පණ්ඩිතයනට ඒදණ්ඩේ යන්නට බැරියැයි කතාවක් ඇත. එසේ වුවත් අපේ රටේ දුෂ්කර ගම්මාන රැසක බාල තරුණ මහලු ජනතාව ඒදඬු, වැල් පාලම් හරහා වසර 50 - 60ක්ම තම ජීවිත අවශ්‍යතා සඳහා එහා මෙහා ගියේ තම ජීවිතය පරදුවට තබමිනි. මේ පිළිබඳව වත්මන් ජනාධිපතිතුමා පත්වූ විගසම අවධානය යොමු කර ඒ සඳහා වෙනම සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කළේය. සෞභාග්‍යවත් රටක් ඇති කිරීම පිණිස ජනාධිපතිතුමා, අගමැතිතුමා එක්ව වත්මන් රජය ග්‍රාමීය මාර්ග කිලෝමීටර් ලක්ෂයක් ඉදිකිරීමත්, ඒදඬු, වැල් පාලම් වෙනුවට අලුත් පාලම් 5000ක් ඉදිකිරීමත් සඳහා නව ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත.
ඒ යටතේ දැන් අලුත් පාලම් 700ක පමණ වැඩ කටයුතු ආරම්භ කර අවසන් වෙමින් පවතී.
මේ අතර සිංහරාජයේ ලංකාගම ප්‍රදේශයේ ඉදිකළ පාලම සුවිශේෂි වේ.
වලවේ ගඟ හරහා වැටී තිබුණු වැල් පාලම වෙනුවට ලංකාගම වාරකන්දෙනිය ඇතුළු ගම් ගණනාවක ජනතාවට, පාසල් යන දූ දරුවන්ට මේ අලුත් පාලම ඉමහත් ප්රයෝජනයකි.
මේ අලුත් පාලම් 5000 හැදීමේ වැඩපිළිවෙළ පිළිබඳව කරුණු දක්වන ග්‍රාමීය මාර්ග හා යටිතල පහසුකම් පිළිබඳ රාජ්‍ය ඇමැති නිමල් ලන්සා පවසන්නේ ජනාධිපතිතුමාගේ ‘සෞභාග්‍යයේ දැක්ම‘ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව ඒදඬු හා වැල් පාලම් වැනි කුඩා පාලම් තිබූ ස්ථානවලට අලුත් පාලම් ඉදිකිරීම දැන් වේගවත්ව සිදුවෙමින් පවතින බවයි.
“අපි දැනටමත් පාලම් 700ක් විතර වැඩ පටන් අරන් තිබෙනවා. ඒවා ලබන වසරට පෙර අවසන් කරනවා. ඉදිරි වසර හතර වනවිට අපි පාලම් 5000 වැඩ අවසන් කරනවා. ග්‍රාමීය මහා මාර්ග පද්ධතියට මේ පාලම් සියල්ල සම්බන්ධ කර ග්‍රාමීය ආර්ථික හා සාමාජීය ප්‍රවර්ධනයට කටයුතු කිරීමයි අපේ ප්‍රධාන අරමුණ.
මේ කටයුතු සඳහා ජනාධිපති තුමා, අග්‍රාමාත්‍ය තුමා, මහාමාර්ග ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු අපට මේ වැඩපිළිවෙළට පූර්ණ සහයෝගය දක්වනවා.“ නිමල් ලන්සා පවසයි.
රටපුරා යමින් මේ වැඩ පූර්ණ ලෙස අධීක්ෂණය කරන්නේ ග්‍රාමීය මාර්ග හා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය රංජිත් දිසානායකයි.
“මේ පාලම් 5000 තනිකරම හදන්නේ ඉතාම දුෂ්කර ගම්මාන ප්‍රධාන මාර්ගයට සම්බන්ධ කරන්නටයි. ඒ ඒ ගම්වල සිටින ජනතාව ප්‍රමාණය, ඔවුන්ට ඊළඟ පාලමට ඇති දුර හා ඒ ගම්වල සිටින ජනතාව ඔවුන් වගා කරන වගාවන් ආදිය පිළිබඳව සලකා බලා මේ වැල්පාලම් ඒදඬු පාලම් වෙනුවට පාලම් 5000 සෑදීමට ස්ථාන 5000ක් තෝරා ගත්තා.
අපි කළ සමීක්ෂණ අනුව අපේ රටේ ග්‍රාමීය ප්‍රදේශවලට පාලම් 15,000ක අවශ්‍යතාව තිබෙනවා. ඉන් අත්‍යවශ්‍ය හා වැඩි ජනතාවකට සෙත සැලසෙන පාලම් 5000ක් තමයි දැන් අපි හදන්නේ. අපි දැනටමත් පාලම් 700ක වැඩ අවසන් කරමින් පවතිනවා. දැනට පාලම් 70 විතර වැඩ අවසන්.
අපි මෙහිදී කළේ වැඩිම ජනතාවකට සෙත සැලසීමට හා රටේ ආර්ථිකයට උදව් දෙන ප්‍රදේශවල පාලම්වලට ප්‍රමුඛතාව ලබාදීමයි.
