
'වාර්තා ඕනෑ තරම් තැබිය හැකි ය. එහෙත් කිසිදා බිඳිය නොහැකි සදාකාලික වාර්තා තැබීම අසීරු ය. මේ එවැනි සදාකාලික ටෙස්ට් ක්‍රිකට් වාර්තා කීපයකි. පුදුමය වනුයේ එම වාර්තා බිඳින්නට තබා සිතන්නටවත් නොහැකි වීම ය. එහෙයින් ඒවාට කියන්නේ සදාකාලික වාර්තා කියා ය. මේ ඒ ගැනය.'
ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට සාඩම්බර අතීතයක් හිමියි. ඒ අතීතය ශත වර්ෂ එකහමාරක් ඒ කියන්නේ වසර 150 ක ට ආසන්න ඉතිහාසයකට උරුමකම් කියන්නේ ඒ නිසයි. එතරම් දිගු ඉතිහාසයක් සහිත ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ වාර්තා පොතද දිනකින් දෙකකින් කියවන්නට නොහැකි තරමට ඉතා දිගු වූවක්. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ විවිධ අංශවලින් තැබූ වාර්තාවල මුල්ම හිමිකාරීත්වය පිළිබඳ ව මෙම ලිපියෙන් විමසා බලන්න අප තීරණය කළා.

ලොව පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය
ඒ තරගය තිබුණේ 1877 වර්ෂයේ. එය ලෝක ක්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂී ම වර්ෂ-යක් බව කිව යුතුයි. මොකද අන්තර්ජාතික ටෙස්ට් ක්‍රිකට් වංශකතාවේ ආරම්භය ලියැ-වුණේ එම වසරේ දී යි. ලොව ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගය, ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වුණා. ඒ 1877 මාර්තු 15 වැනි දා. එතැන් සිට පුරා දින 5 ක් එම තරගය පැවැත්වුණා.
පළමු කාසියේ වාසිය
ජාත්‍යන්තර ටෙස්ට් තරගයක පළමුවරට කාසියේ වාසිය උරගා බැලීම සිදුවූයේ ද 1877 පැවති පළමු ටෙස්ට් තරගයේ දී යි. එහි කාසියේ වාසිය ඔස්ට්‍රේලියානු කණ්ඩායම විසින් හිමි කර ගත්තා.
පළමු ටෙස්ට් තරග ජයග්‍රහණය
1877 පැවති පළමු ටෙස්ට් තරගය ජයග්‍රහණය කළේ ඔස්ට්‍රේලියාවයි. එහි දී එංගලන්ත පිල ලකුණු 45 කින් පරාජය කරන්නට ඔස්ට්‍රේලියානුවන් සමත් වුණා. ලොව පළමු ටෙස්ට් තරග ජයග්‍රහණය ලෙස එම අවස්ථාව ඉතිහාසයට එක්ව තිබෙනවා. එසේම පළමු වරට එක් ඉනිමක් සහිතව ටෙස්ට් තරග ජයග්‍රහණයක් වාර්තා වූයේ 1883 වසරේ දී වන අතර, එංගලන්ත කණ්ඩායම ඉනිමකින් සහ ලකුණු 27 කින් පරාජය කළ ඔස්ට්‍රේලියාවම එම වාර්තාවට ද හිමිකම් කියනවා.
පළමු පිතිකරණ ඉනිම
1877 පළමු ටෙස්ට් තරගයේ කාසිය වාසිය ජයග්‍රහණය කළ ඔස්ට්‍රේලියානු කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළා. එය ලොව පළමු ටෙස්ට් පිතිකරණ ඉනිම ලෙස ඉතිහාසයට එක් ව තිබෙනවා.
පළමු අර්ධ ශතකය හා ශතකය
පළමු ටෙස්ට් තරගයේ දී වාර්තා ගණනාවකට හිමිකම් කී ඔස්ට්‍රේලියානු සුපිරි පිතිකරු චාල්ස් බැනර්මන් එම තරගයේ පළමු ඉනිමේ දී ලකුණු 165 ක් රැස් කළා. එම නිසා පළමු වරට ටෙස්ට් අර්ධ ශතකයක් වාර්තා කිරීම, ශතකයක් වාර්තා කිරීම සහ ලකුණු 150 සීමාව පසු කිරීම යන වාර්තා ත්‍රිත්වයට ම හිමිකම් කීවේ චාල්ස් බැනර්මන්.
