
'සියොන්ට නෑසියන් නැත. මාපියන් ද නැත. එහෙත් ලෝ වැසියන් හා රටවැසියන් ඔහුට සිටී. ඒ ඔහු ඒ සියලු වැසියන් දිනාගත් හෙයිනි. උපතින් අසමත් වුව ද ජීවිතයෙන් සමත් වූ සියොන් ලෝවැසියන් අතර සම්භාවනාවට පාත්‍රවන ධෛර්යයවන්තයෙකි. මේ ඒ සියොන් ක්ලාක් ය.'
අමෙරිකා එක්සත් ජනපදයේ ඔහියෝ ප්‍රාන්තයේ කොලම්බස් නගරයේ දී 1997 සැප්තැම්බර් 29 වැනි දින අමුතු ම රූපකායක් හිමි දරුවකු උපත ලැබුවේ ය. මේ අමුත්තට හේතුව ඔහුගේ දෙපා නොපිහිටීම ය. දෙපායැයි කීව ද ඔහුගේ ඉණෙන් පහළ කොටසක් තිබුණේ නැත. මෙම දරුවාට ඔහුගේ මාපියන් සියොන් ක්ලාක් නම් තැබූවේ ය.
දරුවකු මෙලෙස උපදින්නේ ‘කෝඩල් රෙග්‍රේෂන් සින්ඩ්‍රෝම්’ නම්, ඉතාමත් කලාතුරකින් කෙනෙකු තුළ හටගන්නා ජානගත රෝගී තත්ත්වයක් හේුවෙන් බව වෛද්‍ය මතය ය. සියොන් මේ තත්ත්වයට මුහුණපෑ හේතුව ගැබිණි සමයේ දී මව ලබාගත් ඇතැම් ඖෂධ බව ඔවුන්ගේ තීරණය විණි.
 උත්පත්තියට පෙර කෙරුණු වෛද්‍ය පර්යේෂණ තුළින් තමාට බිහිවනුයේ මෙවන් අසාමාන්‍ය දරුවකු බව මව දැන සිටියා ය. මේ දරුවා හදා වඩාගැනීමේ කැපවීමට මුහුණ දීමට අකැමැති වූ ඇය උපන් විගසම සියොන් එවන් වූ ආබාධ සහිත දරුවන් රැකබලා ගන්නා ආයතනයකට පැවරීමට සිත හදාගත්තේ එහෙයිනි. එබැවින් සියොන්හට දෛවය විසින් සිරුරෙන් අඩක් පමණක් නොව වැදූ මවගේ සෙනෙහස, උණුසුම සහමුලින්ම අහිමි කරවනු ලැබිණි. මේ කවරක් අහිමි වුවද සියොන් කිසිසේත්ම අවාසනාවන්තයෙකු නම් නොවී ය.
උත්පත්තියට පෙර කෙරුණු වෛද්‍ය පර්යේෂණ තුළින් තමාට බිහිවනුයේ මෙවන් අසාමාන්‍ය දරුවකු බව මව දැන සිටියා ය. මේ දරුවා හදා වඩාගැනීමේ කැපවීමට මුහුණ දීමට අකැමැති වූ ඇය උපන් විගසම සියොන් එවන් වූ ආබාධ සහිත දරුවන් රැකබලා ගන්නා ආයතනයකට පැවරීමට සිත හදාගත්තේ එහෙයිනි. එබැවින් සියොන්හට දෛවය විසින් සිරුරෙන් අඩක් පමණක් නොව වැදූ මවගේ සෙනෙහස, උණුසුම සහමුලින්ම අහිමි කරවනු ලැබිණි. මේ කවරක් අහිමි වුවද සියොන් කිසිසේත්ම අවාසනාවන්තයෙකු නම් නොවී ය.
