කොළඹ නගරය සහ ඒ අවට ප්‍රදේශ ඉහළ සංචාරක ආකර්ෂණයක් සහිත ප්‍රදේශයක් බවට පරිවර්තනය කිරීම වත්මන් රජයේ සංවර්ධන සැලැස්මේ සුවිශේෂී අංගයකි. ඒ වෙනුවෙන් තෙත් බිම් උද්‍යාන, නාගරික වනෝද්‍යාන සහ නාගරික කෘෂිකාර්මික උද්‍යාන ඇතුළු දේශීය විදේශීය සංචාරකයන් කොළඹ නගරයට ආකර්ෂණය කර ගැනීමේ ව්‍යාපෘති රැසක් නාගරික සංවර්ධන හා නිවාස සංවර්ධන අමාත්‍යාංශය විසින් මේ වන විටත් ආරම්භ කර ඇත. එහි එක් පියවරක් ලෙස කොළඹ මාදිවෙල කුරුලු උද්‍යාන ව්‍යාපෘතියේ වැඩකටයුතු මේ වන විට සිදු වෙමින් පවතී.
යෝජිත කොළඹ කුරුලු උද්‍යාන ව්‍යාපෘතිය පිළිබඳ යෝජනාව අගමැති මහින්ද රාජපක්ෂයන් විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබූ අතර, ඉකුත් සැප්තැම්බර් 21 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඊට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය. අගමැතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ එම යෝජනාවේ සඳහන්ව තිබුණේ ශ්‍රී ජයවර්ධනපුර මාදිවෙල පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් අක්කර 37 රූඩ් 01 පර්චස් 20.44ක ඉඩම් කොටසක සැලසුම් කිරීම, ඉදිකිරීම හා ක්‍රියාත්මක කිරීම යන පදනම මත කුරුලු උද්‍යාන ව්‍යපෘතියක් සහ ඒ ආශ්‍රිත අපරව්‍යූහ පහසුකම් ක්‍රියාත්මක කිරීම සඳහා තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ යෝජනා කැඳවූ බව ය. එසේ කැඳවූ යෝජනා අතරින් කලම්බු බර්ඩ් පාර්ක් නම් පෞද්ගලික සමාගම විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව නිර්දේශ වී ඊට නාගරික සංවර්ධන අධිකාරියේ කළමනාකරණ මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත. ඒ අනුව අදාළ ඉඩම් කොටස වසර 30ක කාලසීමාවක් සඳහා ඒ සමාගම වෙත බදු පදනම මත ලබාදීම පිණිස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය වශයෙන් අගමැතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි විය.
වසර 30ක බදු පදනම මත ක්‍රියාත්මක වන එම ව්‍යාපෘතියේ වටිනාකම තීරණය කරනු ලබන්නේ රජයේ ප්‍රධාන තක්සේරුකරු බවත් උද්‍යානය ඉදිකිරීම සඳහා රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශයන්ට අනුකූලව පළපුරුද්දක් ඇති පෞද්ගලික අංශයේ ආයෝඡකයකු සැලසුම්, ගොඩනැඟීම, මුදල් සහ මෙහෙයුම් පදනම මත මේ ව්‍යාපෘතිය සඳහා තෝරා ගත් බවත් නාගරික සංවර්ධන අධිකාරිය පවසයි. දැනට විනාශ වෙමින් පවතින මාදිවෙල තෙත් බිම ආරක්‍ෂා වන පරිදි සියලු ඉදිකිරීම් නිම කර තෙත් බිම්වලින් 2% ක් පමණක් සංවර්ධනය කර සෙසු ඉඩම පරිසර හිතකාමී ලෙස සංවර්ධනය කිරීමට යෝජනා කර ඇත. වසර දෙකකින් නිම කිරීමට නියමිත කුරුලු උද්‍යානය අංගසම්පූර්ණ තෙත්බිම් උද්‍යානයක් බවට පත්කිරීමට සැලසුම් කර ඇති අතර එය කුරුලු සන්දර්ශන, විදේශීය හා දේශීය පක්ෂි නැරඹුම් අවස්ථා, ජල උද්‍යාන, වනෝද්‍යාන සහ අවන්හල් ආදිය ද ඇතුළත්ය.
