බොදුනු ජනයාගේ භක්ති ආදරයට පත් වූ ස්ථාන අතරින් සුවිශේෂී ස්ථානයක් වන්නේ ශ්‍රී පාද අඩවියයි. ශ්‍රී පාද අඩවියට අධිගෘහිත දෙවියන් ලෙසින් සුමන සමන් දෙවියන් භක්තියාදරයට පාත්‍ර විය. මෙලෙස භක්තියාදරයට පත් එතුමන් පුදනු ලබන රත්නපුර මහ සමන් දේවාලයේ ඇසළ මහ පෙරහර මංගල්‍ය පසුගිය ඇසළ මාසයේ පැවැත්වීමට නියමිතව තිබුණ ද කෝවිඩ් වසංගත හේතුවෙන් එය කල් දැමීම අදාළ බලධාරීන් තීරණය කළේය.
මෙවර මහ සමන් දේවාල පෙරහැර පැවැත් වෙන්නේ 796 වැනි වරටය. ඇසළ මස අව පෑලවිය දිනයක කප් සිටුවා එදින සිට පුර පසළොස්වක පසු වූ පුර පෑලවිය දින පෙරවරු සුභ මොහොතින් ගෙවැදීම දක්වා දින පහළොවක් පුරා පෙරහර පැවැත් වේ. මෙම පෙරහර දෙවැනි වන්නේ මහනුවර දළදා පෙරහැරට පමණි. පළමු රාජසිංහ රජු සමන් දෙවාලයේ එකොළොස් වතාවක් දළඳා පෙරහැර පවත්වා ඇත. සමන් දෙවොලේ පැවැත් වූ දළඳා පෙරහැර සඳහාම ප්‍රබන්ධ කර ඇති දළඳා පුජා කවි එහි අසිරිය මැනවින් කියාපාන්නකි.
කප් සිටුවන අවස්ථාවේ වන විට ඇසළ පෙරහැර හා සම්බන්ධ සියලු විධි විධාන සංවිධානය කර තිබිය යුතුය.
මෙම පෙරහැරේ මූලිකයා වන්නේ බස්නායක නිලමේය. නකත්කරුවන් ලවා සියලුම නැකත් වේලාවන් සකසා ගෙන මොහොට්ටාල වරුන්, පේලි විදානේ හා තන්ඩල්රාල යන අය කැඳවා පෙරහර ගැන මුලික තීරණ දැන්විය යුතුය. අනතුරුව මොහොට්ටාලවරුන් විසින් දෙබෙද්මේ රජකාරිකරුවන් කැඳවා ඉදිරි කටයුතු සංවිධානය කරනු ලැබේ. ඒ අනුව පසුගිය සැප්තැම්බර් 06 වැනි දා අව පෑලවිය දා සර්ව රාත්‍රික පරිත්‍රාණ දේශනාව පවත්වා; 07 වැනිදා මහා සංඝගත දක්ෂිණාව පිරිනමා; සමන් දෙවිදුන්ට පින් අනුමෝදන් කර ; 08 වැනිදා අලුයම කප් සිටුවීමෙන් පෙරහර කටයුතු ආරම්භ කෙරිනි.
