අප ඉපදෙන රට අපගේ ‘මවු රට’ යනුවෙන් හඳුන්වමු. අප තුළ අපගේ මව සම්බන්ධව පවතින්නේ කිනම් වූ ගෞරවනීය හැඟීමක්ද අපගේ ‘මවු රට’ සම්බන්ධවද එවැනිම වූ හැඟීමක් අප සිත්වල පවතින්නේය. ඔලිම්පික් උළෙලේදී රන් පදක්කම ලැබූ තරුණයා වෙනුවෙන් මුළු ලොවක් ඉදිරියේ අප ජාතික ගීය වැයෙද්දී අප සිත් තුළ ඇතිවන ගෞරවනීය හැඟීම ඒ සඳහා ලබා දිය හැකි හොඳම උදාහරණය වේ. එමෙන්ම යම් කිසිවකුගේ ක්‍රියාවක් හේතුවෙන් අප රටට අපකීර්තියක් ඇති වන්නේද, එවැනි අවස්ථාවලදී අප සිත්වලට දැනෙන කනගාටුදායක, කාලකණ්ණි හැඟීම උපදින්නේද අපගේ මවු රට පිළිබඳ අප සිත්තුළ පවතින ගෞරවනීය හැඟීම හේතුවෙනි.
එබැවින්ම නවසීලන්ත සිදුවීමත් සමඟ අප රටේ නම ගෑවෙන විට අප සියල්ලෝ විඳ දරා ගත්තේ කනගාටුවකි. දුකකි. ඒ අප රටේ ගෞරවය කිසියම් අන්දමකින් හෝ, එක් මොහොතකට හෝ කැළැල් වීම සම්බන්ධයෙනි. එහෙත් එම සිදුවීම සිදුවීමෙන් පැය කිහිපයකට පසු නවසීලන්ත අගමැතිනි ජසින්ඩා අර්ඩන් පවසා සිටියේ ‘මේ සිදුවීම ත්‍රස්ත ක්‍රියාවක් බැවින් කිසියම් රටකට, ජන වර්ගයකට හෝ ආගමකට කිසිඳු චෝදනාවක් එල්ල කළ නොහැකි බවයි’
සැබවින්ම නවසීලන්ත අගමැතිනියගේ එම ප්‍රකාශය අගය කළ යුතුය. ඇය පැවසූ පරිදිම මේ හුදකලා පුද්ගලයාගේ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් ඔහු ජීවත්ව සිටි රට හෝ ඔහු අයත් ජන වර්ගය හෝ ඔහු අදහන ආගම හෝ චෝදනාවන්ට ලක් නොවිය යුතුය. සැබවින්ම එය වඩාත් අගය කර සැලකිය යුතු වන්නේ නවසීලන්ත අගමැතිනිය තම ප්‍රකාශයේදී එම පුද්ගලයා මීට පෙර ජීවත්ව සිටි රට පිළිබඳවද සඳහන් නොකිරීමට වග බලා ගත්තේ නම්ය.
යම් කිසිවකු සරණාගත තත්ත්වයට පත් වන්නේ තමන් ජීවත් වූ රට පිළිබඳ අයිතිය අත්හැරීමත් සමඟිනි. තමන්ට තමන්ගේ මවු රටින් එල්ල වන පීඩාවන් තවදුරටත් දැරිය නොහැකි බැවින් තමන්ට වෙනත් රටක ජිවත් වීමට අයිතිය ලබා දෙන මෙන් ඉල්ලා සිටීම ‘සරණාගත තත්ත්වය ‘ යනුවෙන් සරලව හඳුනාගත හැකිය. එම සරණාගත තත්ත්වය යම් කිසි රටක් විසින් යම් කිසි පුද්ගලයකු වෙත ලබා දෙන්නේ නිකම්ම නොවේය.
ඒ සඳහා පිළිගත හැකි සාක්ෂි ඉදිරිපත් කළ යුතු වන අතර සම්මුඛ පරීක්ෂණ සඳහාද සහභාගී විය යුතුය. ඉදින් යම් කිසිවකු තම මවු රට අපකීර්තියට පත් කරමින් තවත් රටක සරණාගත තත්ත්වය ඉල්ලා සිටින්නේ නම්, එම රටවල් එවැනි පුද්ගලයන්ට සරණාගත තත්ත්වය ලබා දෙන්නේ නම්, එවැනි පුද්ගලයන් පසුව සිදුකරන අන්තවාදී හෝ ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධව ඔහු විසින් අතහැර දමනු ලැබූ රට සම්බන්ධ කර දැක්වීමේ කිසිඳු සාධාරණයක් නැත.
