ලෝක ප්‍රකට සිනමාකරු ඇල්ෆ්‍රඩ් හිච්කොක් සිනමා රසිකයන් ත්‍රාසයට පත් කළේ ‘සයිකෝ’ නම් වූ තම සිනමා පටය මඟිනි. එම සිනමා පටයේ චරිතයක් වන නවාතැන්පළ හිමිකරුවා තම මවගේ මළ සිරුර සංරක්ෂණය කරමින් පවත්වා ගන්නේ මිය ගිය මව තම සිතිවිලි තුළට ආරූඪ කර ගනිමින් මිනී මැරීම සඳහාය. එහෙත් ඔස්ට්‍රියාවේ 66 හැවිරිදි පුද්ගලයකු තම මවගේ මළ සිරුර අධිශීතකරණය බහා වසරක් පුරා තබාගෙන ඇත්තේ මවට රජයෙන් ලැබෙන විශ්‍රාම වැටුප දිගින් දිගටම ලබා ගැනීම අරමුණු කර ගනිමිනි.
මේ පුද්ගලයා වාසය කරන්නේ ඔස්ට්‍රියාවේ ටයිරොල් ප්‍රදේශයේ ඉන්ස්බෲක් නම් ග්රාමයේය. මේ පුද්ගලයා තම මව සමඟ තනිව නිවසේ ජිවත් වී ඇති අතර ඔහුට කිසිදු ආදායම් මාර්ගයක් තිබී නැත. ඔවුන් ජිවත් වී ඇත්තේ මවට ලැබෙන විශ්‍රාම වැටුපෙනි.
එහෙත් 89 හැවිරිදි මේ මව පසුගිය වසරේ ජූනි මාසයේදී මියගොස් ඇතැයි විශ්වාස කෙරේ. තම මවගේ අභාවයෙන් තමට ලැබෙමින් තිබූ එකම ආදායම අහිමි වූ බව වටහා ගත් මේ පුද්ගලයා තම මවගේ මරණය සමාජයෙන් වසන් කර තිබේ. මවගේ සිරුර වළ දැමුවහොත් එය අන් අයට දැක ගත හැකිවන නිසා ඔහු මවගේ සිරුර වෙළුම් පටිවලින් ඔතා එය නිවසේ වූ විශාල අධිශීතකරණයේ තැන්පත් කර තැබුවේ සිරුර මත විශාල අයිස් කුට්ටිද තබමිනි. මෙලෙස දීර්ඝ කාලයක් පුරා අයිස්වලින් ආවරණයකර කරමින් අධිශීතරණයේ තැබූ මළසිරුර අවසානයේ ‘මමියක්’ බවට නිරායාසයෙන්ම පත් වී තිබේ.
මේ අන්දමින් වසරක කාලයක් පුරා තම මවගේ මරණය වසන් කරමින් සිටි මේ පුද්ගලයා සම්බන්ධව ප්‍රථමයෙන්ම සැක පහළ කර ඇත්තේ ඔහුගේම සහෝදරයාය. ඔහුට තම මව දැකිමට අවශ්‍ය බව මේ පුද්ගලයාට පවසා ඇති අතර එහිදී මේ පුද්ගලයා ඔහුට පවසා ඇත්තේ මව අසනීප වී රෝහල් ගත කර ඇති බවයි. එහෙත් ඒ සම්බන්ධව නිශ්චිත තොරතුරු ඔහු තම සොහොයුරාට ලබා දීම ප්‍රතික්ෂේප කර තිබේ. මෙහිදී මේ පුද්ගලයාගේ සහෝදරයාට මේ පුද්ගලයා පිළිබඳව සැක පහළ වී ඇති අතර ඔහු ඒ සම්බන්ධයෙන් අදාළ බලධාරීන්ට පැමිණිලි කර තිබේ.
මේ අතර මාසිකව මේ මියගිය මවගේ විශ්‍රාම වැටුප සහ අදාළ දීමනා නිවසට ගෙනවුත් දෙන ප්‍රදේශයේ තැපැල්කරුටද මව දක්නට නොවීම ප්රශ්නකාරී වී තිබේ. මේ තැපැල්කරු මාස කිහිපයකට පෙර ප්‍රදේශයේ තැපැල් බෙදීමට පැමිණි අයෙකු වන අතර පෙර සිටි තැපැල්කරුට මියගිය මව දක්නට ලැබුණද තමාට ඇය දක්නට නොලැබුණු බැවින් තමා ලබාදෙන ලියවිලිවලට අදාළ විශ්‍රාම වැටුප් හිමිකාරිනිය දැක ගත යුතු බව තැපැල්කරු මේ 66 හැවිරිදි පුද්ගලයාට පවසා තිබේ. එම ඉල්ලිමට මේ පුද්ගලයා විරුද්ධ වීමෙන් පසු තැපැල්කරුද මේ සම්බන්ධයෙන් අදාළ බලධාරීන්ට පැමිණිලි කර තිබේ.
ඒ අනුව මේ පුද්ගලයාගේ නිවසට පැමිණි ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් නිවස සෝදිසි කරන විට අධිශීතකරණයේ බහා තිබූ මවගේ මළ සිරුර හමු වී තිබේ.
කෙසේ වුවද මව මියගොස් ඇත්තේ ස්වභාවික හේතු මත බව පැවසේ. මවගේ මරණය වසන් කිරීම සම්බන්ධව සහ ඇයගේ විශ්‍රාම දීමනා ලෙස යූරෝ 50,000ක පමණ මුදලක් වංචා කිරීම සම්බන්ධව මේ 66 හැවිරිදි පුද්ගලයාට චෝදනා එල්ල වී තිබේ.