ලේ රන් කළ ලෝගනිස් | සිළුමිණ

ලේ රන් කළ ලෝගනිස්

 

පිහිනුම් තටාකය ආශ්‍රිත ක්‍රීඩාවක් වුවද දිය පිනුම් ක්‍රීඩාව පිහිනුම් පිටියට ඇතුළත් නොවන්නකි. එහෙත් එය ඔලිම්පික් ක්‍රීඩාවක් සේ සැලකෙයි. එය කාන්තා හා පිරිමි වශයෙන් බෙදා ඇති අතර ඊට අයත් වන්නේ මීටර් 3 ඉපිලීමක් සහිත පුවරුව හා මීටර් 10 පුවරුව උපයෝගී කර ගනිමින් ඉදිරිපත් කරන දිය පිනුම්ය.

එහි ඇත්තේ ඉසව් 4 කි. දකුණු කොරියාවේ සෝල් නුවර දී 1988 වසරේ පවත්වන ලද ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මෙම දිය පිනුම් ක්‍රීඩාවේ දී තමන්ගේ රුධිරය පිහිනුම් තටාකයේ ජලයට මුසු කොට රන් දිනූ අමරණීය ක්‍රීඩකයෙකු සම්බන්ධයෙන් ඉතිහාස ගත වී ඇත.

ඒ අමෙරිකානු දිය පිනුම් ක්‍රීඩක ග්‍රෙන් ලෝගනිස් ය. ඔහු තම ඉතිහාස ගත වීමේ පියවරට ආරම්භය ලබා දී ඇත්තේ 1988 සැප්තැම්බර් 19 වැනි දා එනම් අද වැනි දිනයක ය.

සෝල් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර් 3 දිය පිනුම් ක්‍රීඩාවේ මූලික වටයේ තරග පවත්වනු ලැබුවේ එදින ය. මෙම ඉසව්වට ඉදිරිපත්ව සිටි ග්‍රෙන් ලෝගනිස්ට තමන්ගේ දක්ෂතා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදීමත් සමග මීටර් 3 දිය පිනුම් පුවරුව ගොඩ වී තිබුණි. එහිදී ඔහු ඉදිරිපත් වූ තුන් වැනි උත්සාහය අසාර්ථකය, අසාර්ථක වීමට හේතු වී තිබුණේ තුවාල ලැබීම ය. එම තෙවැනි උත්සාහයේදී ඉහළට ඉපිලීම ලබාගත් ඔහු පහළට පැමිණෙන විට ඔහුගේ හිස පුවරුවේ ගැටී තිබුණි. එම නිසා ග්‍රෙග් පිහිනුම් තටාකයට වැටී ඇත්තේ ලේ ගන තුවාලයක්ද සහිතවය.

වහා ක්‍රියාත්මක වූ ජීවිතාරක්ෂක නිලධාරීන් ඔහු ගොඩට ගත් අතර නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන්නේ ය.

මෙම ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වීමට කොරියාවට පැමිණෙන විටත් ඔහු පසුවූයේ දිය පිනුම් ඉසව් දෙකේම රන් පදක්කම් හිමිකරුවා ලෙසිනි. එබැවින් අමෙරිකානු ක්‍රීඩා ලෝලීන්ගේ රන් බලාපොරොත්තු ඉහළ නැංවී තිබිණි.

එය බිඳ නොදැමූ ඔහු ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු වේදනාව අමතක කර යළිත් දිය පිනුම් පුවරුවට ගොඩ වී තිබුණේ මිලීන වී තිබූ අමෙරිකානුවන් ගේ රන් සිහිනය නැවත විකසිත කරන්නට ය.

මූලික වටයේ දී ප්‍රසාද ලකුණු 629.67 ක් ලබා තුන් වැනියා ලෙස අවසන් තරගයට සුදුසුකම ලබා ගත්තේ චීන ක්‍රීඩකයින් දෙදෙනකුට දෙවැනි වෙමිනි. අවසානයේ එම චීන ක්‍රීඩකයින් දෙපළට රිදී හා ලෝකඩ පදක්කම් දිනා ගැනීමට ඉඩ සැලසූ ග්‍රෙන් ප්‍රසාද ලකුණු 730.80ක් සහිතව එහි රන් පදක්කම දිනා ගත්තේ ය.

අනතුරුව ඔහු මීටර් 10 පුවරු දිය පිනුම් ඉසව්වේදී ද ප්‍රසාද ලකුණු 638.61ක් සහිතව රන් පදක්කම දිනා ගන්නට සමත් විය.

පිට පිටම ඔලිම්පික් ක්‍රීඩා උළෙල දෙකක දී ම දිය පිනුම් ඉසව් දෙකේම රන් පදක්කම් දිනූ පළමු ක්‍රීඩකයා ලෙස ඉතිහාස ගතවන්නට ඔහුට හැකි වූයේ 1984 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී එම රන් පදක්කම් දිනාගෙන තිබූ බැවිනි.

ඒ හැරුණු විට ඔහු 1980 මොස්කව් ඔලිම්පික් ක්‍රීඩා උළෙල වන විටද මෙම ඉසව් දෙකේ රන් පදක්කම් දිනා ගැනීමේ ඉහළ සම්භාවිතාවක් සහිතව සිටි නමුත් ඇමෙරිකාව එම ක්‍රීඩා උළෙල වර්ජනය කළ නිසා ග්‍රෙන් ලෝගනිස්ට ඔලිම්පික් රන් පදක්කම් දෙකක් අහිමි වී ගියේ ය.

රන් පදක්කම්වලට පළමුව ඔහු 1976 මොන්ට්‍රියල් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී මීටර් 10 දිය පිනුම් තරගයේදී රිදී පදක්කම දිනා ගෙන තිබුණි. තවද 1980 වසරේ පවත්වන ලද ලෝක ශූරතා තරගාවලියන්හි දී මීටර් 10 දිය පිනුම් ඉසව්ව විනිසුරුන් 07 දෙනාගෙන්ම පූර්ණ ලකුණු සංඛ්‍යාව වන ලකුණු 10 බැගින් ලබා ගනිමින් ජය ගෙන තිබීමද ලෝක වාර්තාවක් බවට සටහන්ව ඇත.

 

Comments