මෙලෙස සෑම දේවාලයකම පෙරහර කටයුතු ආරම්භ කරන්නේ කප් සිටුවීමේ චාරිත්‍රයෙනි. එහිදී මීටරයක් පමණ දිගැති ලී දණ්ඩක් ගෙන සිදුරු කරන ලද ගල් පුවරුවක සිටුවා ඒමත පොල් මලක් බැඳ; පොල් ගෙඩි 2 ක් එල්ලා තැබීම සිදු කරයි. මේ සඳහා තෝරා ගැනෙන්නේ කිරි ගසක ලී දණ්ඩකි. නිදසුනක් ලෙස රුක් අත්තන ගසක් (කිරි ගස) තෝරා ගත්තා යැයි සිතුව හොත්, එය කැපීමට ප්‍රථම හඳුන් කිරි පැන් ඉස කප් ගස කපා ගොක්කොළ ආදියෙන් සරසා පෙරහරකින් වැඩමවා සිංහාසන මණ්ඩපයේ තැන්පත් කරයි. අනතරුව වියනක් ඇද ඒ යටින් හේවිසි ශබ්ද පූජා සහිත පෙරහරකින් කප් ගස සිටුවන ස්ථානය දක්වා වැඩම කරවයි. කප්ගස රැගෙන පෙරහර සිංහාසන මණ්ඩපයෙන් පිටත් වන අවස්ථාවේදී සමන් දේවාලය සහ පත්තිනි දේවාලයේ කපු මහත්වරුන් දෙදෙනා ඇතුළු රාජකාරිවරුන්ද සමඟ පෙරහරින් පැමිණ සමන් දේවාල අංගණයේදී කප රැගත් පෙරහර සමඟ එක්වේ. මෙහිදී වළං කඳක් රැගෙන එන කුඹලා ද පෙරහැරට සම්බන්ධ වේ. අනතුරුව කප් සිටුවන ස්ථානයට පෙරහැර ගමන් කර, පිරුවටයකින් ඔතා තිබූ කප් ගසෙහි පිරුවටය ඉවත් කර සුභ මොහොතින් කප් ගස සිටවයි. මෙය හැඳින් වෙන්නේ කප් සිටු වීමේ චාරිත්‍රය ලෙසය.
පෙරහැර මංගල්‍යයේදී පෙරහර තුනක් පවත්වනු ලබන අතර ඉන් පළමුව පැවැත්වෙන්නේ කුඹල් පෙරහර නැති නම් තේවාවේ පෙරහරය. එය ඉතාමත් චාම් ලෙස පසුගිය 11 වැනිදා රාත්‍රියෙන් නිමාවට පත් විය. මෙම කුඹල් පෙරහැර චාරිත්‍රයේදී වළං කඳක් ගත් අතවැසියකු සමඟ කුඹලා (වළං තනන්නා) කලස් දෙකක් අතින් ගෙන පෙරහැර ඉදිරියෙන් ගමන් කර හඳුන්කුනමේ කලස් දෙක තබා යයි. එය පෙරහැරේ ප්‍රධාන චාරිත්‍රයයි. එනිසා එය කුඹල් පෙරහැර යනුවෙන් හඳුන්වයි. මෙම පෙරහැර සලඹ ගත් පත්තිනි දේවාලයේ පෙරහැර හා ආභරණ ගත් මහ දේවාලයේ පෙරහැර සමඟ එක්ව සුභ මොහොතින් පිටත් වී දේවාලයේ උඩ මළුවේ පමණක් ගමන්කර ගෙවදියි. සාමාන්‍යයෙන් දින පහක් පුරා මේ කුඹල් පෙරහර පැවැත්වේ (දිය කැපීමේ දිනය ප්‍රමාද වන්නේ නම් පමණක් මෙය පවත්වනු ලබන දින ගණන වැඩි කෙරේ.) මෙම පෙරහැර 15 දා රාත්‍රී තේවාවට පෙර පෙරහර අවසන් කළ අතර, මෙහිදී දේවාභරණ එකක් පමණක් වැඩම වීමත් ප්‍රධාන කපු මහතා හා දේවාල රාජකිරියේ නිරත පිරිස පමණක් මේ සඳහා සහභාගී වීමත් කැපීපෙනේ.
