
මුරුංගා අතු අගිසිවල තියා නැති කර නොගත යුතු චරිතය
'ශ්‍රී ලංකාවේ අනාගත ක්‍රිකට් සන්නාමය චරිත් අසලංක යැයි 'ක්‍රීඩා' ලිව්වේ බොහෝ කලකට පෙර ය. එවිට ඔහු ජාතික තලයේ වඩා අවධානයකට ලක්ව තිබුණේ නැත. එහෙත් දේශීය ක්‍රිකට් පිටියේ අනාගත මංලකුණු මත වේගයෙන් ඇවිද යා හැකි පෞරුෂත්වයක් ඔහු සතුව පවතින බව අවබෝධ කර ගන්නට හැකි හෙයින් අප එලෙස ඔහු හැඳින්වීමු. එය දැන් ඔහු ඔප්පු කරමින් සිටින්නේ ජාතික කණ්ඩායම නියෝජනය කරමිනි. එහෙත් ඔහු දැන් මුරුංගා අතුරිකිලි මත නොනංවා අනාගතය වෙනුවෙන් ආරක්ෂා කර ගැනීම වැදගත් ය.'
වර්තමානයේ සීමිත පන්දුවාර ක්‍රිකට් ක්‍රීඩාවට වඩාත්ම අවශ්‍ය වන්නේ ප්‍රවේගකාරී පිතිකරුවෝ ය. ප්‍රවේගකාරී පිතිකරුවෙක් වූ පමණින්ම සීමිත පන්දුවාර ක්‍රිකට් ක්‍රීඩාව තුළ පවතින්නට ක්‍රීඩකයෙකුට පහසු නැත.
ඒ වෙනකක් නිසා නොව ප්‍රවේගකාරී පිතිහරඹය සමඟ ස්ථාවරත්වය නැතහොත් දිගු ඉනිම් ක්‍රීඩා කිරීමට ඇති ප්‍රාගුණ්‍යය සලකා බලද්දී ය. එවැනි සීමිත පිතිකරුවන් අතර අද වන විට ශ්‍රී ලංකාව තුළ වඩා කැපීපෙනෙන පිතිකරුවකු වශයෙන් චරිත් අසලංක දැක්විය හැකි ය. එහෙයින් ඔහු එළැඹෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය නියෝජනය කරන්නට ද සුදුසුකම් ලබා තිබේ. පසුගිය දා නිමාව දුටු ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකානු එක්දින තරගාවලියෙහි තරගාවලියේ වීරයා සම්මානය හිමි කරගත්තේ ද ඔහු ය. එහිදී තරගාවලිය පුරා අර්ධ ශතක 2 ක් ද සමඟ වැඩිම ලකුණු ලබාගෙන තිබුණේ ද ඔහු ය.
අසලංක ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තබන්නේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙනි. 2015 සහ 2016 යන වසර දෙකෙහිම දේශීය පාසල් ක්‍රිකට් පිටියේ දක්ෂත ම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි වන සන්ඩේ ඔබ්සවර් - මොබිටෙල් සම්මානයෙන් පිදුම් ලැබුවේද ඔහු ය. පාසල් ක්‍රිකට් කණ්ඩායමේ දී දැක්වූ කැපී පෙනෙන දක්ෂතාව නිසාම ඔහු අවුරුදු 19 න් පහළ ජාතික සංචිතයට ඇතුළත් වූයේ ය. එපමණක් නොව අවුරුදු 19 න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ද පිරිනැමුණේ ඔහුට ය.
2016 වසරේ දී පැවැති අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන තරගාවලිය නියෝජනය කළ ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවූයේ ඔහු ය. එහි දී අවසන් පූර්ව වටය දක්වා සිය කණ්ඩායම මෙහෙයවීමට චරිත්ට හැකි විණි. එම තරගාවලියේ දී අර්ධ ශතක 5 ක් සහිතව ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු රැස් කරන්නට අසලංක සමත් විය.
තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන ඔහු පළමු පෙළ ක්‍රිකට් තරග 39 ක ට ක්‍රීඩා කරමින් ඉනිම් 65 ක දී ලකුණු 1752 ක් ලබාගෙන තිබේ. එම තරග ප්‍රමාණයෙන් ඉනිම 13 ක් අර්ධ ශතකවලින් හැඩගැන්වීමටත් එක් ශතකයක් වාර්තා කිරීමටත් ඔහුට හැකිවී තිබේ. ඒ පළමු පෙළ තරගවල දී ශතකයක් ලබා ගත් ශ්‍රී ලංකාවේ ළාබාලතම ක්‍රීඩකයා බවට ද පත්වෙමිනි. පන්දු යවන්නෙක් ලෙස ඔහු පළමු පෙළ පිටිය තුළ දවාගෙන ඇති කඩුලු ප්‍රමාණය 30 කි.
