මඩ සෝදා ගත් කළ ගොවියා රජකමටත් සුදුසු බවට කියමනක් අපේ රටේ තිබේ. එහෙත් අපට නම් පෙනේන්නේ කිසිදා ගොවියා මඩ සෝදා නොගත් බවය. එයට හේතුව අපේ රටේ නම් සැමදා ගොවියන් යනු අඩු පහසුකම් ලබන පිරිසක් විමය. අප එසේ සිතුවද ලෝකයේ බොහෝ රටවල ගොවියන් යනු පොළොව සමඟ ගැටෙන තම නිෂ්පාදන විකුණා ගැනීමට බොහෝ වෙහෙස වී කටයුතු කරන පිරිසක් සේ හඳුනා ගත හැකිය. පසුගිය වසරේදී ඉන්දියාවේ ගොවියෝ රජය ගත් තීරණයකට විරුද්ධතාව ප්‍රකාශ කිරීමට ලක්ෂ ගණනින් පැමිණ මාර්ග අවිහිර කරමින් විරෝධතාවල නිරත වූයේ පැතිර යන කොවිඩ් වසංගතයද තඹයකට මයිම් නොකරමින්ය. දැන් මෙවැනි ගොවි විරෝධතාවක් ගැන බ්‍රිතාන්‍යයෙන්ද වාර්තා ලැබෙමින් තිබේ.
බ්‍රිතාන්‍යයේ ගොවි උද්ඝෝෂණ යැයි පැවසූ විට ඇතැමෙක් පුදුමයට පත් විමට වුවද ඉඩ තිබේ. ඒ බ්‍රිතාන්‍යය යනු ධනවතුන් වෙසෙන රැජින ගේ රට බවට හැඟීමක් බොහෝ දෙනෙක් තුළ පවතින නිසාවෙනිය. එහෙත් සත්‍යය නම් බ්‍රිතාන්‍යයේද අන් සෑම රටකම මෙන් පොලොව සමඟ ගැටෙන ගොවියන්, ධීවරයන් සහ කම්කරුවන් වෙසෙන බවයි. ඔවුන්ද තම නිෂ්පාදන සඳහා වැඩි මිලක් ලබා ගැනීමට සැම විටම උත්සාහ දරන බවයි. මේ උද්ඝෝෂණවල නිරතව සිටින්නේ ද එවන් වූ ගොවියන්ය. ඔවුන්ට එසේ උද්ඝෝෂණවල නිරත වීමට හේතු වී ඇත්තේ බ්‍රිතාන්‍ය රජය ඔස්ට්‍රේලියාව සමඟ ඇති කර ගත් ගිවිසුමකි.
එම ගිවිසුම අනුව ඔස්ට්‍රේලියාවේ කෘෂි නිෂ්පාදන ඍජුව බ්‍රිතාන්‍යය තුළ අලෙවි කිරීමේ අවස්ථාව සැලසේ. බ්‍රිතාන්‍ය මීට වසර දෙකකට පමණ පෙර යුරෝපා සංගමයෙන් ඉවත් වීමෙන් පසුව ලෝකයේ සෙසු රටවල් සමඟ වඩා පහසුවෙන් වෙළෙඳ, කාර්මික මෙන්ම කෘෂිකාර්මික ගිවිසුම්වලට එක් වීමට කටයුතු කළ අතර ඔස්ට්‍රේලියාව සමඟ ඇති කර ගත්තේද එවැනි වූ ගිවිසුමකි.
මේ ගිවිසුම සඳහා සාකච්ඡා වාර පහක් පමණ දෙරට අතර ක්‍රියාත්මක විය. ඒ සඳහා උතුරු අයර්ලන්තයද මේ දෙරට සමඟ එක් විය. වසරක කාලයක් පුරා පැවති මේ සාකච්ඡාවලින් පසුව මේ පාර්ශ්වයන් තුන අතර ඇති වූ එකඟතාව යටතේ මේ වසරේ ජූනි මස 17වැනිදා සිට ගිවිසුම ක්‍රියාත්මක වූ අතර බ්‍රිතාන්‍ය ගොවියන් උද්ඝෝෂණවලට එක් වූයේ එහි අතුරු ප්‍රතිඵලයක් වශයෙනි.
බ්‍රිතාන්‍ය රජයට අනුව මෙවැනි ගිවිසුම් ඇති කර ගැනීම මඟින් තම ආර්ථිකය වර්ධනය කර ගත හැකි අතර ආනයන අපනයන ශක්තිමත් කර ගැනීමේ හැකියාවද ලැබේ. එහෙත් ඇතැම් ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ ඔස්ට්‍රේලියාව සමඟ අත්සන් කළ මේ ගිවිසුම හේතුවෙන් බ්‍රිතාන්‍ය ආර්ථිකයට සිදුවන බලපෑම අවම බවයි. ඔවුන්ට අනුව ඔස්ට්‍රේලියාව සමඟ සිදු කිරීමට නියමිත අපනයන බලාපොරොත්තු වන පරිදි සිදුවුවහොත් බ්‍රිතාන්‍යයේ සමස්ත අපනයන වර්ධනය වනු ඇත්තේ සියයට 7කින් පමණක් බවයි. ඒ ද වසර 15ක කාලයක් තුළදීය.
ඒ අතර රජයට විරොධය පාමින් මහා මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණවල නිරතවන බ්‍රිතාන්‍ය ගොවි ජනතාව පවසා සිටින්නේ තම නිස්පාදන වෙනුවට ලාභ ආහාර වෙනත් රටවලින් ගෙන ඒමට කටයුතු කරමින් බ්‍රිතාන්‍ය රජය තමන්ට මහත් අසාධාරණයක් සිදු කිරිමට සැරසෙන බවයි. මේ උද්ඝෝෂණ ගිවිසුම අත්සන් කිරීමට පෙර සිටම ක්‍රියාත්මක වුවද බ්‍රිතාන්‍ය රජය තම මතය වෙනස් කර නොගත් බැවින් ගිවිසුමද ක්‍රියාත්මක අතර ගොවීන්ගේ උද්ඝෝෂණද තවමත් ක්‍රියාත්මකය.
බ්‍රෙක්සිට් හෙවත් බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම බ්‍රිතාන්‍යයට යහපත් මෙන්ම අයහපත් බලපෑම්ද එක් කරනු ඇති බවට ඉදිරිපත් වූ මතයන්ට මේ ගිවිසුම් ඉතා හොඳ උදාහරණයක් බව පැවසිය යුතුය.