කුඹල් පෙරහරෙන් අනතරුව ආරම්භ වූයේ වීදි පෙරහැරය. එය දෙවේලේ පෙරහර නමින්ද හඳුන්වයි. මෙය දිනකට දෙවතාවක් පවත්වන බැවින් ඒ නම මීට ලැබී ඇත. මෙහිදී මහ දේවාලයේ ආභරණ රන් දෝලියකින් හා ඇතෙකු පිටින් ද පත්තිනි දේවාලයේ සලඹ දෝලියකින් ද රැගෙන යන අතර ආභරණ දෙකක් මෙහිදී වැඩම කරවයි. දේවාලයේ කපු මහතා පුජා වස්තූන් රැගෙන හස්තියා පිට ගමන් කරන අතර මහ දේවාලයේ දෝලාව උඩුවියනක් යටින් රැගෙන යයි. පත්තිනි දේවාලයේ දෝලාවත් මෙම පෙරහැරේ ම ගමන් කරයි. පෙරහර වීදි සතරේ ගමන් ගන්නා අතරතුර නැට්ටුවෝ සමන් දෙවියන් ගැනත් සමනල සිරිපා සටහන ගැනත් ස්ත්‍රෝත්‍ර ගායනා කරති. එය නුග ගස ළඟත් හා සිංහාසන මණ්ඩපය ළඟත් මඳකට නවත්වා චාරිත්‍ර ඉටු කොට අවසානයේ දී දේවාලයට පැමිණෙයි. මෙහිදී ගමන් මාර්ගය වන්නේ දේවාලයේ සතර මායිමේ පිහිටි වීදී හතරය. ඒ හුණුවල වීදිය, ගම්පහේ වීදිය, උඩ වීදිය, බඩල් වීදිය යන සතරයි. මෙය විදියේ ගමන් ගන්නා පළමු පෙරහර නිසා මෙය වීදි පෙරහෙර ලෙස හැඳින්වේ. මෙම පෙරහර පසුගිය දොළොස් වැනිදායින් ආරම්භ වූ අතර, 16 වැනිදායින් අවසන් විය. අනතුරුව ආරම්භ වූයේ මහ පෙරහරය. එයද දින පහක් පුරා පැවැත්වේ. එය මුලින් පැවති කුඹල් පෙරහැර සහ වීදි පෙරහැර යන පෙරහර වඩා උත්සවශ්‍රීයෙන් පැවැත්වෙයි. මෙම පෙරහරේ ද ගමන් මාර්ගය වන්නේ දේවාලයේ සතර මායිම් තුළ පිහිටි වීදි සතරය. මෙම මහ පෙරහර පෙරහර පහකින් සමන්විතය. ඒ දළඳා පෙරහැර, පත්තිනි පෙරහර, බිසෝ දෙවි පෙරහර, කුමාර දෙවි පෙරහර, මහ සමන් දෙවි පෙරහර ලෙසය.
මහ පෙරහර ඉදිරියෙන් ම ගමන් ගන්නේ දළදා පෙරහරය. මෙහි ඇති විශේෂය වන්නේ දළදා කරඬුව වෙනුවට සධාතු කරඬුව වඩමවන දළදා පෙරහැර පෙරටු කරගෙන දළදා පෙරහර ගමන් කිරීමයි. ඉන් පසු අනුපිළිවෙළින් පත්තිනි, බිසෝ දෙවි, කුමාර දෙවි හා සමන් දෙවි පෙරහර වශයෙන් පෙරහර හතර ගමන් කරයි. දළදා පෙරහර සඳහා දිවයිනේ සෑමතැනින්ම නැටුම් කණ්ඩායම සහභාගි කරගන්නා අතර සෙසු දේව පෙරහර සඳහා සම්බන්ධ කරගන්නේ සපරගමු නැටුම් කණ්ඩායම්ය.
සබරගමු ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව විසින් පරිත්‍යාග කළ විචිත්‍ර වස්ත්‍රාභරණයෙන් සරසන ලද, කැලණි රජ මහ විහාරයේ කණ්ඩුල හස්තියා පිට ඉතාම ගරු ගාම්භීර ලෙස සධාතු කරඬුව වඩා හිඳුවා පසුගිය 16 වැනිදා රාත්‍රී හතේ කණිසමට මහ පෙරහර කටයුතු අරම්භ කෙරිණි. මහ පෙරහරේ මුලින් ම ගමන් කරන දළදා පෙරහර පිටත් වීමට පළමුව ඉටු කරන චාරිත්‍ර කිහිපයක් විය. ඒ හේවිසි පුජාව, තෙරුවන් නැමදීම, මඟුල් බෙර වාදනය, දළදා වර්ණනාව ගායනය, කරඬුව පත්තිරිප්පුව දක්වා ගෙන ගොස් ඇතා පිට ඇති රන්සිව් ගෙයි තැන්පත් කරීම, පෙරහැර ඇරඹූ බව දැන්වීමට කොඩිතුවක්කු පත්තු කිරීම ආදී සිරිත් ඒ අතර ප්‍රධාන ය. මෙම පෙරහර නැටුම් ගැයුම් වැයුම් වලින් පමණක් නොව විශාල අලි ඇතුන් සංඛ්‍යාවකින්ද සමන්විත වෙයි.
