මානව හිමිකම් කවුන්සිලයෙන් ලංකාව පිළිබඳ වාචික ප්‍රකාශයක් | සිළුමිණ

මානව හිමිකම් කවුන්සිලයෙන් ලංකාව පිළිබඳ වාචික ප්‍රකාශයක්

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්

එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයට සමගාමීව සෑම වසරකම පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල වාර්ෂික සම්මේලනය පසුගියදා ආරම්භ වූ අතර එය එම මානව හිමිකම් කවුන්සිලේ 48වැනි සැසිවාරයද විය. එහිදී මානව හිමිකම් කවුන්සිල ප්‍රධානී මිෂෙල් බැෂලේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති චෝදනාවලට අදාළ වාචික වාර්තාවක්ද ඉදිරිපත් කර සිටියාය.

 

එම වාර්තාව මඟින් ඇය පවසා සිටියේ එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය දිගින් දිගටම ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධව, වගවීම සහ සංහිඳියාව සම්බන්ධව අවධානය යොමු කරමින් සිටින බවයි.

මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ ශ්‍රි ලංකාව සම්බන්ධව මෙවර වාර්තා ඉදිරිපත් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය පවසා සිටියේ පසුගිය ජූනි මාසයේදී ‘එක්සත් ජාතීන් සංවිධානය සමඟ එක්ව වගකීම් සහගතව කටයුතු කරන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ප්‍රකාශය කෙරෙහි තමන් අවධානය යොමු කරන බවයි.

කෙසේ වුවද ශ්‍රී ලංකාවෙන් යම් යම් සිදුවීම් වාර්තා වෙමින් පවතින අතර ඒවා කෙරෙහි අවධානයෙන් පසුවන ලෙස කවුන්සිල සාමාජිකයන්ට පවසන බවත් ඇය කතාව අවසානයේදී පවසා සිටියාය.

පසුගිය අගෝස්තු 30වැනිදා සිට රට පුරා හදිසි නීතිය පනවා ඇති අතර එය පනවා ඇත්තේ රට තුළ ආහාර සුරක්ෂිතතාව, සහ මිල පාලනය පදනම් කර ගනිමිනි. කෙසේ වුවද හමුදාමය මැදිහත්වීම් සිවිල් සමාජය තුළ ක්‍රියාත්මක වන අන්දම ද දැකගත හැකි බව බැචලේ තම ප්‍රකාශය මඟින් ඉඟි කර තිබේ. ඒ හැර යම් යම් විරෝධතා මර්දනය කිරීම, සිරකරුවන් නිදහස් කිරීම වැනි කටයුතු කෙරෙහිද මානව හිමිකම් කවුන්සිලයේ අවධානය යොමු වී ඇති බව පැවසූ මහ කොමසාරිස්වරිය ඉදිරියේදී ශ්‍රී ලංකා රජය මේ සම්බන්ධව සාධනීයව කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බව පවසා සිටියාය.

කෙසේ වුවද මෙවර මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රි ලංකාව සම්බන්ධව යෝජනාවක් ඉදිරිපත් වී නොතිබූ අතර ඡන්ද විමසීමක්ද සිදුවූයේ නැත. මහ කොමසාරිස්වරියගේ වාචික ප්‍රකාශයට පිළිතුරු දක්වමින් ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා ප්‍රකාශයක් නිකුත් කළ අතර එහිදී අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ වසර 12කට පෙර ශ්‍රී ලංකාවෙන් ත්‍රස්තවාදය තුරන් කර ජනතාවගේ ආරක්ෂාව ස්ථාපිත කිරීමට හැකියාව ලැබුණු බවයි. එමෙන්ම මේ වන විටත් නියමිත කාලවල මැතිවරණ පවත්වමින් රට තුළ ජනතාවගේ දායකත්වයෙන් ජනතා මතය ක්‍රියාවට නංවමින් ප්‍රජාතන්ත්‍රවාදය උපරිම ලෙස ක්‍රියාත්මක වෙමින් පවතින බවද අමාත්‍යවරයා හුවා දක්වා තිබිණි.

වත්මන් රජය පශ්චාත් - ගැටුම් තත්ත්වයක් තුළ සුවය ලැබීමේ දෘෂ්ටි කෝණයෙන් යථා තත්ත්වයට පත් වීම සඳහා උපරිමයෙන් කටයුතු කරමින් සිටින බවත්, පසුගියදා ත්‍රස්තවාදී තටයුතු සම්බන්ධව බරපතළ චෝදනා ලබා සිටින එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් 16 දෙනෙකුට ජනාධිපති සමාව ලබා දුන් බවත් අමාත්‍යවරයාගේ ප්‍රකාශය මඟින් දක්වා තිබිණි.