ව්‍යාපෘතිය පිළිබද අදහස් දක්වමින් නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය නානායක්කාර සඳහන් කළේ මාදිවෙල තෙත්බිම් කලාපය මේ වනවිට අනවසර පදිංචිකරුවන්ගේ ග්‍රහණයට හසුව පවතින අතර තෙත්බිම් කලාපය අවට වෙසෙන පදිංචිකරුවන්ගේ වැසිකිළි අපද්‍රව්‍ය සහ වෙනත් අපද්‍රව්‍ය ද තෙත්බිම් කලාපයට බැහැර කරමින් තිබීම නිසා ඒ ප්‍රදේශය අපවිත්‍ර වී ඇති බවයි.
නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි පී.කේ රණවීර සඳහන් කළේ 2004-2005 කාලයට පෙර ඒ ප්‍රදේශයේ පැවති දෙස් විදෙස් පක්ෂීන්ට හිතකර ස්වාභාවික පරිසරය යළි ගොඩනැඟීම කොළඹ කුරුලු උද්‍යාන ව්‍යාපෘතියේ අරමුණ බවයි.
සාමාන්‍යයෙන් තෙත්බිම් කලාපය තුළ දේශීය කුරුලු වර්ග 300ක් පමණ සිටින අතර එවැනි කුරුල්ලන් බොහෝමයක් යෝජිත කුරුලු උයන ප්‍රදේශයේ ද දැකගත හැකිය. දිය කාවන්, කිතල් විශේෂ, කොක් විශේෂ, බළල් සේරා, කිරලුන්, කොරවක්කන්, තඹසේරුවා වැනි ජලාශ්‍රිත කුරුල්ලන් මෙන්ම ගස් ආශ්‍රිතව ජීවත් වන කහ කුරුල්ලා, කහ පණු කුරුල්ලා, පලා කොට්ටෝරුවා සහ කෑරලුන් ඇතුළු ඉතා අලංකාර පක්ෂීන් රැසක් මෙහි බහුලව දැකගත හැකිය. ඊට අමතරව විදේශීය කුරුලු වර්ග 150කට අධික ප්‍රමාණයක් සංචාරක කුරුල්ලන් ලෙස මෙහි පැමිණේ. එහෙත් මෑත කාලයේ මෙම ප්‍රදේශයට අත්වූ අහිතකර බලපෑම් හමුවේ දේශීය කුරුලු වර්ග වඳ වී යෑමේ තර්ජනයට ලක්වීම මෙන්ම සංචාරක කුරුල්ලන්ගේ පැමිණීමේ අඩුවක්ද සිදුවිය හැකි බව නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය. මාදිවෙල තෙත්බිම් කලාපය තුළ මෙරටට උචිත දේශීය ශාක වර්ග රැසක් වගා කිරීමද මේ ව්‍යාපෘතිය යටතේ සිදුවන බව අධ්‍යක්ෂ ජනරාල් වරයා පැවසීය. ඒ යටතේ උණ පඳුරු 4,000ක්, කුඹුක් ගස් 1,400ක්, මීගස් 1,100ක්, ඇඹුල් ඇඹිලිය ගස් 300ක්, මාදං ගස් 300ක්, කිරල, පන්, මීවන ශාක, කුකුල් වැල් සහ මාවැල් වැනි ශාක වර්ග ද ඕලු, මානෙල්, නෙළුම් වැනි ජලජ ශාකද සිටුවීමට නියමිතය. ඒ සියලු ක්‍රියාමාර්ග තුළින් අතිවිශාල ප්‍රදේශයක කුරුල්ලන්ට නිදහසේ සැරිසැරීමට සහ ජීවත්වීමට අවශ්‍ය හිතකාමී පරිසරයක් සකස් කිරීම ව්‍යාපෘතියේ අරමුණයි. මෙහිදී භූමිය නැවත පිරවීමක් සිදු නොකරන අතර නව ආකාරයක හැඩතල සහිත පරිසරයට ගැළපෙන ජලය පිරවූ පොකුණු ඉදිකෙරන බව පැවසේ.
පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මේ පිිළිබඳ අදහස් දක්වමින් පැවසුවේ මේ වන විට කොළඹ ඉතිරි වී ඇති තෙත්බිම් හෙක්ටරයාර 2,000ක් පමණ ප්‍රමාණය තවදුරටත් එලෙසම පවත්වාගෙන යෑම මිස ඒවායේ උද්‍යාන, ඇවිදින මංතීරු හෝ වෙනත් දේවල් ඉදිකිරීම සුදුසු නොවන බවයි. කොළඹ ගංවතුර පාලනය සඳහා එම තෙත් බිම් කිසිසේත් ප්‍රමාණවත් නොවන බැවින් තවදුරටත් වගුරු බිම් ගොඩකර මිනිස් ක්‍රියාකාරකම් හෝ මෙවැනි උද්‍යාන සඳහා යොදා ගැනීම අනුමත කළ නොහැකි බවද හෙතෙම සඳහන් කළේය. මේ වන විටත් කොළඹ බොහෝ තෙත්බිම්වලට අසූචි සහ කුණු කානු සියල්ල හරවා තිබීම නිසා දැනටමත් එම තෙත් බිම් විනාශ වෙමින් තිබෙන බැවින් ඉතිරි වී ඇති තෙත් බිම් ආරක්ෂා කිරීම මිස තවදුරටත් මිනිස් පරිහරණය සඳහා මෙවැනි උද්‍යාන හෝ ඇවිදින මංතීරු ආදී කිසිදු සංවර්ධන කටයුත්තකට යොදා නොගත යුතු බවද ඔහු අවධාරණය කළේය.
1982දී හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන විසින් කෝට්ටේ අගනගර සංවර්ධන කටයුතු සඳහා පවරාගන්නා ලද කුඹුරු සහ ගොඩඉඩම් අක්කර දහස් ගණනක් අතරින් මිරිහාන බෝධිය පාර, ශාලාව පාර අක්කර 50ක් පමණ කුඹුරු ඉඩම් කොටස ජලගැලුම් පාලනය සඳහා පහත්බිම් සංවර්ධන අධිකාරියට වෙන්කර ඇත. නාගරික සංවර්ධන අධිකාරිය විසින් කොළඹ කුරුලු උයන ව්‍යාපෘතිය සඳහා පෞද්ගලික ආයෝජකයකුට වසර 30කට බදු දී ඇත්තේ 1984දී ප්‍රකාශයට පත්කරන ලද කෝට්ටේ කුරුලු අභය භූමියට අයත් භූමිය බව මාදිවෙල මිරිහාන තෙත්බිම් රක්ෂිතය සුරැකීමේ එකමුතුවේ කැඳවුම්කරු කමල් රංජිත් පැවසීය. වෘක්ෂලතා ආඥා පනත යටතේ මෙහි පරිසර පද්ධතියට කිසිදු හානියක් කිරීමට නීතිමය අයිතියක් නැති වුවත් මේ වන විට අදාළ ව්‍යාපාරිකයා විසින් මෙහි ලදු කැලෑ එළිපෙහෙළි කරමින් දැවැන්ත පරිසර හානියක් සිදුකර ඇති බවද ඔහු කීවේය. පක්ෂි වර්ග 114ක් පමණ සහ කබරගොයා, තලගොයා, ඉත්තෑවා, හඳුන්දිවියා, උගුඩුවා, හෝතඹුවා, වල් හාවා, ඉබ්බා ආදී සතුන් රාශියක්ද ජීවත්වන මෙම අභයභූමිය එසේ විනාශ කිරීම අනුමත කළ නොහැකි බව හෙතෙම අවධාරණය කළේය.
ප්‍රදේශවාසියකු වන පාරම්පරික වෛද්‍ය සමරසේන රූබසිංහ පැවසුවේ මීට පෙර එහි ඇවිදින මංතීරුවක් ඉදිකිරීමේ සැලසුමක් තිබූ අවස්ථාවේ එම මංතීරුව දෙපස දේශීය ඔසු උයනක් සකස් කිරීමේ යෝජනාවක් තමා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ට ඉදිරිපත් කළ බවයි. එම යෝජනාව ජනාධිපතිවරයා විසින් පිළිගත් බවත් එය ක්‍රියාත්මක වී නම් හෙළ වෛද්‍යවරුන්ට ඖෂධ හඳුනාගෙන විශාල සේවයක් කළ හැකි බවත් දූ දරුවන්ට දේශීය ඖෂධ පිළිබඳ ඉගෙන ගත හැකිව තිබූ බවත් ඔහු කීවේය. මේ ව්‍යාපෘතිය හරහා කබානා වැනි දේද මෙම භූමියට ඇතුළත් වීම දේශීය සංස්කෘතිය, සභ්‍යත්වයට මරු පහරක් බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
එහෙත් නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා පවසන්නේ යෝජිත උද්‍යානය සතුන්වත්තක් නොව පක්ෂීන්ට නිදහසේ ජීවත් විය හැකි පරිසරයක් බවය.
