
'රජකම් කළත් ගිලන් වූ පසු බොහෝ දේ අතහැර දැමීමට සිදුවෙයි. මාරි කෙයිටානිට ද එය එසේම විය. ඈ පසුගිය දා සිය තීන්දුව ප්‍රකාශයට පත්කළා ය. ඒ තමන් ක්‍රීඩා පිටියට සමුදෙන බව පවසමිනි. '
මාරි කෙයිටානි යනු කෙන්යානු ජාතික ලෝක වාර්තා ලාභී මැරතන් ක්‍රීඩිකාව යි. පසුගිය දා ඈ තම ක්‍රීඩා දිවියෙන් සමුගන්නා බව ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කළා.
2017 වසරේ පැවැති ලන්ඩන් මැරතන් තරගයේ ධාවනයේ යෙදෙමින් ඇය එවකට පැවති මැරතන් ලෝක වාර්තාව බිඳ දැම්මා. දැනට තිස් නව වැනි වියේ පසුවන ඈ සිය සමුගැනීම ප්‍රකාශයට පත්කිරීමට ප්‍රබල ම හේතුව වූ යේ කොන්ද ආශ්‍රිතව හටගෙන ඇති ආබාධිත තත්ත්වයක්.
'දැන් මට මම ආදරය කළ මේ ක්‍රීඩාවෙන් සමුගන්න කාලය ඇවිත්. මොකද මම නොසිතූ ශාරීරික අර්බුදයකින් මා පීඩා විඳිනවා. ඒ නිසා තවදුරටත් ක්‍රීඩාවේ ඉන්න එක මගේ පැත්තෙන් පහසු නෑ.' ඈ ප්‍රකාශ කර තිබෙනවා.
තමන් ඉදිරියේ දී ප්‍රවීණයෙක් වශයෙන් ක්‍රීඩාවට උපකාර කරන්නට අපේක්ෂා කරන බවයි ඈ පවසන්නේ.
'මම එහෙම කරන්නේ මට ක්‍රීඩාව සම්පූර්ණයෙන්ම අතහැර දමන්න නොහැකි නිසා. ඇය කියා සිටිනවා.
ඈ මැරතන් ලෝක වාර්තාවේ හිමිකාරිනියයි. ඈ පිහිටුවූ මැරතන් ලෝක වාර්තාව පැය 2.17.01 ක්. එසේම කෙයිටානි යනු එසේ මෙසේ ක්‍රීඩිකාවක් යැයි සැලකිය නොහැකියි. ඒ ඈ නිව්යෝර්ක් මැරතන් තරගය අඛණ්ඩව තෙවරක් ජය ගෙන සමස්තයක් වශයෙන් එය සිව්වරක් ශූරිය බවට පත්ව ඇති නිසයි. එසේ ලෙහෙසියෙන් ජය ගැනී-මට හැකි මැරතන් තරගයක් නොවන හෙයින් සිව්වරක් ජය ගැනීම ඉහළින් ඇගයිය හැකි කාරණයක්.
'2019 වසරේ දී ත් මම මැරතන් ක්‍රීඩිකාවක වශයෙන් සාර්ථක වුණා. එතකොට මගේ වයස අවුරුදු 37 ක්. ඉතින් ඒ වයසේ දී ත් මම ඒ විදිහට සාර්ථක වෙද්දී අපේක්ෂා කළේ තවත් සැලකිය
යුතු කාලයක් ක්‍රීඩාවේ රැඳී ඉන්නයි. ඇත්තම කියනවා නම් ඒ වසරේ දී මට නිව්යෝර්ක් මැර-තන් තරගයේ දෙවැනියා වෙන්නත් හැකි වුණා. මේ නිසා මම තව දුරටත් ක්‍රීඩාවේ රැඳී සිටීම ගැන සිහින මැව්වා. ඒත් කනගාටුව තමයි හදිසියේ ඇතිවුණු කොන්දේ ආබාධය. 2019 වසරේ අග භාගයේ දී තමයි සියලු දේ වෙනස් වුණේ. ඒ නිසා මාව ක්‍රීඩාවෙන් සමුගන්න පෙලඹ වීමක් ඇති කළා.' ඇය පවසනවා.
කෙයිටානි යනු ලෝකය තුළ කොතරම් බලපෑම් සහගත ක්‍රීඩිකාවක් වුව ද තමන්ට ඇති වූ කොන්දේ ආබාධයට නිසි කලට නිසි ප්‍රතිකාර ලබා ගැනීමට ඇයට නොහැකි වී තිබුණා. ඒ සංක්‍රමණික අර්බුද හේතුවෙන්.