 

එමෙන්ම රට තුළ සමානාත්මතාව සහ මානව හිමිකම් ආරක්ෂා කිරීමට කැපවන රජයක් ලෙස ජනතාවගේ අයිතීන් ආරක්ෂා කිරීමට ආණ්ඩුව විශේෂ පියවර කිහිපයක්ම ගෙන ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා ඒ ඔස්සේ ගනු ලැබූ පියවර සම්බන්ධව තොරතුරු ඉදිරිපත් කරමින් දක්වා ඇත්තේ අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය ස්ථාපිත කර අනෙකුත් ආයතන සමඟ සම්බන්ධ වෙමින් අතුරුදහන් වූවන් පිළිබඳ ලැයිස්තුවක් සකස් කරමින් සිටින බවත්, වන්දි ගෙවීමේ කාර්යාලය, ජාතික සමගිය සහ සංහිඳියාව පිළිබඳ කාර්යාලය, ජාතික මානව හිමිකම් කොමිසම, යනාදිය පිහිටුවමින් සාර්ථක ලෙස රට තුළ මානව හිමිකම් සම්බන්ධව රජය කටයුතු කරමින් සිටින බවත්ය.

එමෙන්ම මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය ඉස්මතු කළ අන්දමින් 2019 පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූවන් සොයා නඩු පැවරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව දැක්වූ අමාත්‍යවරයා ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමේදී සහ සෑම ආගමකටම අයත් ශ්‍රී ලාංකිකයන් ආරක්ෂා කිරීමේදී රජය ඉතා කැපවීමෙන් කටයුතු කරමින් සිටින බව පැහැදිලිව තම නිවේදනය මඟින් දක්වා තිබුණි.

මෙයට අමතරව කොවිඩ් වසංගතය මධ්‍යයේ ජනතාවගේ එදිනෙදා ජීවිතය සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ අඛණ්ඩව සැපයීම රජයේ වගකීමක් වන බැවින් ඒ සම්බන්ධව උපරිමයෙන් කැපවී කටයුතු කරන අතරම රජයක් ලෙස අභියෝග විවෘතව පිළිගනිමින් සවවීම, සංහිඳියාව සහ මානව හිමිකම් මෙන්ම සාමය සහ තිරසාර සංවර්ධනය යනාදී සෑම පරාසයකම සාර්ථකත්වය අත්පත් කර ගැනීමට කැපවී කටයුතු කරන බවද අමාත්‍යවරයා ස්වකීය නිවේදනය මඟින් දක්වා තිබිණි.

 

එක්සත් ජාතීන්ගේ  මානව හිමිකම් පිළිබඳ  මහ කොමසාරිස්  මිෂෙල් බැෂලේ

 

මානව හිමිකම් සැසියේදී

රටවල් බහුතරයක් ලංකාවේ සහයට

 

පසුගියදා ජිනීවාහිදී මානව හිමිකම් සමුළුව ඇමතූ රටවල් අතරින් බහුතරය ශ්‍රී ලංකාවට පක්ෂව අදහස් දැක්වීමට කටයුතු කර තිබිණි. එම රටවල අදහස වී තිබුණේ ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගැටලුවලට අත පෙවීම් නොකළ යුතු බවයි. පසුගිය අඟහරුවාදා දිනයේදී සමුළුව ඇමතූ රටවල් 19 අතරින් රටවල් 13ක්ම ශ්‍රී ලංකාවට පක්ෂව අදහස් දක්වා තිබිණි. එම රටවල් වූයේ වෙනිසියුලාව, කියුබාව, රුසියාව, චීනය, පකිස්තානය, එරිත්‍රියාව, ඊජිප්තුව, කොරියාව, බෙලරූස්, සිම්බාබ්වේ, ලාඔසය, ඉරානය, සහ අසර්බයිජානයයි.

 

එහිදී චීනය සමුළුව අමතමින් විශේෂයෙන් පවසා සිටියේ මානව හිමිකම් මුවාවෙන් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීම සම්බන්ධව තමන් විරෝධය පළ කරන බවයි.

මීට අමතරව මානව හිමිකම් සුරැකීම සම්බන්ධව ශ්‍රී ලංකා රජය ගෙන යන ක්‍රියාමාර්ගයන් සම්බන්ධව තමන් සෑහීමකට පත් වන බව ජපානය පවසා සිටි අතර කොරියාවද අප රටට වාසිදායක ලෙස අදහස් දැක්වීමට එක් විය.

 

 

Comments