වුව ද ඒකාධිපති බඳිත සනහස වන්ව ක්‍රීඩාපති | සිළුමිණ

වුව ද ඒකාධිපති බඳිත සනහස වන්ව ක්‍රීඩාපති

 

'නායකයකු සතුව අධිපතිත්වයක් තිබිය යුතු ය. එහෙත් ඒ අධිපතිත්වයට සීමා මායිම් ඇත්තේ නෛතික රාමුවක් තුළ ය. එහෙත් එසේ නොවූ දැඩි මතධාරී නායකයෝ ද ලොව ආණ්ඩු කළ හ. එහෙත් ඔවුහු දණ නැමූ, හිස නැමූ එකම එක ස්ථානයක් විය. ඒ ක්‍රිඩාව ය. බොහෝ ඒකාධිපතීහු මනරම් ක්‍රීඩකයෝ ය. මේ එවන් වූ ක්‍රීඩාප්‍රේමී ඒකාධිපතිවරුන් සම්බන්ධව ය. '

ජර්මනියේ හිට්ලර්

20 වැනි සියවසේ ලොව බිහි වූ දරුණුතම ඒකාධිපති පාලකයා ඇඩොල්ෆ් හිට්ලර් ය. ඔහු 1933 දී ජර්මනිය පුරා සිය නාසි දර්ශනය පතුරුවා හරිමින් ඒකාධිපති පාලනයකට මුල පිරුවේ ය. එහෙත් එරට ක්‍රීඩාවට අනුග්‍රහය ලබා නොදෙන්නට ඔහු කිසිවිටකත් සැහැසි නොවී ය.

1936 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය සඳහා ජර්මනිය තෝරාගෙන තිබුණේ හිට්ලර් බලයට පත්වීමට පෙර ය. නමුත් ඔලිම්පික් ක්‍රීඩා උළෙල ජර්මනිය තුළ මැනවින් සංවිධානය කිරීමට ඔහු නායකත්වය හා ආශිර්වාදය සැමවිටම ලබා දුන්නේ ය. ඔහු සතු මෙම ක්‍රීඩාශීලිත්වය නිසා ඔහුට සහය දක්වන්නට එරට පාපන්දු සම්මේලනය කටයුතු කර තිබිණි. හිට්ලර් ද ඔවුන්ගේ සහයෝගය පිළිගත්තේ ය.

 

ඉතාලි‍යේ මුසෝලිනි

මුසෝලිනි ඉතාලිය පාලනය කළ ඒකාධිපති පාලකයෙකි. හිට්ලර් මෙන් ම මුසෝලිනි ද සිය පාලන තන්ත්‍රය තුළ ක්‍රීඩාවට රාජ්‍ය අනුග්‍රහය ලබා දීමට පසුබට ‍නොවී ය.

ක්‍රීඩාවෙන් ලොව රටවල් පරදවා ලබන ජයග්‍රහණ මඟින් ඉතාලියේ බලය ලොවට පෙන්විය යුතුයි යන්න මුසෝලිනිගේ අදහස විය. 1936 බර්ලින් ඔලිම්පික් උළෙල සඳහා ද ඉතාලි ක්‍රීඩකයන් සහභාගී කරවන්නට ඔහු කටයුතු කළේ ය.

1933 වසරේ දී මුසෝලිනි රජය ප්‍රමුඛ ඉතාලිය විසින් ලෝක විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලට සත්කාරත්වය ලබා දුන්නේ ඔහුගේ ක්‍රීඩාලෝලී බව මැනවින් ඉස්මතු කරවමිනි. එම ක්‍රීඩා උලෙළ වෙනුවෙන් ඉතාලියෙහි ලිටෝරියල්, ඩෙලා විටෝරියා, බර්ටා, ඔටෝබ්‍රේ, එඩ්ඩා සියනෝ මුසෝලිනි, මුසෝලිනි ආදි නම්වලින් ක්‍රීඩාංගණ රැසක් ඉදි කෙරුණි.

 

ලිබියාවේ ගඩාෆි

මොහොමඩ් ගඩාෆි යනු දශක 4 ක ට අධික කාලයක් ලිබියාව පාලනය කළ ඒකාධිපති පාලකයෙකි. ඔහු ලිබියාවේ බලය පැතිරවීමෙන් පසුව රට ඇතුළත නරඹන්නන්ගේ ක්‍රීඩා නතර කර දැමීමට කටයුතු කළේ ය.

