රන් රස බෙදාගත් ඔලිම්පික් වීරයෝ | සිළුමිණ

රන් රස බෙදාගත් ඔලිම්පික් වීරයෝ

 

ගෙවී ගිය ටෝකියෝ ඔලිම්පික් උළෙලේ පිරිමි උස පැනීමේ ඉසව්වේදී ඉතාලියේ ජියන් මාර්කෝ තම්බෙරි සහ කටාර් රාජ්‍යයේ මුටාස් බාර්ෂිම් දෙදෙනා සම රන් පදක්කම් දිනා ලොවට පෙන් වූ අපුරු මිත්‍රත්වය දැන් ක්‍රීඩා ඉතිහාසයට එක් වී හමාර ය. ඒ සම්බන්ධයෙන් මෙයට පෙර 'ක්‍රීඩා' පුවත්පත විශේෂාංගයක් ද පළ කළේ ය. ඔලිම්පික් ක්‍රීඩා උළෙලක දී මලල ක්‍රීඩා ඉසව්වක සිදු වූ මෙම සම රන් පදක්කම් දිනා ගැනීම අමරණීය වූත් සදාකාලික වූ ත් මතකයේ රැඳෙන වාර්තාවකි. එහෙත් එය ඔලිම්පික් ක්‍රීඩා උළෙලක පළමු වරට සිදුවූවක් නොවේ.

අද අප ඔබේ මතකයට ගෙන එන්නේ ඔලිම්පික් ඉතිහාසයේ එලෙස සම රන් පදක්කම් දිනා ගත් අවස්ථා කීපයක් ගැන ය. මෙහි ඇති විශේෂත්වය වනුයේ ඉන් වැඩිම රන් පදක්කම් සම වීම් වාර්තා වී ඇත්තේ ජිම්නාස්ටික් ඉසව්වලදී වීම ය.

රන් පදක්කම් සම වීම පළමු වරට වාර්තා වී ඇත්තේ 1904 සාන්ත ලුවිස් ඔලිම්පික් උළෙලේ දී ය. එක්සත් ජනපදය නියෝජනය කළ ආතර් හයිඩර් සහ එඩි හෙනිග් දෙදෙනා ජිම්නාස්ටික් භූමි ඉසව්වක දී සම රන් පදක්කම් බෙදා ගනිමිනි ඒ.

ජිම්නාස්ටික් ඉසව්වල දී වැඩිම ඔලිම්පික් පදක්කම් දිනූ වාර්තාවට හිමිකම් කියන සෝවියට් දේශයේ ලැරිසා ලැටිනිනා ක්‍රීඩිකාව දමෙවැනි සම වාර්තාවකට හිමිකම් කියයි. ඒ 1956 මෙල්බර්න් ඔලිම්පික් උළෙලේ දී ය. ඈ හා සම රන් පදක්කම් උරුමකම් ලැබූයේ හංගේරියාවේ ඇනා කෙලිට් ය.

මෙතෙක් ජිම්නාස්ටික් ක්‍රීඩාවෙන් බිහි වූ විශිෂ්ටතම ක්‍රීඩිකාව ලෙස විරුදා-වලි ලබා සිටින රුමේනියාවේ නාදියා කොමනේසිටත් මෙවැනි වාර්තාවක් හිමි ය. ඒ ඇය සහභාගි වූ 1980 මොස්කව් ඔලිම්පික් උළෙලේ දී ය. එහි දී නාදියා භූමි ඉසව්වක දී සෝවියට් දේශයේ නෙලි කිම් ක්‍රීඩිකාව සමඟ සම රන් පදක්කමට උරුමකම් කීවා ය. දෙදෙනාම වාර්තා කළ ලකුණු ගණන 19.875 කි.

ඒ අයුරින්ම රන් පදක්කම් සම වීමක් බර ඉසිලීමේ ඉසව්වකදී ද වාර්තා වී තිබේ. එය ඔලිම්පික් ඉතිහාසයට එක්ව ඇත්තේ 1928 ඇම්ස්ටර්ඩෑම් ඔලිම්පික් උළෙලේ දී ය. ඉසව්ව කිලෝ ග්‍රෑම් 67.5 ලයිට්වේට් බර පන්තියේ තරගයෙන් ජර්මනියේ කාල් හෙල්බිග් සහ ඔස්ට්‍රියාවේ හර්මන් හාර්ස් දෙදෙනාම එකම බරක් ඔසවා සම රන් පදක්කම් දිනා ගත් හ.

මේ ජිම්නාස්ටික් ඉසව් කිපයක දී වාර්තාගතව තිබෙන රන් පදක්කම් සම වීම් ය.

ඇම්. වොරොනින් (සෝවියට් දේශය) සහ ඒ. නකයාමා (ජපානය) 1968 මෙක්සිකෝ ඔලිම්පික් උළෙලේ දී (මිශ්‍ර ව්‍යායාම)

වී. ආටිමොව් සහ වී. ලියුකින් (සෝවියට් දේශය) 1988 සෝල් ඔලිම්පික් උළෙලේ දී (මිශ්‍ර ව්‍යායාම)

ආතර් හයිඩර් සහ ජෝර්ජ් අයිසර් (එක්සත් ජනපදය) 1904 සාන්ත ලුවිස් ඔලිම්පික් උළෙලේ දී. (දිගු අශ්ව හෝල්ට්)

කේ. ගුසිකන් (ජපානය) සහ එල්. නින්ග් (චීනය) 1984 ලොස් ඇන්ජලිස් ඔලිම්පික් උළෙලේ දී (වළලු)

 

Comments