මේ පාලම් වැඩිපුර ඉදිවන්නේ නුවරඑළිය, මහනුවර, මාතලේ, බදුල්ල වැනි ප්‍රදේශවල. ඊට අමතරව ගාල්ල, මාතර, රත්නපුර වැනි දිස්ත්‍රික්කවලත් මේ පාලම් වැඩිපුර ඉදිවෙනවා. මේ පාලම් ඉදිකිරීමේදි ප්‍රධාන ලෙසම ඒ පාලම නිසා ඒ ගම්වල ඇතිවන සාමාජික ආර්ථික ඉදිරි ගමන පිළිබඳව අපි සොයා බැලුවා. රටට ආර්ථික ප්රතිලාභ තිබීම, පවුල් වැඩිපුර සිටීම, ආගමික ස්ථාන පාසල් තිබීම පිළිබඳවත් සොයා බැලුවා. ඊට අමතරව සංචාරක ආකර්ෂණය සහිත ස්ථාන තිබෙනවා නම් ඒ ස්ථානවලටත් විශේෂත්වයක් දක්වා පාලම් ඉදිකිරීම කරගෙන යනවා.“ ලේකම් පවසයි.
“අපි මේ පාලම් මෙන්ම මාර්ග ලක්ෂයක් කාපට් කිරීමේ වැඩපිළිවෙළ අඳුරුනීතිය තිබුණත් දිගටම කරගෙන යනවා. මම මේ පාලම් ඉදිකිරීම පිළිබඳව නිතරම පරීක්ෂා කර බලනවා. අපේ මේ කටයුතුවලට ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමැතිතුමා, මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් ඉංජිනේරු රංජිත් ප්‍රේමසිරි යන අය මෙන්ම ග්‍රාමීය මාර්ග හා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සාත් පූර්ණ උපදෙස් ලබාදෙනවා.“ මහාචාර්ය රංජිත් දිසානායක පවසයි.
‘සෞභාග්‍යයේ දැක්ම‘ ප්‍රතිපත්ති ප්‍රකාශයේ දැක්වෙන්නේ රටපුරා වැල් පාලම් ඒදඬු වෙනුවට පාලම් 5000ක් ඉදිකරන බවයි. ඒ අනුව මේ පාලම් 5000 ඉදිකරනු ලැබේ.
මේ පාලම් පිළිබඳව නිරීක්ෂණය කරන විට රාජ්‍ය ලේකම් මහාචාර්ය රංජිත් දිසානායකට අලුත් අත්දැකීම් සමුදායකට මුහුණ දෙන්නට සිදුවී තිබිණි.
“අපි ගිය සමහර ස්ථානවල දුෂ්කර ගම්වලට හැමදාම වතුරේ බැහැලා තමයි ගිහිල්ලා තිබෙන්නේ.
සමහර තැන්වල වැස්ස වැඩි කාලෙට දරුවන් පාසල් යවන්නේ නැහැ. ලී කොට දාලා යන තැන්, කම්බියක් ආධාරයෙන් ගඟෙන් එගොඩ වූ තැන් ස්ථාන අපට හමුවුණා. ඒ ස්ථානවලට අලුත් පාලම් හදාගෙන යනවා. ඒක ඒ ගම්වල අයට රටක් රාජ්‍යයක් ලැබුණා වගේ.“ ලේකම්වරයා පවසයි.
මේ පිළිබඳව අපට කරුණු දැක්වූ මෙම පාලම් ව්‍යාපෘතියේ වැඩිපුරම පාලම් ඉදිකරන රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ (SDMC) සභාපති ඩී.පී.එම්. චන්දන පවසන්නේ පාලම් 5000 ව්‍යාපෘතිය යටතේ දැනට තම ආයතනය පාලම් 200ක් පමණ ඉදිකරන බවයි.
“අපි මේ පාලම් ඉදිකිරීම කරන්නේ ග්‍රාමීය මාර්ග හා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ හා මාර්ග සංවර්ධන අධිකාරියේ උපදෙස් මතයි.“
දැනට රටපුරා පාලම් 200 විතර වැඩ කරගෙන යනවා. 30ක විතර වැඩ ඉවර කර තිබෙනවා. අපි දැනටමත් නාවල රාජගිරිය අධිවේගි පාලම ඉදිකළා.
ග්‍රාමීය පාලම් ව්‍යාපෘතිය යටතේ හම්බන්තොට, මොනරාගල, ගාල්ල, බදුල්ල, කළුතර, කොළඹ, කුරුණෑගල, මහනුවර, නුවරඑළිය යන ප්‍රදේශවල මේ පාලම් ඉදිකරනවා. ඒදඬු පුංචි පාලම් හා වැල් පාලම් තිබූ තැන්වලට අපි පාලම් ඉදිකරනවා. කෙසේ වුවත් ඒ පාලම් ඉදිකිරීම පිළිබඳව ස්ථාන තෝරන්නේ ග්‍රාමීය මාර්ග අමාත්‍යාංශය මඟින්.
මේ සේරම පාලම් ඉදිකරන්නේ දේශීය අරමුදල් වලින්. අපේ ඉංජිනේරුවරුන්, අපේ කාර්මික නිලධාරින්, අපේ සේවකයන්. අපි ඉදිකරන පාලම්වල පළල මීටර් 3.5 - 5 අතර වෙනවා.
දිග මීටර් 30 වැඩි පාලම් ද අපි මේ යටතේ හැදුවා. මුදල් ඇමැති බැසිල් රාජපක්ෂයන් අපිට දීපු උපදෙස් අනුව පාලමෙන් එගොඩ සිටින අයගේ කෘෂි නිපැයුම් නගරයට ගෙන ඒමට ලොරියක් යා හැකි අයුරින් අපි පාලම් පළලට ඉදිකරනවා.“ සභාපති ඩී.පී.එම්. චන්දන පවසයි.