ඒ වෙනුවට පැවසිය යුතු වන්නේ අදාළ රටවල් ඉල්ලූ පමණින් පුද්ගලයන්ට සරණාගත තත්ත්වය ලබා දීමේදී වඩාත් හොඳින් ඒ පිළිබඳ සොය බැලිය යුතුව ඇති බවයි.
පසුගිය සැප්තැම්බර් 3වැනිදා දහවල වන විට මුළු ලොව පුරා පැතිර ගිය පුවතකි. සියලුම මාධ්‍ය හදිසි පුවතක් ලෙස වාර්තා කරමින් සිටියේ නවසීලන්තයේ සුපිරි වෙළෙඳසැලක් අභ්‍යන්තරයේ සිදු වූ පිහි ඇණුමක් පිළිබඳ පුවතකි. එය ත්‍රස්ත ප්‍රහාරයක් බවද වාර්තා විය. එම පුවත ලොව අන් සියලුම රටවල ජනතාවට වඩා ශ්‍රී ලාංකිකයන්ට වැදගත් වූයේ එම පිහි ඇණුම සිදු කළ පුද්ගලයා ශ්‍රි ලාංකිකයකු බව ප්‍රකාශ වීමත් සමඟිනි. මේ පිහි ප්‍රහාරය එල්ල කළ පුද්ගලයාගේ වයස අවුරුදු 32ක් බව ප්‍රකාශ වී තිබේ. ඔහු කාත්තන්කුඩියේ පදිංචිව සිටි බවද වාර්තා වී ඇති අතර ඔහුගේ මව තවමත් ශ්‍රී ලංකාවේ වාසය කරන්නීය.
අහමඩ් ආදිල් මොහොමඩ් සම්සුදීන් යනුවෙන් හඳුනාගෙන ඇති මේ පුද්ගලයා ඔහුට වයස අවුරුදු 22ක් වන විට එනම් 2011 වසරේදී ශ්‍රී ලංකාවෙන් නික්ම නවසීලන්තයට ගොස් ඇත්තේ ශිෂ්‍ය වීසා ලබා ගනිමිනි. වසර දෙකක කාලයක් ගත කිරීමෙන් පසුව මේ පුද්ගලයා තමාට නවසීලන්තයේ සරණාගත තත්ත්වය ලබා දෙන ලෙස එරට රජයෙන් ඉල්ලීමක් කර තිබේ. එම ඉල්ලීමට ප්‍රතිචාර ලෙස නවසීලන්ත රජය ඔහුගෙන් සරණාගත තත්ත්වය සඳහා ඔහු ඉදිරිපත් කරන සාධාරණ ඉල්ලීම් පිළිබඳව විමසා තිබේ. එහිදී ඔහු පවසා ඇත්තේ තමා ද්‍රවිඩ ජාතිකයකු බවත්, වසර තිහක් පුරා පැවති සිවිල් යුද්ධය හේතුවෙන් සුළුතර ද්‍රවිඩ ජාතිකයන් දැඩි සේ පීඩාවට පත්ව සිටින බවත්ය. අනවශ්‍ය ප්‍රශ්න කිරීම්වලට නිතර ලක් වන බව පවසා ඇති මේ පුද්ගලයා තම සිරුරේ වූ තුවාල කැලැල් දක්වමින් පවසා ඇත්තේ ඒවා සුළු ජාතිකයකු ලෙස තමා රට තුළදී මුහුණ දෙන පීඩාවන් සඳහා හොඳම උදාහරණය වන බවයි. අමතරව ඔහු විසින් මනෝ වෛද්‍යවරයකුගේ සහතිකයක්ද නවසීලන්ත බලධාරින් වෙත ඉදිරිපත් කරණු ලැබ තිබූ අතර එම සහතිකයට අනුව ඔහු ‘පශ්චාත් කම්පන සහගත මානසික ආතතියෙන් සහ මානසික අවපීඩනයෙන් පෙළෙන දැඩි අසහනයට පත්වූ හා හානියට පත් වූ තරුණයකු’ ලෙස හඳුන්වා දී තිබේ. එවැනි සහතික පත්‍ර පිළිගනිමින් මෙවැනි පුද්ගලයන්ට සරණාගත භාවය ලබා දීමට කටයුතු කරන රටරටවල බලධාරීන් දැන් දෙවරක් සිතිය යුතුව ඇති බවට මේ පුද්ගලයාගේ පසු කාලීන ක්‍රියාකලාපය නිදසුන් දෙනු ඇත.