මුල් කාලයේ දී මේ අසාමාන්‍යතාව හේතුවෙන් සියොන් නැඟිට හිඳගැනීමේ හෝ හැකියාවක් නොවූ තරමට ඔත්පල විණි. එහෙත් මෙය දෛවයේ උරුමයක් ලෙසින් නොතැකූ ළතෙත් හදවත් ඇති වෛද්‍යවරුන්ට අවශ්‍ය වූයේ කිසිදා දෙපයින් නැඟී සිටිය නොහැකි ඔහු කෙලෙසින් හෝ නඟාසිටුවීම ය. ඒ උතුම් අරමුණ ඇතිව ඔවුහු සියොන් සැත්කම් දෙකකට බඳුන් කළ හ. දෙපා නැතත් සියොන් නොවැටී කෙළින් සිටගැනීමේ වරම් හිමිවූයේ මේ වෙදැදුරන් තුළ වූ අපරිමිත අසීමිත මානව දයාවේ ප්‍රතිඵල මල්ඵල ගැන්වෙමිනි.
තමා හැදී වැඩුණු ආයතනයෙන් සියොන් වෙත ලැබුණේ හුදු ආදරය, රැකවරණය, පෝෂණය පමණක්ම නොවී ය. ඒ සැමටම වඩා වැදගත් වූ ‘ජීවිතාවබෝධය’ එතැනින් නොමඳව ලැබිණි. අද ඔහු යම් තැනක හිඳී ද එතැනට එන්නට පාර කැපුණේ මේ අමිල දායාදය හේතුවෙනි.
“තමන්ට කොයි දේ නැති වුණත් කවදාවත් පස්සට යන්න එපා. පුළුවන් තරම් බලාපොරොත්තු ඇතිකර ගන්න. කවදාවත් ඒවා නැති කරගන්න එපා. ලද දෙයින් සතුටු වෙන්න. නොලැබුණු දේවල් ගැන කවදාවත් පසුතැවෙන්න එපා.” සියොන් පවසන්නේ තමන් ලැබූ ජීවිතාවබෝධයේ පදනම ය. අද ඔහු ඒ ජිවිතාවබෝධය ආදර්ශ පාඨය බවට පමුණුවාගෙන ජීවිතය සාර්ථකව ජය ගෙන ඇති බව ලොව හමුවේ ඔප්පු කර ඇත.
නිසි කල වයස සපිරි සියොන් පාසලකට යොමු කෙරිණි. එය ආබාධිත දරුවන් සඳහා වෙන්වුණු පාසලක් නොවී ය. මේ අසාමාන්‍ය දරුවා දුටු පන්තියේ අනෙක් ළමයින් ඔහුට නොයෙක් නම් පටබැන්ද හ. උසුළු විසුළු කළහ, ශාරීරික පීඩා කළ හ. එනමුත් මේ කිසිවකින් කලකිරී පාසල් ගමන නතර කළේ ඔහු නොවේ. ඒ වෙනුවට ඔහු කළේ අධ්‍යාපන කටයුතු හොඳින් සපුරා පන්තියේ වැඩිම ලකුණුලාභියා වීම ය. එතැන් පටන් ළමයි කිසිවෙකු ඔහුට අඩන්තේට්ටම් නොකළ හ.
ඔහු දක්ෂ ඩ්‍රම්ස් වාදකයෙකි. ඒ දක්ෂතාව නිසාම වයස අවුරුදු 15 දී ගමේ පල්ලියේ වාදක මඬුල්ලේ ඩ්‍රම්ස් වාදකයා වූයේ ය. කිම්බර්ලි හෝකින්ස් මේ පල්ලියට ආ ගිය කාන්තාවකි. ඇයට දියණියන් දෙදෙනෙකි. කලක පටන්ම ඇය පුතකු බලාපොරොත්තුවෙන් සිටියා ය. සියොන්ගේ හැකියාවත් ඔහුගේ තත්ත්වයත් තේරුම් ගත් ඇය තුළ ඔහු කෙරෙහි සෙනෙහස මුසු වූ අනුකම්පාවක් ඇතිවිණි. මේ හැඟීම්වල අවසාන ප්‍රතිඵලය වූයේ ඇය සියොන් දරුකමට හදාවඩා ගැනීමට නීත්‍යනුකූලව භාරගැනීම ය.
