කුච්චවේලි ‘රෙඩ්රොක්’ හි මොකක්ද මේ වෙන්නේ | සිළුමිණ

කුච්චවේලි ‘රෙඩ්රොක්’ හි මොකක්ද මේ වෙන්නේ

 

අසූව දශකයේ 8 ශ්‍රේණියේ පෙළ පොතක අප ඉතා ආශාවෙන් කියවූ “නිලාවේලි වැල්ලේ මැකී නොයන පිය සටහන් “කතන්දරයේ රෙඩ්රොක් හෙවත් කුච්චවේලි රතු කන්ද ඔබට සොදුරු සිත්තමක් සේ තවමත් මතකයේ ඇතැයි සිතමු.

සොබා දහමේ අපූරු නිපයුමක් වූ රෙඩ් රොක් වෙරළ තීරය ත්‍රිකුණාමලයේ පුල්මුඩේ ප්‍රධාන මාර්ගයේ කිලෝ මීටර් 26 කණුව හෙවත් ෆර්ගා හංදියේ සිට මුහුදු වෙරළ දෙසට කිලෝ මීටරයක් පමණ ගිය විට හමුවේ. සිත නිවන ශ්‍රී ලංකාවේ සුන්දරම ස්ථාන අතරින් එකක් ලෙස පිළිගැනුණු සුන්දර රෙඩ් රොක් වෙරළ තීරය අසූව දශකයේ නැගෙනහිර පළාතේ සංචාරක පාරාදීසයයි. ගොඩබිම සිට මුහුදට නෙරා ගිය සුවිශේෂි රතු ගල් වැටිය හා පෙන කැටි විසුරවමින් රළ බිදෙන නොගැඹුරු නිල්වන් මුහුදු තීරය එදා දෙස් විදෙස් සංචාරකයන්ගේ සිත් අමන්දානන්දයට පත් කිරීමට සමත් විය. අතීතයේ පල්ලවංක වරාය ලෙස හැඳින්වූ ප්‍රකට පුරාණ වරාය මෙම රෙඩ් වෙරළ තීරය බව ඇතැමකුගේ අදහසයි. පුරාණ පල්ලවංක වරාය පිහිටි මෙම රෙඩ් වෙරළ තීරය පුරා විද්‍යා සංරක්ෂිත භූමියක් බැවින් ජාතික තරුණ සේවා සභාවට පවා ඒ වෙරළ තීරය තුළ කැණීම් හෝ ඉදිකිරීම් සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්මේන්තුව සීමා පනවා තිබේ.රෙඩ් රොක් වෙරළ තීරයේ සිට කිලෝ මීටර් 25 ක් පමණ එපිටින් පුල්මුඩේ පිහිටි රාජ්‍ය සමාගමක්වූ ලංකා මිනරල් සෑන්ඩ් ලිමිඩට් ආයතනය මීට පෙර කිසිදු අවස්ථාවක රෙඩ් රොක් වෙරළ තීරයේ ඛණිජ වැලි කැණීම් සිදු කර නොතිබුණි. මේ වන විට අදාළ ආයතනය උග්‍ර වැලි හිඟයකට මුහුණ දී සිටිති. ඔවුන් මෙතෙක් ඛණිජ වැලි ලබා ගත් ස්ථාන රැසකම අවශ්‍ය තරමට වැලි නොමැති වීම හා විශාල වැලි නිධියක් සහිත කෝකිලායි හි වැලි කැණීමට උතුරු පළාත් සභාව ඉඩ නොදීම ඊට හේතුවයි.මිනරල් සෑන්ඩ් ලිමිටඩ් ආයතනය විසින් අදාළ ඛණිජ වැලි තිබෙන බව හඳුනාගත් භූමියක් නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලියට අනුව ටෙන්ඩර් කැඳවා වැලි ටොන් එකක් සඳහා අඩුම මිලක් ඉදිරිපත් කරන කොන්ත්‍රාත්කරු සඳහා අවස්ථාව ලබා දීම මිනරල් සෑන්ඩ් ලිමිටඩ් ආයතනයේ මීට පෙර ක්‍රියාත්මක කෙරුණු සාමාන්‍ය ක්‍රියාවලියයි.රෙඩ් රොක් හි වැලි කැණීම් මුලින්ම ආරම්භ වී ඇත්තේ 2018 වසරේදී පැවති යහපාලන රජය සමයේ ය.