කෙසේ වුවද මේ පුද්ගලයා දක්වා ඇත්තේ ශ්‍රී ලංකාව තුළ පැවති සිවිල් යුද්ධය හේතුවෙන් ඔහුට සහ ඔහුගේ පියාට දැඩි හිසංනයටන්ට ලක් වීමට සිදුවූ බවයි. එබැවින් ඒ සියල්ල සලකා බැලූ නවසීලන්ත බලධාරීහු 2013 වසරේදී ඔහුට එරට තුළ සරණාගත තත්ත්වය ලබා දී තිබේ. සැබවින්ම කියන්නේ නම් නවසීලන්තය ඉන්පසු මුහුණ දෙන්නේ අවාසනාවන්ත කාල පරිච්ඡේදයකටය. එයට හේතුව සරණාගත තත්ත්වය ලැබීමෙන් පසුව මේ පුද්ගලයාගේ සැබෑ මුහුණ හෙළිදරව් වීමය. ඒ ක්‍රමිකවය.
ලොව පුරා රටවල සිදුකරන ලද නොයෙක් ත්‍රස්ත ප්‍රහාර හේතුවෙන් බොහෝ රටවල ආරක්ෂක අංශ තම රටේ ආරක්ෂාව පිළිබඳ විශේෂ අවධානයක් දක්වන අතර නවසීලන්තයද එසේමය. අමතරව ඔවුන් ඇතැම් පුද්ගලයන් පිළිබඳ විශේෂ සැලකිල්ලක් දක්වන්නේ ඔවුන්ගේ චර්යා රටාවන්හි සැක කටයුතු ලක්ෂණ හඳුනා ගැනීමෙන් පසුවය.
මේ පුද්ගලයා සම්බන්ධව නවසීලන්ත පොලීසිය තම විශේෂ අවධානය යොමු කිරීම ආරම්භ කරන්නේද ඔහුගේ සමාජ මාධ්‍ය හැසිරීම් තුළ දක්නට ලැබුණු යම් යම් අන්තවාදී ලක්ෂණ පැහැදිලිව දිස් වීමෙන් පසුවය. නවසීලන්ත පොලිසියට අනුව ඒ 2016 වසරේ දී පමණය. ඔහු තම ෆේස් බුක් පිටුව මඟින් අන්තවාදී අදහස් සමාජ ගත කිරීමට උත්සාහ දරන බව පැහැදිලි වූ අතර අවසානයේ 2017 වසරේදී ඔහු අත්අඩංගුවට ගැනිමට එරට පොලිසිය කටයුතු යෙදීය. එහිදී පොලීසිය පවසා සිටියේ ප්‍රථමව මේ තරුණයා තම සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ සටන් දර්ශන ප්‍රචාරය කිරීමට කටයුතු කළ බවයි. එමෙන්ම එවැනි වීඩියෝවල අන්තවාදී අදහස් අඩංගු වූ බවත්, පසුව ඔහු අන්තවාදී ඉස්ලාම් සංවිධානවලට පක්ෂපාතී අදහස්ද සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමට කටයුතු යොදා තිබේ. 2016 අප්‍රේල් සහ මැයි මාසවලදී ඒ සම්බන්ධව මේ පුද්ගලයා නවසීලන්ත පොලීසියේ අවවාද කිරීම්වලට බඳුන්ව ඇති අතර ඔහු එහිදී සමාව ඉල්ලා සමාජ මාධ්‍ය ගිණුම් අක්‍රිය කිරීමටද කටයුතු කර තිබේ. එහෙත් ඔහු යළිත් ජූලි සහ ඔක්තෝබර් මාසවලදී යළිත් සමාජ මාධ්‍ය ගිණුම් සක්‍රිය කර ගැනීමට කටයුතු කර තිබේ. නවසීලන්ත පොලීසිය පවසන්නේ ඒ පිළිබඳව දිගින් දිගටම මේ පුද්ගලයාට තමන් අවවාද කළ බවයි.