නමුත් ඔලිම්පික් ආදි ජාත්‍යන්තර ක්‍රීඩා තරගාවලි සඳහා ලිබියාව නියෝජනය කෙරවූ අතර ඒ සඳහා ගඩාෆිගෙන් බාධාවක් නොවිණි. කෙසේ නමුත් පසු කලෙක ගඩාෆි, සිය පුත්‍රයාගේ ඉල්ලීම මත ලිබියාවෙහි සීමා සහිතව පාපන්දු ක්‍රීඩා තරග පැවැත්වීමට අවසර ලබා දුන්‍නේ ය. 2004 වසරේ ලෝක චෙස් ශූරතාව සහ 2008 වසරේ අප්‍රිකානු පාපන්දු ශූරතාව ආදි තරගාවලි සඳහා ගඩාෆි ප්‍රමුඛ ලිබියාවේ සත්කාරකත්වය හිමි විණි. 1963-1966 අතර කාලයෙහි ගඩාෆි ලිබියානු හමුදා සාමාජිකයෙක්ව කටයුතු කළ අතර පාපන්දු ක්‍රීඩා කිරීම එකල ඔහුගේ විනෝදාංශය වූ බව කියැවේ.

 

උගන්ඩාවේ ඉඩි අමීන්

1970 දසකයේ සිට 2003 වසර දක්වා උගන්ඩාව පාලනය කළ ඉඩී අමීන් ද ලෝක ප්‍රකට ඒකාධිපතියෙකි. උගන්ඩාවේ පාලකයා වන්නට පෙර හමුදා සොල්දාදුවෙක්ව සිටි සමයේ ‍ හෙතෙම බොක්සිං, පිහිනුම් සහ රග්බි ක්‍රීඩාවන්හි ශූරයකු ලෙස සැලකිණි. එකල උගන්ඩාවේ සැහැල්ලු හෙවිවේට් බොක්සිං ශූරයා ලෙස ද අමීන් සම්මානයට පාත්‍ර වී තිබේ.

අමීන් පාලනය තුළ ක්‍රීඩාවට රාජ්‍ය අනුග්‍රහය අඩුවක් නැතිවම ලැබිණි. උගන්ඩාව මෙ‍ෙතක් ජයග්‍රහණය කර ඇති ඔලිම්පික් පදක්කම් 11 න් 4 ක් ම ලබාගෙන ඇත්තේ ඉඩි අමීන්ගේ පාලන සම‍යේ දී ය.

 

උතුරු කොරියාවේ කිම් ජෝන් උන්

කොරියාව දෙකඩ වීමෙන් ගොඩනැඟුණු උතුරු කොරියාවේ එදා මෙදා තුර පවතින්නේ ආඥාදායක මිලිටරි පාලනයකි. උතුරු කොරියාවේ වත්මන් පාලකයා වන්නේ කිම් ජෝන් උන්ය. ඔහු ආඥාදායක පාලකයෙක් වුවත් උතුරු කොරියාවේ ක්‍රීඩාවට නොමඳ සහයක් දක්වන්නේ ය. කිම් ජෝන් උන් ළමා අවධියේ පැසිපන්දු ක්‍රීඩාවෙහි ශූරයෙකි.

ඔහු වර්තමානයේ ද පැසිපන්දු රසිකයෙක් වන අතර චිකාගෝ බුල්ස් සහ ලොස් ඇන්ජලීස් ලේක්ස් ඔහුගේ ප්‍රියතම පැසිපන්දු කණ්ඩායම් ‍වෙයි. කිම් ජෝන් උන්ට පෙර උතුරු කොරියාවේ පාලනය දැරූ ඔහුගේ පියා වන කිම් ජෝන් ඉල්ද පැසිපන්දු රසිකයෙකි. වරෙක කිම් ජෝන් ඉල් හට, ඇමරිකාවේ හිටපු රාජ්‍ය ලේකම්වරයෙක් වූ මැඩලින් ඇල්බ්‍රයිට් විසින් ලෝක පූජිත පැසිපන්දු සූර මයිකල් ජෝර් දාන් අත්සන් කළ පැසිපන්දුවක් පිරිනමනු ලැබී ය.

 

Comments