'ඒ කාලේ කොවිඩ් අර්බුදවලින් යුරෝපය අසීරු තත්ත්වයක සිටියේ. ඒ නිසා මට මගේ කොන්දේ ආබාධය මතු වූ සැණින් නිසි ප්‍රතිකාර ගන්න යුරෝපයට එන්න බැරිවුණා. අන්තිමට කොහොම හරි යන්තමට වගේ මගේ කොන්දේ වේදනාව අඩු වුණා. ඒ ගමන් මම කළේ පරණ විදිහට මලල ක්‍රීඩා පුහුණු කටයුතු පටන් ගන්න එකයි. ඒත් අවසනා-වට යටගිය වේදනාව යළි මගේ කොන්දෙන් මතු වුණා.'ඈ පවසනවා.
කෙයිටානි ක්‍රීඩාවෙන් සමුගන්න තීරණය කර-න්නේ ඒ නිසයි. ඒත් ක්‍රීඩාවෙන් විශ්‍රාම යෑමෙන් පසු කරන්නේ කුමක් ද යන්න සම්බන්ධයෙන් ඈ කෙටි අදහස් දැක්වීමක් කර තිබුණා.
'මම අනාගතය ගතකරන්නේ කොහොමද කියන එක ගැන සම්පූර්ණයෙන්ම සැලසුම් සකස් කර නෑ. මොකද මම ක්‍රීඩාවෙන් සමුගන්නේ හදිසියේ නිසා. ඒත් වැඩි කාලයක් මම මගේ පවුල වෙනුවෙන් යොදවන්න බලාපොරොත්තු වෙනවා කියන එක නම් බොරුවක් නොවෙයි. මගේ දරුවන් දෙදෙනාට දැන් මාව ගොඩාක් ඕනෑ. ඔවුන් දෙදෙනාට දැන් අවුරුදු දහතුනක් හා අටක් වෙනවා. ඒ වගේමයි දේශීය පුණ්‍යාධාර ව්‍යාපෘති කීපයක් එක්කත් මේ වන විට මම සම්බන්ධව සිටිනවා. මේ කියන වැඩ සටහන් එක්ක කාලය ගෙවද්දී මගේ අනාගතය අඩුවකින් තොරව කාර්ය බහුල කරාවි.' ඈ පවසනවා.
කෙයිටානිගේ ක්‍රීඩා ජීවිතයේ පළමු සාර්ථකත්වය සේ සැලකෙන්නේ 2007 වසරේ ලෝක අර්ධ මැරතන් ශූරතාව යි. එහි දී ඈ ඒකලව දිනාගත් රිදී පදක්කම හා කණ්ඩායමක් ලෙස හිමි කර ගත් රන් පදක්කම අමතක කළ නොහැකි යි.
2008 වසරේ දී තමයි ඈ මවක් බවට පත්වන්නේ. ඊට වසරකට පසු ඈ එංගලන්තයේ බර්මිංග්හෑම් හි දී ලෝක අර්ධ මැරතන් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සමත් වුණා. එසේම ඇගේ එම දක්ෂතාව කෙන්යාවට අර්ධ මැරතන් කිරුළ දෙවැනි වරටත් දිනා දීමටත් උපස්ථම්භක වුණා.
2010 වසරේ දී ඈ නිව්යෝර්ක් මැරතන් තරගයට එක්වෙමින් එහි තෙවැන්නා ලෙසින් තරගය නිම කළා. ඒ අතර ඊට හරියටම වසරකට පසුව ලන්ඩන් මැරතන් තරගයේ කිරුළ හිමි කර ගැනීම ඇයට හැකිවුණා.
ඇගේ දෙවැනි දරුවාගේ උපත සිදුවුණේ 2013 වසරේ දී යි. ඈ තම දෙවැනි දරුවා
බිහි කර යළි ක්‍රීඩා පිටියට පැමිණීම සැම-රුවේ මැරතන් ජයග්‍රහණ මාලාවකින්. ඒ තමයි අඛණ්ඩව වසර තුනක් එනම් 2014 සිට 2016 දක්වා නිව්යොර්ක් මැරතන් ශූරිය බවට පත්වෙමින්. ඉන් අනතුරුව ඈ යළි නිව්යෝර්ක් මැරතන් ශූරිය වන්නේ 2018 වසරේදී යි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී 2011 වසරේ සංවිධානය වුණු ආර්.ඒ.කේ. අර්ධ මැරතන් තරගයට තරග වැදුණු ඈ නව ලෝක වාර්තාවක් පිහිටුවූවා. එය වසර තුනක් නොබිඳී පැවතුණා. පසුව එම වාර්තාව බිඳ දමනු ලැබුවේ ඇගේ රටේම ක්‍රීඩිකාවක වන ෆ්ලොරන්ස් කිප්ලැගැට් විසිනුයි. ඒ බාසිලෝනා නුවර දී.