ඔහු පළමුවරට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්දින තරග ක්‍රීඩා කළේ 2021 වසරේ ජුනි මාසයේ එංගලන්ත කණ්ඩායමට එරෙහිව ය. ඒත් එහි දී පිතිකරණයෙන් දක්ෂතා අතරට නොපැමිණි නමුත් ඉන් පසුව ඉන්දීය කණ්ඩායම සමඟ වූ එක්දින තරගාවලියේ දෙවැනි තරගයේ අර්ධ ශතකයක් ලබා ගත්තේ ය.
නොබෝදා ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහීව අවසන් කළ දකුණු අප්‍රිකාව සමඟ පැවති එක්දින තරගාවලියේ ශ්‍රී ලංකා පිලේ ජයග්‍රහණයේ නියමුවා වූයේ ද චරිත් අසලංක වීම ඔහු කොතෙක් වටිනා ක්‍රීඩකයෙක් ද යන්න තේරුම් ගැනීමට අවස්ථාව උදාකර තිබේ. ඔහු මේ වන විට ජාත්‍යන්තර එක්දින තරග 8 ක ට සහභාගි වෙමින් ලකුණු 326 ක් ලබාගෙන ඇති අතර පන්දු යවන්නෙක් ලෙස එක් කඩුල්ලක් දවා ගෙන තිබේ. ජාත්‍යන්තර විස්සයි 20 තරග 4 ක් නියෝජනය කර ඇත. මෙම වසරේ ජූලි මාසයේ ඉන්දියාවට එරෙහිව විස්සයි20 ජාත්‍යන්තර පිටියට පිවිසි චරිත් එම තරගයේ දී ලකුණු 44 ක් ලබා ගන්නට සමත් විය.
ජාතික කණ්ඩායමට එක් වූ නවක ක්‍රීඩකයකු වන චරිත් අසලංක පිළිබද ව මේ වන විටත්, හිටපු ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ම සුබවාදී අදහස් පළ කර තිබීම ද විශේෂත්වයකි. ඒ් අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක දෙපළක් වන සනත් ජයසූරිය සහ ලසිත් මාලිංග මෙන්ම හිටපු වේග පන්දු යවන්‍නෙක් වන ධම්මික ප්‍රසාද් ද දැක්විය හැකි ය.
එංගලන්ත පිලට එරෙහිව පැවැති මංගල තරගයේ පළමු පන්දුවට පහර දුන් ආකාරය අනුව ඔහුට ක්‍රිකට් ක්‍රීඩාවේ දුර ගමනක් යා හැකිබව මාලිංග පවසා තිබුණේ ය. විශ්වාසයක් සහිතව පන්දුවට පහරදීම චරිත් සතු විශේෂ හැකියාවක් බව මාලිංග පවසා ඇත.
චරිත් ප්‍රවේගකාරී ක්‍රීඩකයෙක් වන්නා සේම විශිෂ්ට දරා ගැනීමක් සහිතව තරගයක් ඉදිරියට ගෙනයා හැකි ක්‍රීඩකයෙක් බව ධම්මික ප්‍රසාද් ගේ අදහසයි. සනත් ජයසූරිය, චරිත් අසලංක පිළිබඳව පළ කර ඇත්තේ ඔහු විශාල හැකියාවක් සහිත ක්‍රීඩකයෙක් බව ය. ඔහු පෙන්වා දෙන්නේ ජාතික කණ්ඩායමක අංක 5 පිතිකරුවා ලෙස ක්‍රීඩා කිරීම එතරම් පහසු කටයුත්තක් නොවන නමුත් ඔහු ඊට නිසි සුදුසුකමක් සහිත පිතිකරුවකු බව සනත් ජයසූරියගේ අදහස ය. අංක 5 පිතිකරුවා සෑම විටම ඒ ඒ අවස්ථාවන්ට ගැළපෙන අයුරින් පන්දුවට පහර දීමට තරම් උපක්‍රමශීලි විය යුතු බවත් අසලංකට එම හැකියාව මනාව පවතින බැවින් ඔහු හොඳ අනාගතයක් සහිත ක්‍රීඩකයකු බව හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයාගේ අදහසයි.
'චරිත් අසලංකව නිසි පරිදි ආරක්ෂා කරගත යුතු යි. එය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අනාගත ආයෝජනයක්.' යැයි ඔහු කියන්නේ එහෙයිනි.