පළමු ටෙස්ට් පන්දු යවන්නා
මෙම තරගයේ ඔස්ට්‍රේලියානු කණ්-ඩායම පළමු පිතිකරණ ඉනිම ක්‍රීඩා කරද්දී එංගලන්ත කණ්ඩායමේ ඇල්ෆ්‍රඩ් ෂෝව්, ජාත්‍යන්තර ටෙස්ට් තරගයක පළමු පන්දුව යැවීමට අවස්ථාව හිමි කර ගත් වාසනාවන්තයා විය.
පළමු ටෙස්ට් පිතිකරු
එදා ඇල්ෆ්‍රඩ් ෂෝව්ගේ ටෙස්ට් පන්දුවට මුහුණ දුන්නේ ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු චාල්ස් බැනර්මන්. එහි දී ලොව පළමු ටෙස්ට් පිතිකරු බවට පත්වුණු බැනර්මන් ක්‍රිකට් ඉතිහාසයට එක් වුණා.
පළමු ටෙස්ට් ලකුණ
ලොව පළමු ටෙස්ට් ලකුණ ලබා ගත්තේ චාල්ස් බැනර්මන් විසිනුයි.
පළමු කඩුලු රකින්නා
ලෝක ටෙස්ට් ක්‍රිකට් වංශකතාවේ පළමු කඩුලු රකින්නා වන්නේ එංගලන්ත ක්‍රීඩක ජෝන් සෙල්බයි.
පළමු හතරේ පහර
ටෙස්ට් තරගයක පළමු හතරේ පහරේ හිමිකම ඔස්ට්‍රේලියානු පිතිකරු චාල්ස් බැන්ර්මන් සතුයි. එය සිදුවූයේ ද 1877 පළමු ටෙස්ට් තරගයේ දී යි.
පළමු ටෙස්ට් කඩුල්ල
ලොව පළමු ටෙස්ට් කඩුල්ල ලබා ගන්නේ එංගලන්ත ක්‍රීඩක අලේන් හිල් විසින්. 1877 ලොව පළමු ටෙස්ට් තරගයේ දී ඔහු ඉදිරියේ එක් ලකුණක් ලබා සිටි ඔස්ට්‍රේලියානු පිතිකරු නැට් තොම්ප්සන් දැවී ගියේ පන්දුව කෙළින් ම කඩුල්ලේ වැදීමෙන්.
පළමු ටෙස්ට් උඩ පන්දුව
ටෙස්ට් තරගයක පළමුවරට උඩ පන්දුව අල්ලා ගැනීමෙන් දැවී ගිය ක්‍රීඩකයා වන්නේ ඔස්ට්‍රේලියානු පිති-කරු ටොම් හොරේන්. එයද ලොව පළමු ටෙස්ට් තරගයේදී සිදු වූ අතර, එංගලන්ත ක්‍රීඩක අලේන් හිල් විසින් උඩ පන්දුව රැක ගත්තා. එම පන්දුව යවා තිබුණේ ඇල්ෆ්‍රඩ් ෂෝව් විසින්.
පළමු දුවද්දි දැවී යෑම
ටෙස්ට් ක්‍රිකට් වංශකතාවේ පළමු දුවද්දි දැවී යෑමද, ලොව පළමු ටෙස්ට් තරගයේදී ම සිදු වුණා. එසේ දැවී ගියේ ඕස්ට්‍රේලියානු පිතිකරු ඩේව් ග්‍රෙගරි යි.
කඩුල්ල මුවා කිරීම.
ලොව පළමු වරට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගිය ක්‍රීඩකයා වාර්තා වන්නේද ලොව පළමු ටෙස්ට් තරගයේදී මයි. එ අනුව එංගලන්ත ක්‍රීඩක හැරී ජුප් දැවී ගියේ ටොම් ගැරෙට්ගේ පන්දුවක් හමුවේයි.