දළදා පෙරහර පිටත් වීමෙන් පසු දේව පෙරහැර පිටත් වීම සිරිත් පරිදි ආරම්භ විය. එහිදී පළමුව දේව නමස්කාරය ද අනතරුව වන්දිභට්ට ගායනය ද සිදු කිරීමෙන් අනතරුව චාරිත්‍රානුකුලව සිරිත් විසිහතරක් ඉටු කෙරේ.
මෙම පෙරහරට ම ආවේණික වූ විශේෂ අංගයක් වන්නේ මහා බඹා කෝලමය. මෙම බඹා කෝලම ගැන ඉදිරිපත් වන මතයක් වන්නේ මෙය රාවණ රජුගේ සොහොයුරු කුම්භකර්ණගේ රුපය බවයි. කුම්භකර්ණ යනු ගොවිතැනින් රට සශ්‍රික කළ නායකයකු බවත්, රාම සමඟ සටනේදී රාවණ විසින් සාමකාමී ගොවි රජකු ලෙස කටයුතු කළ කුම්භකර්ණ හා ඔහුගේ හමුදාව කැඳවූ බවත්, ඔහු යුද්ධය සඳහා යන විට සහෝදර විභීෂණ රාවණට එරෙහිව රාම පිලට එක්වී ඇති බවත් අසා ඔහුගේ සාමකාමී මුහුණ වියරු වැටී ගිය බවයි. එම අවස්ථාව සංකේතාත්මකව දැක්වීමට මහ බඹා කොළඹ මීට එක් වූ බව කියති. ඇතැමෙකුගේ මතය වන්නේ ආර්ය කාමදේව විසින් ශූක්ෂම ලෙස ලක්ෂ්මණ දේවත්වයට පත් කිරීමට ගත් උත්සාහයට අතුල් පහරක් ලෙස මෙම අංගය මීට එක්කළ බවයි.
20 වැනිදා රාත්‍රියේ එනම් හෙටදින (21) අවසන් මහ පෙරහර වීථි සංචාරය නිමා කරන අතර පසුදා එනම් 21 වැනිදා දිය කැපීමේ මංගල්‍යයෙන් ඇසළ මහ පෙරහර කටයුතු අවසන් වේ. මහ පෙරහැර අවසන් වූ දා රාත්‍රියේ එනම් 20 වැනිදා රාත්‍රියේ පිරිත් නිලය භාර හිමිවරුන් මහ දේවාලයට වැඩමවා පිරිත් දේශනාව සිදු කරයි. ඒ අතරතුර දිය කැපීමට පෙර දේවාලයේදී සිදු කරනු ලබන චාරිත්‍රයක් වේ. ඒ දේවාභරණ පලඳවා ඇති ඇඳුම් ඉවත් කිරිම, දේවාභරණ පෙරහැරින් ගෙන ගොස් රථයේ තැනපත් කිරීම, රථය සිංහාසන මණ්ඩපය දක්වා පෙරහැරින් වැඩම කරවීම හා ආභරණ දෝලියෙහි තැන්පත් ඉන්පසු සිදුවේ.