2018 වසරේ මිනරල් සෑන්ඩ් ලිමිටඩ් ආයතනය බාර අමාත්‍යවරයා වූයේ රිෂාඩ් බදුර්දීන්ය. රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයාගේ සමයේ මිනරල් සෑන්ඩ් ලිමිටඩ් ආයතනයේ නිසි බලධාරියා ලෙස පත්වනුයේ ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්නයි. ඔහු එම තනතුරට පත්වන විට මිනරල් සෑන්ඩ් ලිමිටඩ් ආයතනයේ වැලි කැණීම් ඉතා සීමිත ප්‍රමාණයකට පමණක් සීමා වී තිබු බව කිය වේ.මිනරල් සෑන්ඩ් ලිමිටඩ් ආයතනයට ඛණිජ වැලි කැණීම් කටයුතු සඳහා කුච්චවේලි සිට කෝකිලායි දක්වා අවසරය ඇති නමුත් ඒ සදහා නියමිත බලපත්‍ර පවා වසර ගණනාවකින් නිසි ක්‍රමවේදයනට අනුකූලව යාවත්කාලීන සිදු නොකිරීම මත වැලි කැණීම් සීමා වී තිබූ බව කියවේ. කෙසේ වෙතත් මිනරල් සෑන්ඩ් ලිමිඩට් ආයතනයේ නිසි බලධාරීයා ලෙස පත්වු මෛත්‍රී ගුණරත්න එකී බලපත්‍ර යාවත්කාලීන කර, එතෙක් වැලි කැණීම් සිදු නොකළ ප්‍රදේශ ගණනාවකම ඛණිජ වැලි කැණීම් සිදු කළේය. රෙඩ් රොක් හි වැලි කැණීම ආරම්භ වී ඇත්තේද ඒ අනුවයි.

මිනරල් සෑන්ඩ් ලිමිටඩ් ආයතනය එතෙක් කලක් පුල්මුඩේ අවට කැණීම් කර ලබා ගත් වැලිවල ඛණිජ වැලි ප්‍රතිශතය 10% පමණ වූ නමුදු කුච්චවේලි රෙඩ් රොක් වෙරළ තීරයේ කැණීම් සිදු කර ලබා ගත් වැලි වල ඛණිජ වැලිවල ප්‍රතිශතය 50%-60% වු බව හිටපු නිසි බළධාරියා වූ ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න කියා සිටි. අදාළ බලපත්‍ර යාවත්කාලීන කර මේ ප්‍රදේශයේ සිදු කළ කැණීම් මගින් කැණීම් සිදු කළ නොහැකි සමයේ භාවිතයට ගැනීමට අවශ්‍ය කෙරෙන විශාල වැලි සංචිතයක් පවත්වා ගෙන ගිය බව හෙතෙම කියා සිටී. එහෙත් අයතනයේ වෘත්තිය සමිති හෙළිකර සිටින්නේ මෛත්‍රී ගුණරත්න විසින් නිසි ටෙන්ඩර් පරිපාටියකින් තොරව එම වැලි සැපයුම සඳහා කොන්ත්‍රාත්කරුවන් යොමු කළ බවයි. කෙසේ වෙතත් රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයාගේ සමයේ රෙඩ් රොක් හි මේ වැලි කැණීම්වලට එරෙහිව ප්‍රදේශවාසීන්ගේ හා විවිධ කණ්ඩායම්වල විරෝධතා එල්ලවූ බැවින් එය අතහැර දැමීමට මිනරල් සෑන්ඩ් ලිමිටඩ් ආයතනයට සිදුවිය. “මේ වැලි කපන්නේ ලයිසන් අරගෙනද නීත්‍යානුකූලවද කියන එක නෙවෙයි මෙතන ප්‍රශ්නේ. මේකෙන් රෙඩ් රොක් වෙරළ තීරයට සිද්ධ වෙන හානිය ගැනයි අපි කතා කරන්නේ. මේ රෙඩ් රොක් කියන්නේ ශ්‍රී ලංකාවේ ඉතාමත් සුන්දර ස්ථානයක්. අපි නැවත එද්දී අපේ ඉඩම් ඔක්කොම සංචාරක මණ්ඩලයට අරන් තිබුණේ. අපිට රජයෙන් විකල්ප ඉඩම් දුන්නා. දැන් රෙඩ් රොක් එකේ වැල්ල කපන විදිහ දැක්කහම හරිම වේදනාවක් ඇති වෙන්නේ...“ එසේ කියන්නේ කුච්චවේලි පදිංචි කේ. නෙත්තිකුමාරයි.

