සංචාරක කලාපය එතැනින් ඔබ්බට ගෙන යෑමට කටයුතු නොකළ යුතුයි.
මේ වනයේ අතිශයින් දුර්ලභ සත්ව හා ශාක විශේෂ තිබෙනවා. ජෛව විවිධත්වය කෙරෙහි ආකර්ශනය වන ජනයා සංචාරකයන් ලෙස පැමිණ ජෛව මංකොල්ලයට පෙළඹීම වළක්වන්න බැහැ.
රිටිගල ලෝක උරුමයක් බවට පත්කර පුරාවිද්‍යා රක්ෂිතය පමණක් සංචාරක කලාපයක් කිරීමෙන් දේශීය උරුමයේ අගය නොදන්නා මිනිසුන්ගෙන් රිටිගල ආරක්ෂා කර ගැනීමට හැකියාව ලැබේවි.“
මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණි රණසිංහ මහතා රිටිගල යුනෙස්කෝ ලෝක උරුම භූමියක් කිරීමට ගන්නා උත්සාහය පිළිබඳව මෙසේ අදහස් දැක්වීය.
“රිටිගල ලෝක උරුමයක් බවට පත්කිරීමට රජයේ නිත්‍යානුකූල අනුමැතිය මේ වනවිට ලැබී තියෙනවා. සංචරණ සීමා සමඟම අපි ඒ සඳහා අවශ්‍ය මූලික කටයුතු සිදුකරමින් සිටිනවා. සියලු කටයුතු නිමා වීමට වසර දෙකක පමණ කාලයක් ගතවේවි.
රිටිගල පුරාවිද්‍යාත්මක අගයෙන් යුතු මානව නිර්මාණ සහිත භූමියක්. දැඩි ආරක්ෂිත වනයක්. ජෛව විවිධත්වයෙන් අනූන භූමියක්. විශේෂිත පරිසර පද්ධතියක්. ස්වභාවික හා පුරාවිද්‍යාත්මක යන කොයි අංශයෙන් ගත්තත් ලෝක උරුමයක් බවට රිටිගල පත්කර ගත හැකි වනු ඇතැයි අපේක්ෂිතයි.
සංචාරක ආකර්ශනය සහිත අනුරාධපුර හා පොළොන්නරුව ලෝක උරුම දෙක හරහා ගමන් කරන සංචාරකයන් රිටිගල රඳවා ගැනීමට මධ්‍යම සංස්කෘතික අරමුදලට හැකිවේවි. රිටිගල දැඩි රක්ෂිතයේ ජෛව අගය විශේෂය. පුරාවිද්‍යා අගයත් එසේමයි. මේ හා බැඳුණු ජනප්‍රවාද හා වෘතාන්ත සංචාරක ආකර්ශනය තවදුරටත් වැඩි කරයි. එබැවින් වනයට හා ජෛව විවිධත්වයට වන හානි වළක්වා ගැනීම සඳහා සංචාරකයන් හට ගමන් කළ හැකි දුර සීමා කරනු ලබනවා.
රිටිගල ඇති මානව නිර්මාණයන්හි ඇති වාස්තු විද්‍යාත්මක අගය සුවිශේෂි වේ. දැනටමත් පුරාවිද්‍යා සංරක්ෂණ භූමිය සංචාරකයින් වෙනුවෙන් විවෘතයි.
ලංකාවේ ඇති විශාලම නටඹුන් සංකීර්ණය ඇත්තේ රිටිගල. එය අනුරාධපුර මුල් යුගයට අයත්. ඒ යුගයේ ඉදිකරන ලද පොකුණ සංඝාවාස ද මෙහි දක්නට තිබේ.
සිංහරාජය ලෝක උරුමයක් වුවත් ඒ වනාන්තරය මැද්දේ ගම්මාන පිහිටීම ගැටලුවක් වුණා. රිටිගල වනයේ කිසිදු ජනාවාසයක් නැහැ. එබැවින් වන විනාශයට හේතුවක් නෑ.
රිටිගල ජාන විවිධත්වයෙන් යුතු ප්‍රදේශයක්. ජාන මංකොල්ලකරුවන් හට මේ කලාපය ක්ෂේම භූමියක් වේ යැයි ඇතැමුන් සිතනවා. රටක් ලෙස අප ඒ සඳහා නීති සම්පාදනය කළ යුතුයි.
රාජ්‍ය යාන්ත්‍රණය මගින් ඊට අවශ්‍ය නීති සම්පාදනය කිරීමෙන් පසු මෙරට ජාන විවිධත්වය සුරක්ෂිත වේවි. මේ ස්ථානය ලෝක උරුමයක් බවට පත්වුණොත් සාමාන්‍ය ජනතාව අතින් මෙන්ම වරප්‍රසාද ලාභීන් අතින් රිටිගල දැඩි රක්ෂිත භූමියට වන හානි වළක්වා ගත හැකියි.
මධ්‍යම5 සංස්කෘතික අරමුදලේ හිටපු අධ්‍යක්ෂවරුන් ද කාලයක් තිස්සේ රිටිගල ලෝක උරුමයක් බවට පත්කිරීමට කටයුතු කළා. මෙවර උත්සාහය සාර්ථක වේවි.
ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරමින් පුරාවිද්‍යාත්මක අගයෙන් යුත් ස්ථාන හා ස්මාරක සංචාරකයන්ට විවෘත කිරීම අලුත් දෙයක් නොවෙයි.
අපි ඉන් ඉහළ ආදායම් උපයනවා. රිටිගල ලෝක උරුමක් වීම සංචාරක ප්‍රවර්ධනයට තවත් රුකුලක් වේවි.