
ශ්‍රී ලංකාව සංචාරක දකුණු අප්‍රිකානු විස්සයි විස්ස කණ්ඩායම හමුවේ සම්පූර්ණ තරගාවලි පරාජයක් ලැබුවේ ය. එය එක්තරා ආකාරයකට ලජ්ජා සහගත පරාජයකි. පරාජය ලජ්ජා සහගත යැයි කියන්නේ එය ජය නොගත් නිසා නොව කිසිදු විරෝධතාවයක් නොදක්වා පරාජය භාර ගත් නිසා ය.
එම තරගාවලි පරාජය සම්පූර්ණ වීමටත් පෙර ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායම නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළේ ය. ඒ සඳහා ඇතුළත්ව සිටි ක්‍රීඩකයන් අතරට වැඩි වශයෙන් එක්ව සිටියේ නව යොවුන් ක්‍රීඩකයන් ය.
දකුණු අප්‍රිකාව සමඟ තරගාවලිය පරාජය ලැබුවේ ද මෙම යොවුන් ක්‍රීඩකයන්ගෙන් බහුතරය ඇතුළත් වන කණ්ඩායම ම වීම ද විශේෂත්වයකි.
මේ අතර හදිසියේ තවත් ප්‍රවෘත්තියක් මාධ්‍ය පුරා පැතිර ගියේ ය. ඒ තමන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බව ශ්‍රී ලංකාව නියෝජනය කළ ලෝක පූජිත වේග පන්දු යවන්නකු වන ලසිත් මාලිංග කළ නිවේදනය ය. ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතයට ඔහු ඇතුළත් නොවීමත් දකුණු අප්‍රිකාව අභිමුව ශ්‍රී ලංකා පිල අන්ත පරාජයකට නතුවීමත් යන කාරණා සියල්ලට සමගාමීව මාලිංග ගෙන ඇති තීරණය සමාජයේ කතාබහට ලක්විය.
දැන් බොහෝ දෙනකුගේ මතය වී ඇත්තේ ලසිත් මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට ඉක්මන් වූයේ ඇයි ද යන්න ය. ඔහු ඊට පොලඹවනු ලැබූයේ පසුගිය කාලයේ ක්‍රිකට් තේරීම් කමිටුව මාලිංග සම්බන්ධයෙන් සැලකිලිමත් නොවීම බව දැන් සමාජ මතයක් වශයෙන් පැතිර යන්නට ද පටන්ගෙන තිබේ.
එය එසේ වන්නේ ද? එසේත් නැතහොත් ඔහුගේ සමුගැන්මට හේතු පාදක වන වෙනත් කාරණයක් පවතින්නේ ද? යන්න මෙහිදී සියුම් ව විමසා බැලිය යුතු ය. එවැන්නක් අවශ්‍ය වන්නේ එසේ නොවුණහොත් සිදු වන්නේ සැබෑ හේතුව පසෙකලා මුව හමට තඩිබාන්නාක් මෙන් ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව දෝෂාරෝපණයට ලක්වීම ය.
යම් ක්‍රීඩකයෙක් රටක ජාතික කණ්ඩායමට ඇතුළත් කර ගැනීමට තේරීම් කමිටුවකට හැකියාව ඇත්තේ කෙසේද යන්න මෙතැනදී පළමු ව නිරාකරණය කරගත යුතු ය. ඊට පළමුකොටම අදාළ ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව තරගකාරී ක්‍රීඩාවේ නිමග්න වී සිටීම අවශ්‍ය ය. එසේ නොමැතිව කාලයක් තිස්සේ පිටියෙන් ඉවත්ව සිටි ක්‍රීඩකයකු ඔහුගේ අතීත කීර්තිය සලකා බලා එකවර ජාතික කණ්ඩායමක් තුළට ආදේශ කළ නොහැකි ය. එසේ කිරීම ද කිසිසේත්ම යෝග්‍යද නැත.