නෙත්තිකුමාර 1981 වසරේ සිට 1985 දක්වා රෙඩ් රොක් වෙරළ තීරයේ සංචාරක නවාතැන්පොලක් පවත්වාගෙන ගිය අයෙකි. ඒ සඳහා මඟ පාදන්නේ ජාතික තරුණ සේවා සභාවයි. ප්‍රවීණ ලේඛක ධර්මසිරි ගමගේ “නිලාවේලි වැල්ලේ මැකී නොයන පිය සටහන් “ ලියන්නේ නෙත්තිකුමාරගේ සංචාරක නවාතැන් පොලේ සිටය. එකල 23 හැවිරිදි හිරිමල් ජව සම්පන්න තරුණයකු වූ නෙත්තිකුමාර මේ වන විට 61 වන වියේ පසුවේ.

1985 වසරේ ජුනි 01 දා රාත්‍රී කුච්චවේලි පොලිසියට හා තරුණ සේවා සභාවේ ඒරක්කන්ඩි තරුණ කඳවුරට එල්ලවූ ප්‍රහාරයෙන් පසු එම ප්‍රදේශය මුළුමනින්ම රජයේ පාලනයෙන් ගිලිහෙන අතර එම තත්ත්වය නිමා වනුයේ යුද ගැටුම් නිමාවීමෙන් පසුවයි. යුද්ධය නිමාවීමෙන් පසුව තරුණසේවා සභාව නැවත වරක් තම අක්කර 800 ක භූමිය ලබා ගැනීමට කටයුතු කිරීමේදී එහි අක්කර 08 පමණ ප්‍රමාණයක් පිටස්තර අයකු බලහත්කාරයෙන් අත්පත් කර ගෙන සිටින අතර වර්තමානයේ වැලි කැණීම් සිදු කරනු ලබන්නේ එසේ අනවසරයෙන් අල්ලා ගෙන සිටින භූමි භාගයේ හා ඉදිරිපිට වෙරළ තීරයේය.අනවසර අයිතිකරුගෙන් මෙම ඉඩම නැවත පවරා ගැණීමට කුච්චවේලි හිටපු ප්‍රාදේශීය ලේකම් පී. තනේෂ්වරම් කුච්චවේලි අධිකරණයේ හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් අධිකරණයේ නඩු දෙකක් පවරා තිබේ. කුච්චවේලි හිටපු ප්‍රාදේශීය ලේකම් පී. තනේෂ්වරන් කියන අන්දමට මෙම ස්ථානයේ නීත්‍යානුකූල ඔප්පු සහිත ඉඩමක් තිබී ඇත්තේ අජිත් චෙට්ටි නැමැති අයකුට පමණී.එකී නඩුවට අදාළ භූමි භාගයේ සහ ඊට ඉදිරිපස වෙරළ තීරයේ මෙම මහ පරිමාණ කැණීම් සිදු කරන අතර මේ සඳහා අවශ්‍ය කෙරෙන නීතිමය තත්ත්වයන්ද අදාළ මිනරල් සෑන්ඩ් ලිමිටඩ් ආයතනය මගින් සපුරා ඇති බව පසුගියදා මේ සම්බන්ධයෙන් සොයා බැලීමට එහි නිරීක්ෂණ චාරිකාවක නිරතවූ වෙරළ සංරක්ෂණ හා පහත් බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නීතිඥ මොහාන් ප්‍රියදර්ශන සිල්වා අවධාරණය කර තිබුණි. රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වාට අනුව රෙඩ් රොක් වෙරළ තීරය ප්‍රසිද්ධ ඛණිජ වැලි වලටයි. වසර තිහක් තිස්සේ රාජ්‍ය ආයතනයක්වූ මිනරල් සෑන්ඩ් ලිමිටඩ් ආයතනය එහි ඛණිජ වැලි කැණීම් සිදු කරනු ලබයි. වෙරළ රජයට අයත් බැවින් එහි වැලි ලබා ගැනීමට කිසිවෙකුගෙන්වත් විශේෂ අවසරයක් ලබා ගත යුතු නැති බවද රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටි. අදාළ සමාගම කැණීම් සම්බන්ධ සියලු වාර්තා සම්පූර්ණ කර මෙම කටයුත්තේ නිරත වන බවත් වෙරළ සංරක්ෂණ දෙපාර්මේන්තුව එය නිරන්තරයෙන් අධීක්ෂණය කරන බවත් අදාළ සංචාරයේදී මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේය.

