පැපුවා නිව්ගිනියාවට ගිනි පිම්බ ඉන්දු අමෙරිකානුවා ජස්කරන් මල්හෝත්‍රා | සිළුමිණ

පැපුවා නිව්ගිනියාවට ගිනි පිම්බ ඉන්දු අමෙරිකානුවා ජස්කරන් මල්හෝත්‍රා

 

පසුගිය දා අමෙරිකානු ක්‍රිකට් ක්‍රීඩක ජස්කරන් මල්හෝත්‍රා ද හයේ පහර හයක් එල්ල කළේ ය. එහෙත් ඔහු සුපිරි පිතිකරුවකු යැයි ලෝකය දැන සිටියේ නැත. ඔහු දැන සිටියාදැයි අප දන්නේත් නැත. එහෙත් ඔහු එය පසුගියදා සිදුකළේ ය. ඒ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ එවන් දස්කමක් පෑ ලොව පහළ වූ නව වැනි පිතිකරුවා බවට පත්වෙමිනි. එම තරගය පැවැත්වුණේ ඕමානයේ දී ය.

මීට පෙර ජාත්‍යන්තරයේ එක්දින තරගයක එවන් දස්කමක් දක්වා තිබුණේ දකුණු අප්‍රිකානු සුපිරි පිතිකරු හර්ෂල් ගිබ්ස් ක්‍රීඩකයා ය. ඒ තරගය පැවැත්වුණේ 2007 වසරේ සංවිධානය කෙරුණු ලෝක කුසලාන තරගාවලියේ එක්දින තරගයක දී ය. එය වාර්තා වූවාට පසු ජාත්‍යන්තර එක්දින තරගයක එක් පන්දුවාරයක් තුළ හයේ පහර හයක් එල්ල කළ පළමු අවස්ථාව ලෙස සටහන් වන්නේ ද මෙය ය.

එසේම මල්හෝත්‍රා මෙම මල් මල් සිහිනයකට ක්‍රිකට් ප්‍රේක්ෂකයන් රැගෙන යද්දී පන්දුයවන්නා වූයේ පැපුවා නිව්ගිනියා කණ්ඩායමේ වේග පන්දුයවන්නෙකි. ඔහු ඔබ නොහඳුනන මුත් තිස් එක් හැවිරිදි වියේ පසුවන ඔහු නමින් ගෞඩි ටොකා ය.

මේ අතර වාරයේ මල්හෝත්‍රාට තවත් එක් අපූරු වාර්තාවක් ස්වසන්තක කරගැනීමට තිබූ අවස්ථාවක් මගහැරී ගොස් තිබිණි. ඒ එංගලන්ත කණ්ඩායමේ එක්දින නායක ඉයන් මෝගන් 2019 ලෝක කුසලානයේ දී එක් ඉනිමක හයේ පහර 16 ක් එල්ල කරමින් පිහිටුවා තිබූ වැඩිම හයේ පහර එල්ල කිරීමේ වාර්තාව ය.

එසේම මල්හෝත්‍රා මෙතෙක් කාලයක් කැපී පෙනෙන පිතිකරුවකු වශයෙන් සැලකුණේ නැත. මන්ද යත් ඔහුගේ ඉහළම ඉනිම වශයෙන් මීට ප්‍රථම වාර්තාවී තිබුණේ ලකුණු 18 කි. එහෙත් මෙලෙස එක් පන්දුවාරයක හයේ පහර හයක් එල්ල කිරීමෙන් අනතුරු මල්හෝත්‍රා සිය එක්දින ඉනිම නොදැවී ලකුණු 173 ක් දක්වා වර්ධනය කළේ ය. එය ඔහුගේ ක්‍රීඩා ජීවිතයේ ලකුණු රැස් කරමින් සිය ඉහළම එක්දින ඉනිමද ක්‍රීඩාකළේ ය.

එම ඉනිම සැලකෙන්නේ අමෙරිකානු ක්‍රිකට් ක්‍රීඩකයෙක් එක්දින තරගයක රැස්කළ ඉහළම ඉනිම ලෙසය. මල්හෝත්‍රාගේ මෙම ඉනිමට පෙර එරොන් ජෝන්ස් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව ලකුණු 95 ක් රැස්කර තිබුණේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව ය. ඒ 2019 වසරේ දී ය.

දකුණු අප්‍රිකානු සුපිරි පිතිකරුවකු වූ ඒ.බී.ඩිවිලියර්ස් 2015 වසරේ පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී දකුණු අප්‍රිකානු ඉනිමේ පස්වැනි පිතිකරුවා වශයෙන් එම පිතිකරු ස්ථානයේ ඉහළම ඉනිමේ හිමිකරුවා ලෙස මෙතෙක් වාර්තාවක් පිහිටුවා තිබිණි. ඒ ලකුණු 162 න් රැස් කරමිනි. පැපුවා නිව්ගිනියා පිලට එරෙහිව එම වාර්තාව බිඳ දැමීමට අමෙරිකානු කණ්ඩායේ අංක පහ පිතිකරුවා වශයෙන් පිවිසි මල්හෝත්‍රාට හැකිවීම ද සුවිශේෂී ය.

එසේම අයි.සී.සී. අනුබද්ධ රටක ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරුවකු එල්ල කළ තෙවැනි ඉහළම එක්දින ඉනිම ලෙස සැලකෙන්නේ ද මෙම ඉනිමය.

ජස්කරන් මල්හෝත්‍රා යනු ඉන්දියානු සම්භවයක් සහිත ක්‍රීඩකයෙකි. ඔහු කඩුලු රකින්නෙක් ලෙසද කටයුතු කරනු ලබයි.

 

එක් පන්දුවාරයක් තුළ හයේ පහර හයක් එල්ල කළ අවස්ථා

1968 - සර් ග්‍රාෆීල්ඩ් සෝබර්ස් (නොටිංහැම්ෂයර්- ග්ලැමෝර්ගන් තරගයක දී) +

1984 - රවී ශ්‍රාස්ත්‍රි ( බොමේබා හා බැරෝඩා අතර)+

2007 - හර්ෂල් ගිබ්ස් (දකුණු අප්‍රිකාව හා නෙදර්ලන්තය අතර- ලෝක කුසලාන තරගයක දී)

2007 - යුවරාජ් සිං ( ඉන්දියාව හා එංගලන්තය අතර විස්සයි විස්ස තරගයකදී)+

2017 - රොස් විට්ලි (වොෂ්ටෂයර් හා යෝක්ෂයර් අතර විස්සයි විස්ස තරගයක දී)+

2018 - හෂ්රතුල්ලා ෂාෂි ( කාබුල් ෂවාන් හා බෝල්ක් ලෙජන්ස්ඩ් අතර විස්සයි විස්ස තරගයක දී)

2020 - ලියෝ කාටර් (කැන්ටබරි හා උතුරු දිස්ත්‍රික් අතර විස්සයි විස්ස තරගයක දී)+

2012 - කිරන් පොලාර්ඩ් (බටහිර ඉන්දීය කොදෙව් හා ශ්‍රී ලංකාව අතර විස්සයි විස්ස තරගයක දී)

2021 - ජස්කන් මල්හෝත්‍රා (අමෙරිකා එක්සත් ජනපදය හා පැපුවා නිව්ගිනියා අතර එක්දින තරගයක දී)

Comments