සෑම විටම යම් ක්‍රීඩක තේරීමක් සිදු කිරීමට ඉවහල් වූ සාධාරණ කාරණා මොනවාදැයි පැහැදිලි කිරීමට අවශ්‍ය නම් එය කිරීමට ද තේරීම් කමිටුවට හැකිවිය යුතු ය. අසවල් ක්‍රීඩකයා අවසන් සංචිතයට එක්කළේ හෝ සංචිතයෙන් ඉවත් කළේ කවරාකාරයේ කාරණා ඉවහල් කර ගනිමින්ද යන්න ගැන පැහැදිලි කිරීමට තේරුම් කමිටුව සැදී පැහැදී සිටිය යුතු වේ. මේ අනුව බලන කල එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි කරවන කණ්ඩායම තෝරාගැනීමේ දී ලසිත් මාලිංග නොසලකා හැරීමට ශ්‍රී ලකා ක්‍රිකට් තේරිම් කමිටුව ගත් තීරණය එක අතකින් වරදක් නොවේ.
අප එසේ කියන්නේ පසුගිය වකවානුවේ සංවිධානය කෙරුණු එකදු තරගාවලියකට හෝ ඔහු ක්‍රීඩා නොකළ හෙයිනි. එය ශ්‍රී ලංකාව තුළ පමණක් නොව අයි.පී.එල්. හෝ වෙනයම් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියකටවත් මාලිංග සහභාගි වූයේ නැත. කෙසේ නමුත් අතීත තේජස සම්බන්ධයෙන් සලකන කල ලසිත් මාලිංග යනු මහා යෝධයෙක් බව සැබෑ ය. එහෙත් නූතන ක්‍රීඩාව තුළ අතීත කීර්තියෙන් ජීවත්වීමට ඇත්තේ ඉතා අඩු අවස්ථාවකි.
එය තේරුම් ගන්නට ප්‍රදර්ශනාත්මක බොක්සිං තරගයකට පැමිණ පළමු වටය නිමවීමටත් පෙර තාක්ෂණික තීරණයක් මත පිහිටා වළල්ලෙන් ඉවත් කළ එවැන්ඩර් හොලිෆීල්ඩ්ව දක්වන්නට පිළිවන. කලක් බොක්සිං පිටියේ මහා යෝධයකු වූ හොලිෆීල්ඩ් පසු කලෙක එම වළල්ල තුළ ම කුරුමිට්ටකු බවට පත්වූ අයුරු කනගාටුදායක ය. එය ඕනෑම ක්‍රීඩාවකට ආදේශ කළ හැකි සිද්ධාන්තයකි.
කොටින්ම කියන්නේ නම් ඕනෑම විශිෂ්ටයකු සමුගත යුතු ය. ඒ සඳහා ඔවුන් සූදානම් විය යුතු ය. සමුගැනීමේ සාදයක් පවත්වනවාද නැද්ද යන්න ගැන තීරණය කළ හැක්කේ ඔවුන්ටම ය.
එය එසේ නම් ලසිත් මාලිංග නමැති විශිෂ්ටයා සම්බන්ධයෙන්ද කිව යුතුව ඇත්තේ එය පමණි. දැන් ඔහුට නිදහසේ සමුගෙන යන්නට ඉඩ දිය යුතු ය. ඔහු රටට, ගෝලීය ක්‍රිකට් ක්‍රීඩාවට සිදු කළ සේවය අනුපමේය බව සැබෑවකි. අප එයට ශීර්ෂ ප්‍රණාමය පුදකිරීම වැදගත් ය. එහෙත් එසේ කියා සදාකාලයට ම මාලිංගගේ සේවය සලසා ගැනීමට සිහින මැවීම යථාර්ථයක් නොවේ.
මන්ද සෑම හමුවීමකටම සමුගැනීමක් ද තිබේ. සෑම එක්වීමකට වෙන්වීමක් ද ඇත්තේ ය. එය කවදා, කොහේ, කෙලෙස සිදුවේද යන්න පමණක් අපි නොදන්නෙමු. එහෙත් ඒ සමුගැනීම සිදුවන දා ඊට බුද්ධිමත්ව මුහුණදිය යුතුව ඇත. ලසිත් මාලිංග නම් වූ විශිෂ්ට වේග පන්දු යවන්නා සම්බන්ධවද අප තේරුම් ගත යුත්තේ එය පමණ ය.