වසර 2018 තමා ඉස්සෙල්ලම මේකේ රිෂාඩ් බදුර්දීන් ඇමතිගේ කාලේ වැලි කපන්න පටන් ගත්තේ. අපි ඒකට විරෝධය දක්වපුවහම එතකොට හිටිය ප්‍රාදේශීය ලේකම්තුමා ඒක නැවැත්තුවා. ඇමතිතුමා එන දවසට කලින් දවසේ වළවල් ටික ඔක්කොම අනිත් පැත්තේ වැලි ඉවුර කපලා වහලා දැම්මා“ එසේ කියන්නේ,කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු වූ නාගේෂ්වරන් ජෙයකාන්තන්ය.2011 සංසෝධිත වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමණාකරණ පනතට අනුව වෙරළ කලාපය තුල මධ්‍ය බාදිය සීමාවේ සිට සාගරය දෙසට කිලෝ මීටරයක් හා මධ්‍ය වඩදිය මට්ටමේ සිට ගොඩබිම දක්වා මීටර් 300 ප්‍රමාණයක කැණීම්, ඉදි කිරීම් හෝ වෙනත් මිනිස් ක්‍රියාකාරකමක් සම්බන්ධයෙන් පරිසර බලපෑම් තක්සේරු වාර්තාවක් කැඳවිය යුතු අතර, ඒ වාර්තාව මසක පමණ කාලයක් අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ ප්‍රදර්ශනය කර ඊට මහජන අදහස් ලබා ගත යුතුව ඇත. ප්‍රදේශවාසීන් කියන අන්දමට එබදු වාර්තාවක් ප්‍රදර්ශනය කිරීම හෝ මහජන අදහස් විමසීමක් සිදුකර නැත.