ගැටවර වියට පා තබා සිටි සියොන් හැඩි දැඩි, සවිමත් සිරුරක උරුමකරුවකු වූයේ ය. මේ සිරුරෙන් ප්‍රයෝජන ගැනීමට සිතූ ඔහු මල්ලව පොර ක්‍රීඩාවට අවතීර්ණව ඒ හා සබැඳිව මනා පන්නරයක් ලැබී ය. ඔහු පොර බැදුවේ ඔහු මෙන් ආබාධිත වූවන් සමග නොව නිරෝගීමත්, පිරිපුන් සිරුරැති ක්‍රීඩකයන් සමගිනි. කෙන්ට් ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටියදී ඔහු මල්ලව පොර තරග 48 ක ට මුහුණ දී ඉන් 33 කින් ජය ගැනීමට ද සමත් විය. දිස්ත්‍රික් ශූරතාව අඛණ්ඩව වසර ගණනාවක් දිනා සිටි ටයිබ්‍රේකර් නමැති කායිකව නිරෝගී මල්ලව පොර ශූරයා පැරදවීම සියොන්ගේ ක්‍රීඩා දිවියේ කැපී පෙනෙන ජයග්‍රහණයකි.
“මාව හදාගත්ත මගේ ආදර අම්මා තමයි මට මේ ලෝකෙන් ලැබුණ ලොකුම තෑග්ග. අම්මාට ඕනැ මාව ලෝකෙම කතාකරන එයාගෙ වීර පුතා වෙනවා දකින්නයි. මම ඒ හීනෙ කොහොම හරි සැබෑ කරනවා.” සියොන් අදිටන් කරගති. අවසන ඔහු ඒ සිහිනය සැබෑ කළේ ය. ඒ, ගිනස් පොතේ නම ලියවුණු ලෝක වාර්තාවක් පිහිටුවමිනි.
2021 වසරේ පෙබරවාරි 15 වැනි දින තම දෑත් මගින් මීටර 20 ක දුරක් තත්පර 4.78 ක කාලයක් තුළදී දිවයමින් ඒ වාර්තාව පිහිටු වූ යේ ‘දෑත් මගින් දිව යන ලොව වේගවත්ම මිනිසා’ බවට පත්වෙමිනි. ඇමරිකාවේ ඔහියෝහිදී මේ වාර්තාව පිහිටුවන විට ඔහු 23 වැනි වියෙහි පසුවිය.
අද වනවිට විශ්වවිද්‍යාල උපාධිධරයෙක්, වන සියොන් සිත් තුළ උද්‍යෝගය වඩවන අභිප්‍රේරණ දේශකයකු, ලේඛකයෙකු, ව්‍යවසායකයෙකු ලෙසින් සමාජයට සෙත සලසයි.
“මගේ ජයග්‍රහණ හැම එකක් පසුපස්සෙම තියෙන්නෙ බලාපොරොත්තු ඇතිකර ගැනීම හා ඒවා ඉටුකර ගන්නට දරන උත්සාහය පමණයි,” සියොන් තම ජීවිතය ජයගත් කතාව තනි වැකියකට නංවයි. එය මනරම් පණිවුඩයකි. සියලු දේ ඇතුළත් කර ලියැවෙන පිටු දෙතුන් සියයක පොතක් තරමටම සාරගර්භ ය.
ඔබට දෑත් දෙපා තිබෙන බව සැබෑ ය. එහෙත් සියොන් ක්ලාක් කෙනෙක්ගේ මනස ..........එය ගොඩනගා ගනිමු.
 
 