දිය කැපීමේ මංගල්‍ය 21 වැනිදා සිදු කරන්නේ කළු ගඟේ රත්මල් ඇල්ල නම් ස්ථානයේදීය. එය පිහිටා තිබෙන්නේ සමන් දේවාලයේ සිට සැතපුම් 7 ක් පමණ දුරින් පිහිටි අංගම්මන නම් ගමේය. ඇද හැළෙන වර්ෂාව සමඟ ගඟේ වතුර අඩු වැඩි වීම හෝ වෙනත් බාධාවක් ඇති වුව හොත් මෙම දියකැපීමේ මංගල්‍යය දේවාලයේ ඉදිරිපිට ඇති බෝඹූගල කන්ද පාමුල පිහිටි බොලපැන් ළිඳ ආශ්‍රය කරගෙන සිදු කරයි. ගගේ වතුර අඩු අවස්ථාවක නම්, ගඟ දිය අඩු තැන් වලින් ඔරු ඇඳගෙන යාමට අලි ඇතුන්ද සූදානම් කර තබයි. දෙවියන්ට ආලත්ති ගායනය කරමින් හේවිසි වයමින් රත්මල් ඇල්ල දක්වා පෙරහැරකින් ගමන් කිරීම සිදු කරයි. එය ගඟේ පෙරහැර යන නමින් ද හැඳින් වේ. අඟුල් දෙකක් පෙරහැරේ ගමන් කරන අතර එම අඟුල් දෙකටම වහලවල් යොදා අලංකාරවත් ලෙස සරසා එක් අඟුලක සමන් දේවාලයේ දෝලාව ද අනෙකෙහි පත්තිනි දේවාලයේ දෝලාවද වැඩම කරවයි. දේව අඟුල රත්මල් ඇල්ලේ යා හැකි ඉහළම තැනට ගොස් කඹවලින් බැඳ, ඉන් අනතුරුව කපු මහතාත්, බත්වඩන රාලත්, අඟුල පදවන්නාත් පමණක් අඟුලේ රැඳී සිට අන් සියලු දෙනාම ගොඩ බිම වෙත යැවීම සිදු කරයි. දිය කැපීම බාහිර පුද්ගලයන්ට නොපෙනෙන සේ වියන් බැඳ සිදු කෙරෙන අතර එය අවසන් වීමෙන් පසු කොඩිතුවක්කු පත්තු කර පෙරහැර ආපසු ගමන් අරඹයි.
එහිදී ගඟ දෙපස සිටින ජනයා ගඟට බැස අඟුල දෙපසේ සිට පූජා පවත්වන අතර කපු මහතා සඳුන් තිලක තබා ආශිර්වාද කරනු ලබයි. මෙම චාරිත්‍රයෙන් අනතුරුව ආපසු ගමන් කරන ගඟේ පෙරහැර කොටාඹේ තොටුපළට පැමිණි පසු ඇතු පිටින් ආභරණ ද දිය කපා ගත් ජලය සහිත කෙන්ඩිය දෝලාවෙන් ද වැඩම කරවයි. මෙම පෙරහැර ඉදිරියෙන් පෙළ ගස්වා ඇති මහ පෙරහැරට එකතුවේ. මහ පෙරහැරේ ඉදිරියෙන්ම සිටින ගරා යකුන් දෙදෙනා දේවාභරණ ගෙන එන ඇතු ළඟට ගොස් සෙත් ශාන්ති කළ පසු කොඩිතුවක්කු පත්තු කොට මහ පෙරහැර ගමන් අරඹයි. පසුව පෙරහැර දෙකම සිංහාසන මණ්ඩපය වෙත පැමිණෙන අතර ගෙවැදීමට නියමිත නැකත් වේලාව පැමිණෙන තුරු සිංහාසන මණ්ඩපයේ දේවාභරණ තැන්පත් කර විවේක ගනියි. පසුව නැකැත් වේලාව පැමිණි පසු සංහිඳේ වීදියේ ගමන් අරඹා දිය කැපු පෙරහැර දේවාලයට ගෙවදී. ඉන් අනතුරුව ගරායකුන් නැටුමක් පවත්වයි. දෙවියන් වැඩම වූ ඇතාට සෙත් පිණිස සිදු කරන්නකි. දියකැපීමෙන් ලබා ගන්නා ලද ජලය ඊළඟ වර්ෂයේ දිය කැපීම දක්වා ආරක්ෂා කිරීමට දේවාලය තුළ තැන්පත් කරයි.මෙම දිය කැපීමේ මංගල්‍යයත් සමඟ ඇසළ උත්සවය එළැඹෙන 21 වැනිදායින් අවසන්වේ.
මෙවර ඇසළ පෙරහර මංගල්‍යයේ මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහකත්වය ලේක්හවුස් ආයතනය විසින් සිදු කරයි.
ඡායාරූප - ඩෙන්සිල් වීරසූරිය සහ විමල් කරුණාතිලක