මිනරල් සෑන්ඩ් ලිමිටඩ් ආයතනය අදාළ වෙරළ සංරක්ෂණ සංශෝධිත පනතට අනුව අදාළ පරිසර බලපෑම් වාර්තාව ගෙන ඇත්දැයි අප භූ විද්‍යා හා පතල් කැණීම් කාර්‍යාංශයේ ත්‍රීකුණාමලය ප්‍රාදේශීය කාර්‍යාලයේ කැණීම් ඉංජිනේරු කේ. විග්නේෂ මූර්තිගෙන් විමසීමක් කළෙමු. එහිදී ඒ කැණීම් ඉංජිනේරුවරයා කියා සිටියේ සම්බන්ධයෙන් කටයුතු කරනුයේ, කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලයෙන් බවයි. ඒ සම්බන්ධයෙන් අදාළ ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරිවරයා සම්බන්ද කර ගැනීමට කිහිප අවස්ථාවක්ම උත්සහ කළද එය සාර්ථක නොවීය.පුල්මුඩේ පිහිටි මිනරල් සෑන්ඩ් ලිමිටඩ් ආයතනයේ ප්‍රධාන ඉංජිනේරුවරයා කියා සිටියේ තම ආයතනයේ බලපත්‍රය වසර තිහක් පැරණි බැවින් අදාළ පරිසර බලපෑම් වාර්තාව වාර්තාව අවශ්‍ය නොවන බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්‍යාංශය සනාත කළ බවයි. භූ විද්‍යා හා පතල් කැණීම් කාර්‍යාංශයේ ත්‍රීකුණාමලය ප්‍රාදේශීය කාර්‍යාලයේ කැණීම් ඉංජිනේරු කේ.විග්නේෂ මූර්ති කියන අන්දමට මිනරල් සෑන්ඩ් ලිමිටඩ් ආයතනයට නිකුත් කර ඇති කැණීම් බලපත්‍රය වසර දහයක කාලයකට වලංගු බවයි.මෙරට නීති රීති හා අණ පනත් රාජ්‍ය ආයතන වලට හෝ පුද්ගලික අංශ වලට කියා වෙන වෙනම සකසන්නේ නැති බවත්, පාර්ලිමේන්තුවෙන් සම්මත කර ගන්නා පනත් හා ප්‍රඥප්ති රාජ්‍ය ආයතන, සමාගම් හා පුද්ගලික අංශයට පොදු බවත් පරිසරවේදි සජීව චාමිකර කියා සිටි. සජීව චාමිකර කියන අන්දමට මෙවැනි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේදී 1981 අංක 57 වෙරළ සංරක්ෂණ පනතේ 2011 සංසෝධිත අංක 49 දරණ වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමණාකරණ සංශෝධිත පනතේ මූලික අර්ථ නිරූපණයට අනුව වෙරළ කලාපය පිළිබඳ සමීක්ෂණයන් කිරීම හා වෙරළ කලාපය කළමණාකරණය කිරීමේ සැලස්මක් පිළියෙල කිරීම සඳහා විධිවිධාන සැලැස්සවීම පිණිසද, වෙරළ කලාපය අතුළත සංවර්ධන කටයුතු විධිමත් කිරීම හා පාලනය කිරීම පිණිසද වෙරළ කලාපය ඇතුළත වෙරළ සංරක්ෂණය සඳහා වැඩ යෝජනා ක්‍රම සකස් කොට ඒවා ක්‍රියාවේ යෙදවීම සදහා විධි විධාන සැලැස්වීම පිණිසද ඇතැම් ලිඛිත නීති වල අනුයාජී සංයෝග සකස් කරවීම සහ ඊට සම්බන්ධ අනුශාංගික කාරණා සඳහාද විධි විධාන සැලසීමේ පනතත් ලෙස මෙම පනත සකස් කර ඇත.වෙරළ කලාපය තුළ පිහිටි සියලු සම්පත් කළමනාකරණය කිරීම මෙම පනත මගින් සිදු කෙරේ. එපමණක් නොව 1940 අංක 09 දරණ සංශෝධිත පුරා විද්‍යා ආඥා පනතේ 23 (අ) සහ 47 යන වගන්තිය යටතේ ප්‍රකාශයට පත්කර ඇති ගැසට් නිවේදනයට අනුව, 2000 ඔක්තොම්බර 04 අංක 1152 /14 ගැසට් නිවේදනයේ යටතේ 2001 අංක 01 දරණ ව්‍යාපෘති කාර්‍ය පරිපාටි නියෝගයනට අනුව ඕනෑම ආකාරයක කැණීම් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ප්‍රතම පුරා විද්‍යා හානි ඇගයීම් වාර්තාවක් සකස් කොට ඒ සඳහා පුරා විද්‍යා අනුමැතිය ලබා ගත යුතු ව ඇත.