පළමු කඩුල්ල බිඳ දැමීම
ටෙස්ට් වංශකතාවේ කඩුල්ල බිඳ දැමීමෙන් සිදු වූ දැවී යෑමද පළමු ටෙස්ට් තරගයේම වාර්තා වුණා. එසේ දැවී ගියේ එංගලන්ත ක්‍රීඩක ඇල්ෆ්‍රඩ්  ෂෝව්. ඔස්ට්‍රේලියානු කඩුලු රකින ක්‍රීඩක ජැක් බ්ලැක්හැම් විසින් එම දවාගැනීම සිදු කළා.
ඉනිමක පළමු කඩුලු 5 අවස්ථාව
ටෙස්ට් ඉනිමක කඩුලු 5ක් ලබා ගත් ලොව පළමු පන්දුයවන්නා වන්නේ ඔස්ට්‍රේලියානු ක්‍රීඩක බිලී මිඩ්වින්ටර්. ලොව පළමු ටෙස්ට් තරගයේ පන්දු යැවූ පළමු ඉනිමේදී ම ඔහු ලකුණු 78කට කඩුලු 5 ක් බිඳ හෙළුවා.
තරගයක කඩුලු 10 අවස්ථාව
ටෙස්ට් තරගයක ඉනිම් දෙකෙහිම කඩුලු 10 අවස්ථාවට හිමිකම් කී පළමු පන්දු යවන්නා වන්නේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ෆ්‍රෙඩ් ස්පොෆ්ෆෝර්ත්. ඔහු 1879 දී එංගලන්තයට එරෙහිව ලකුණු 110 ක් ලබා දී කඩුලු 13 ක් බිඳ හෙළුවා.
පළමු හයේ පහර
ලොව පළමු ටෙස්ට් හයේ පහර වාර්තාව එල්ල වන්නේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ වී වසරකට පමණ පසුව යි. එනම් 1898 වසරේ දී යි. ඒ ඔස්ට්‍රේලියානු ක්‍රීඩක ජෝයි ඩාර් ලින් විසින්.
පළමු ද්විත්ව ශතකය
පළමු ටෙස්ට් ද්විත්ව ශතකයක් ලබා ගත් පිතිකරුවා ලෙස සැලකෙන්නේ ඕස්ට්‍රේලියානු පිතිකරු බිලී මුර් ඩොජ්. ඒ 1884 දී එංගලන්ත කණ්ඩායමට එරෙහිවයි. හෙතෙම ලකුණු 211 රැස් කරන්නට සමත් වුණා.
පළමු ත්‍රිත්ව ශතකය
ලොව පළමු ටෙස්ට් ත්‍රිත්ව ශතක වාර්තාවට හිමිකම් කියන්නේ එංගලන්ත පිතිකරු ඇන්ඩි සැන්ඩ්හ්ම්. 1930 වසරේ දී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙ-හිව ඔහු මෙම දස්කම ප්‍රදර්ශනය කර තිබෙනවා.
හොඳම තනි ඉනිම
ටෙස්ට් වංශකතාවේ හොඳම තනි ඉනිම ක්‍රීඩා කර ඇත්තේ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක බ්‍රයන් ලාරායි. හෙතෙම 2004 වසරේ දී එංගලන්ත පිලට එරෙහිව නොදැවී ලකුණු 400 ක් ලබා ගත්තා. ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පිතිකරුවෙක් ලකුණු 400 සීමාවට පැමිණි පළමු සහ එකම අවස්ථාව මෙය යි.
ඉනිමක කඩුලු 10 අවස්ථාව
ටෙස්ට් ඉනිමක කඩුලු 10 අවස්ථාව ලබා ගත් පළමු පන්දු යවන්නා ලෙස එංගලන්ත ක්‍රීඩක ජිම් ලේකර් ඉතිහාසයට එක් වී තිබෙනවා. ඒ 1956 වසරේ දී ඔස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව පැවැති තරගයකදී ය. ඔහු ඒ තරගයේ දී ලකුණු 53 ක් ලබා දී ප්‍රතිවාදී ඉනිමේ කඩුලු 10 ම දවා ගත්තා.
පළමු කඩුලු ත්‍රිත්වය
ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පළමු කඩුලු ත්‍රිත්වයට හිමිකම් කියන්නේ ඔස්ට්‍රේලියානු ක්‍රීඩක ෆ්‍රෙඩ් ස්පොෆ්ෆෝර්ත්. ඔහු 1879 දී එංගලන්තයට එරෙහිව මෙම දස්කම දක්වා තිබෙනවා.
 
 