කෙයිටානි ගේ මැරතන් ක්‍රීඩා ජීවිතයේ යම් අපේක්ෂා භංගත්වයක් ලෙස සැලකිය හැක්කේ 2012 වසරේ ලන්ඩන් ඔලිම්පික් උළෙලේ දී සිව්වැනියා බවට පත්වීම යි.
කෙන්යාවේ බැරින්ගෝ පළාතේ කැබැරැන්ට් හි උපත ලද ඈ මුලින්ම ප්‍රාථමික පාසලේ දී තමයි ධාවනයට පිවිසියේ. 2002 වසරේ දී ඈ කෙන්යාවේ සැඟවුණු දක්ෂතා සොයනු ලබන 'ද හිඩ්න් ටැලන්ට් ඇකඩමි' හා සම්බන්ධ වුණා.
කෙයිටානි පළමුවෙන්ම ජ්‍යෙෂ්ඨයන් සමඟ මැරතන් තරගයකට ඉදිරිපත් වූයේ 2006 වසරේ දී යි. ඈ එහිදී විසි එක්වැනියා වශයෙන් තරගය අවසන් කළේ කාන්තාවන් සඳහා වූ කිලෝ මීටර් පහේ ධාවන තරගයට එක්වෙමිනුයි.
2007 වසරේ දී ඇයට රිදී පදක්කමක් ලෝක මාර්ග ධාවන ශූරතාවයට එක්වෙමින් දිනාගන්න හැකි වුණා.
පෞද්ගලික ජීවිතය පැත්තෙන් බලද්දිත් කෙයිටානි දුවන්නම සුදුසු විදිහට තමයි තම පවුල් ජීවිතය පවා සකසා ගත්තේ. ඒ ඈ විවාහ වී සිටින්නේ තවත් ධාවකයකු සමඟයි. ඔහු නමින් චාර්ල්ස් කොඑච්. ඇගේ පළමු දරුවා ජාරෙඩ්. දෙවැනි දරුවා සමන්තා යි. කෙයිටානි ගැබ් ගැනී-මෙන් තෙවැනි මාසය වන විට ක්‍රීඩාවෙන් හා ක්‍රීඩාත්මක අභ්‍යාසයන්ගෙන් වැළකී සිටියා. ඒ වගේම ඇගේ දරුවා මෙලොව එළිය බලා මාස හයක් ගත වන විට යළි ක්‍රීඩා ජීවිතය ආරම්භ කළා.
නිව්යෝර්ක්, ලෝක මැරතන් තරගය සහ අර්ධ මැරතන් තරගය 2015 වසරේ දී ජය ගැනීමට කෙයිටානි සමත් වූ අතර එවැනි දස්කමක් දැක් වූ ලොව දෙවැනි ක්රිඩිකාව ලෙස ගෞරවයට පාත්රවන්නේ ද ඇය යි. ඊට පෙර එය සුප්‍රකට ක්‍රීඩිකා පෝලා රැඩ්ක්ලිෆ් පමණක් ලබා තිබූ ගෞරවයක් වුණා.
1982 ජනවාරි 18 වැනි දා මෙලොව එළිය දුටු ඈ මකර ලග්න ලාභිනියකි. මාපියන් සම්පූර්ණයෙන්ම ඇගේ උප්පැන්නයට නම තැබුවේ මේරි ජෙප්කොස්ගි කෙයිටානි යනුවෙනුයි. කොහොම වුණත් දැන් අපට ඇයව යළි ලෝක මාර්ග ධාවන පෙතේ දකින්න නොලැබේවි. එහෙත් ඇගේ මතකය ලෝකයේ මලල ක්‍රීඩා ලෝලීන්ට කලකට අමතක නොවේවි. තවත් දෙයක් ඈ ගැන කිව යුතුයි. ඒ තමයි ඈ තැබූ ලෝක වාර්තාව තවත් කෙන්යානුවෙක් කඩා දමන තුරු දිගු කලක් කෙයිටිනිගේ නමින් ලෝක ක්‍රීඩා ඉතිහාසයේ ගැඹුරු මතයක් වනු ඇති.