මෙම රෙඩ් රොක් වෙරළ තීරය පුරාණ පල්ලවංක වරාය බවට යම් යම් සාධක පවතින බව ඒ පිළිබද ප්‍රවීණයන්ගේ අදහසයි. මෙම ස්ථානයට මීටර් 300 පමණ එපිටින් පිහිටි පැරණි දාගැබක නටඹුන් සහ පුරා විද්‍යාත්මක සලකුණු ඊට සාක්ෂි සපයයි. මෙම ස්ථානය තම විහාරස්ථානයට අනුබද්ධව බෞද්ධ කටයුතු දෙපාර්මේන්තුවේ ඇත් පොකුණ රජ මහා විහාරය නිමින් ලියාපදිංචි කර ඇති බව කුච්චවේලි පුරාණ පිච්චමල් විහාරස්ථානයේ විහාරාධිකාරි පූජ්‍ය කැප්පෙටියාවේ අරණ විහාරි හිමියන් කියා සිටී.එසේ පුරාවිද්‍යාත්මක ස්ථානයක් යාබදව මෙවැනි ඛණිජ ද්‍රව්‍ය කැණීමක් සිදු කිරීමේදී පුරා විද්‍යා ආඥා පනතට අනුව, පුරාවිද්‍යා හානි ඇගයීම් වාර්තාවක් කැඳවීමක් සිදු කළේදැයි අප පුරාවිද්‍යා දෙපාර්මේන්තුවේ ත්‍රීකුණාමලය සහකාර අධ්‍යක්ෂ ආනන්ද විතානගේගෙන් විමසීමක් කළෙමු. “මේ ස්ථානය අතීත පල්ලවංක වරායද කියන එක මේ වනතුරුත් සනාථ වී නැහැ. එය සැකයක් පමණයි. නමුත් මෙම ස්ථානයේ පැරණි දාගැබක නටඹුන් පෙනෙන්නට තිබෙනවා.අපි මේ ස්ථානය පුරා විද්‍යා ස්ථානයක් ලෙස හඳුනාගෙන තිබෙනවා. මේ ස්ථානයට මීටර් 300 පමණ ඈතකින් තමයි ඔය කියන වැලි කපන ස්ථානය තිබෙන්නේ. මේ ස්ථානය සම්බන්ධයෙන් මා විසින් සිදුකල නියැදි පරික්ෂාවකින් පසු මෙම ස්ථානයේ අදාළ කැණීම් සිදු කිරීමට බාධාවක් නැති බව තහවුරු කර සිටියා. පුරාවිද්‍යා පනත යොදා ගනිමින් රජයට ආදායම් උපදවා දෙන ස්ථානයකට සීමා පැනවීමට අපිට අවශ්‍යතාවක් නැහැ..“ කෙසේ වෙතත්,මෙම ඛණිජ වැලි කැණීම් සිදු කරන ඉඩමට එපිටින් පිහිටි තරුණ සේවා සභාවට අයත් භූමි භාගයේ එම ආයතනය සිය ඉදි කිරීම් කටයුතු බොහොමයක් මේ වන විට ආරම්භ කර තිබේ. පුරාවිද්‍යා දෙපාර්මේන්තුව මිනරල් සෑන්ඩ් ආයතනයට වෙරළේ කැණීම් කිරීමට දැඩි සීමා තහංචි නොපැන වුවද තරුණ සේවා සභාවට ලිඛිත උපදෙස් දෙමින් අවධාරණය කර ඇත්තේ මෙම භූමිය පුරාවිද්‍යා බිමක් බැවින් තම ආයතනයේ උපදෙස්වලට අනුව කටයුතු කළ යුතු බවයි.