මහරගම නාගරික මන්ත්‍රී උපුල් ඉන්දික පවසන්නේ මෙවැනි ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආයතන කිහිපයක් තිබියදී ඒ කිසිදු ආයතනයක අනුමැතියකින් සහ අවසරයකින් තොරව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බවක් දක්නට ලැබෙන බවයි.
‘‘අපි සංවර්ධන ව්‍යාපෘතිවලට විරුද්ධ නැහැ. නමුත් මේ පරිසර පද්ධතියේ වටිනාකම තේරුම් ගෙන කටයුතු කිරීම අත්‍යවශ්‍යයි. ඉසුරු දේවප්‍රිය ක්‍රීඩාංගනයට අයත් ඉඩ ප්‍රමාණයකුත් මේ ව්‍යාපෘතියට වෙන්කරගෙන තිබෙනවා. මේ ව්‍යාපෘතිය පිළිබඳ අවට සිටින ජනතාවට ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමටවත් අවස්ථාවක් ලබාදී නැහැ. තෙත්බිමක් සම්බන්ධයෙන් කටයුතු කළ යුතු නීතිරීතිවලට අදාළව විනිවිද භාවයක් සහිතව මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක වනවා නම් ගැටලුවක් නැහැ."
මෙම ව්‍යාපෘතිය නිසා අවට නිවෙස් කිහිපයක් කඩාදැමීමටත් ඇතැම් නිවාසවල කොටස් කඩාදැමීමටත් මේවන විටත් සලකුණු කොට ඇති බවත් සත්ත්ව පාලනයෙන් ජීවත්වන ගැමියන්ට සිය ජීවනෝපාය අහිමි වන බැවින් ව්‍යාපෘතිය නිසි ක්‍රමවේදයක් යටතේ සිදුකරන ලෙස ඉල්ලා සිටින බව මහරගම නාගරික මන්ත්‍රී ජයමිණි පුෂ්පකුමාර පැවසීය.
මාදිවෙල තෙත්බිම් ඉඩම්වල සිටින අනවසර පදිංචිකරුවන් බලහත්කාරයෙන් ඉවත් නොකරන අතර ඔවුන් පදිංචි නිවාස සහ භාවිතයට ගන්නා වැසිකිළි වැනි ස්ථාන මගහැර සියලු සංවර්ධන කටයුතු ඉදිකිරීමට සැලසුම් සකස් කර තිබෙන බවත් නිවාස සංවර්ධන අධිකාරිය පවසයි. යම් හේතුවක් මත අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීමට සිදුවුවහොත් ඔවුන්ට නව නිවාස ලබා දීමටද තීරණය කර ඇත.
පෞද්ගලික සමාගමකට අදාළ භූමි ප්‍රදේශය බදු දීම සම්බන්ධයෙන් ඇතැම් පාර්ශ්වයන් චෝදනා නැඟුවද නාගරික සංවර්ධන අධිකාරිය පවසන්නේ ආයෝජකයාගේ සැලස්ම ඒ පිළිබඳ බලයලත් ආයතන රැසක් විසින් අනුමත කළ යුතුව තිබෙන බවයි. ඒ අනුව තෙත්බිම්වල ආරක්‍ෂාව සහතික කිරීමේ මේ ව්‍යාපෘතිය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව, මාර්ග සංවර්ධන අධිකාරිය, සැලසුම් හා සංවර්ධන සේවා දෙපාර්තමේන්තුව, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන රැසකගේ වගකීමට යටත් ව්‍යාපෘතියකි.
ඡායාරූප - චින්තක කුමාරසිංහ