2018 වසරේදී කුච්චවේලි හිටපු ප්‍රාදේශීය ලේකම් පී.තනේෂ්වරන් මෙම වැලි කැණීමට වැට බඳින්නේ ජනතා අදහස් වලට හිස නමමින් හා අදාළ නීති රීති හා අණපනත් මුල් කර ගනිමිනි. හිටපු ප්‍රාදේශීය ලේකම්වරයා ස්ථාන මාරුවක් ලබා ගිය පසු වැඩ බලන ප්‍රාදේශීය ලේකම්වරිය මේ සදහා අනුමැතිය ලබාදී ඇති බව කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ සභාපති එම්.මුබාරක් චෝදනා කර සිටී. වැඩ බලන ප්‍රාදේශීය ලේකම්වරියගේ සැමියා මිනරල් සෑන්ඩ් ලිමිටඩ් ආයතනයේ සහකාර ඉංජිනේරුවරයකු බව කියන කාරණයද මෙහිදී බැහැර කළ නොහැකිය.අදාළ රාජ්‍ය ආයතනයට වසර දහයකට කැණීම් බලපත්‍ර ලබාදීම කර ඇති බව කියා සිටියත්,එය කිසිසේත් නීත්‍යානුකූල නොවන බව පරිසරවේදි සජීව චාමිකරගේ අදහසයි. මේ සෑම බලපත්‍රයක්ම වාර්ෂිකව අලුත් කළ යුතු බවත් එහි රජය හෝ පුද්ගලික කියා වෙනසක් නැති බවත් පෙන්වා දෙයි.“ඕනෑම ඛණිජ ද්‍රව්‍යක් ගවේශණය කිරීම, පතල් කැණීම, ප්‍රවාහණය, ගබඩා කිරීම, වෙළදාම හා අපනයනය කිරීම යන කාරණා සඳහාත් වාර්ෂිකව බලපත්‍ර ගත යුතුයි. රජයට කියලා ඒ අණපනත්වල කිසිදු වෙනසක් නැහැ. එහෙම කොහේ හරි තියෙනවා නම් ඒ ලේඛණ ඔවුන් සතුව තිබිය යුතුයි...“ පරිසරවේදී සජීව චාමිකර වැඩි දුරටත් අවධාරණය කරයි. සුරකිමි ශ්‍රී ලංකා සංවිධානයේ පාහියංගල ආනන්ද සාගර හිමි - අවධාරණය කළේ මෙවැන්නකි. “මෙම වැලි කැණීම පිටුපස අතිමහත් පරිසර හානියක් මෙන්ම රජයේ මුදල් වංචාවක් සිදුවන බවට ද චෝදනා තිබෙනවා. මේ වැලි ටොන් එකක් පුල්මුඩේට ප්‍රවහණය සඳහා අදාළ ආයතනය රුපියල් 530 ගෙවන බව කියවෙනවා. විවෘත ටෙන්ඩර් කැඳවීමක් මඟින් මේ වැලි ඇදීමේ කොන්ත්‍රාත්තුව ලබා දුන්නා නම් මීට වඩා අඩු මුදලකට මේ කටයුත්ත විනිවිදභාවයකින් යුක්තව සිදු කිරීමට හැකියාව තිබුණා.“කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කේ.ගුණනාදන් කියා සිටින්නේ මිනරල් සෑන්ඩ් ආයතනයට ලබා දී ඇති කැණීම් බලපත්‍රය මේ මස 28 පසු අවසන් වන අතර එය නැවත ලබාදීමේදී ලබාදී ඇති නිර්දේශ වලට අනුකූලව එම කටයුත්ත සිදු කෙරෙන්නේද යන්න පිළිබඳව සොයා බලන බවයි. මේ සම්බන්ධ විශේෂ සාකච්ඡාවක් අදාළ නිළධාරීන් සමඟ 2021.09.22 වන දින පැවැත්වීමට නියමිතව තිබිණි.

මිනරල් සෑන්ඩ් ලිමිටඩ් ආයතනය විසින් රෙඩ් රොක් සිට පුල්මුඩේ පිහිටි යන්ත්‍රාගාරයට වැලි ප්‍රවාහණය කිරීමේදී වැලි ටොන් එකක් සඳහා කොන්ත්‍රාත්කරුට රුපියල් 530ක් ගෙවනු ලබන අතර වැලි ලබාදී ආපසු යන ගමනේදී සෝදා ඉවත් කළ වැලි ඒ හා සමාන ප්‍රමාණයක් නැවත අදාළ ටිෆර් රථය රෙඩ් රොක් වෙත ගෙන ආ යුතු බව මෙහි ඇති එක් නිර්දේශයකි.නමුත් එය ඒ ආකාරයෙන් සිදු නොවන බව ප්‍රදේශවාසීන්ගේ අදහසයි.

“රෙඩ් රොක් හි වැලි කැණීම් කටයුතු මසකට වරක් හෝ අදාළ වගකිව යුතු ආයතන මගින් අධීක්ෂණය නොකරන බව ප්‍රදේශවාසීන්ගේ අදහසයි. මේ නිසා වැලි කැණීම් සිදු කෙරෙන ස්ථාන ඒ ආකාරයෙන්ම වසා නොදමන බව ඔවුන්ගේ චෝදනාව වී තිබේ.“වෙරළ සංරක්ෂණ දෙපාර්මේන්තුවේ හෝ භූ විද්‍යා එකේ කිසිම කෙනෙක් මේක අධීක්ෂණය කරන්නෙ නැහැ. පරිසර විනාශය වගේම අතුරු ප්‍රශ්නත් පැන නැගිලා. මේ ටිපර් රථ ගමනාගමනය නිසා අපේ පාරවල් ටික සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ගිහින්“ එසේ අසන්නේ කුච්චවේලි ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ඒ. සී. එම්. මීෂාන්ය.

 

Comments