කෙසේ වුවද 2017 වර්ෂයේදී මේ පුද්ගලයා සහ ඉස්ලාමීය අන්තවාදී සංවිධාන අතර සම්බන්ධයක් පවතින බව තහවුරු කර ගන්නා පොලීසිය ඔහුව අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ. එම අත්අඩංගුවට ගැනීමේදී පොලීසිය දක්වා ඇත්තේ මේ පුද්ගලයා සිදු කර ඇති ප්‍රකාශයකි. මේ පුද්ගලයා ඔක්ලන්ඩ් මුස්ලිම් දේවස්ථානයේදී කිසියම් පුද්ගලයකු සමඟ පවසා ඇත්තේ තමන් අයිඑස් සංවිධානයට බැඳීම සඳහා සිරියාවට යෑමට අපේක්ෂා කරන බවයි. ඒ ඔස්සේ ඔහු පිළිබඳව සැලකිල්ලෙන් සිටි නවසීලන්ත පොලීසිය ඔහු ඔක්ලන්ඩ් ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගන්නා අතර ඒ වන විට මේ පුද්ගලයා සිංගප්පූරුවට යෑමට පමණක් වලංගු ගුවන් ටිකට්පතක් තබා ගෙන සිටි බව පොලීසිය ප්‍රකාශ කර තිබේ. එම අත්අඩංගුවට ගැනීමත් සමඟම පොලීසිය මේ පුද්ගලයාගේ නිවස පරීක්ෂා කර ඇති අතර එහිදී මෙට්ටය යට සඟවා තිබූ පිහියක් සහ තවත් නිති විරෝධී යැයි සැලකිය හැකි උපකරණ කිහිපයක්ද සොයා ගැනීමට පොලීසිය සමත් වී තිබේ.
කෙසේ වුවද ඔහු යළිත් සමාජ ගතවීමෙන් පසු දිගින් දිගටම අන්තවාදී සංවිධානවලට සම්බන්ධ කටයුතුවල නිරතවන බවට තොරුතුරු පොලීසිය වෙත ලැබී තිබේ. ඇප ලබා පැමිණි ප්‍රථම දිනයේදීම ඔහු තම නමින්ම අන්තර්ජාලය ඔස්සේ හමුදා ඇඳුමට සමාන ඇඳුමක් මිලදී ගැනීමට උත්සාහ දරා ඇති බවට තොරතුරු අනාවරණය කර ගැනීමට පොලීසිය සමත් වී තිබේ. එමෙන්ම ඔහු පිහියක්ද මිලදී ගත් බවට තොරුතුරු හෙළිදරව් වී තිබේ. ඒ අනුව 2018 වසරේදී ඔහු යළිත් අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කළ අතර ඒ ත්‍රස්තවාදී ක්‍රියාවල නිරත වීමට උත්සාහ දැරීම යන චෝදනා යටතේය.
එහිදී නවසීලන්ත උසාවිය පවසා ඇත්තේ ‘ත්‍රස්තවාදී ක්‍රියාවක නිරත වීමට උත්සාහ දැරීම එවැනි ක්‍රියාවක නිරත වීමට කිසිසේත් සමාන කළ නොහැකි බවයි.
ඒ අනුව මේ පුද්ගලයා යළිත් වරක් සමාජයට මුදා හැරෙන නමුත් උසාවිය නියෝග ලබා දී ඇත්තේ ඔහු පිළිබඳ ඉතා විමසිල්ලෙන් පසුවන ලෙසයි. පසුගිය අවස්ථාවකදී නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච්හිදී මුස්ලිම් ජනතාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව මුස්ලිම් ජනතාව සම්බන්ධව කිසියම් ලිහිල් බවකින් කටයුතු කිරීමට එරට ආරක්ෂක අංශ පවා කටයුතු කර ඇති බවට වාර්තා ලැබී තිබේ.
කෙසේ වුවද මේ පුද්ගලයා සම්බන්ධ උසාවි නියෝගයටද අනුව විමසිල්ලෙන් සිටීමට එරට පොලීසිය කටයුතු කර ඇති අතර ඔහු අවස්ථා දෙකකදීම මුවහත් පිහි මිලදී ගෙන තිබෙන බව ඔවුන්ට දැන ගන්නට ලැබී තිබේ. එහෙත් පසුගිය 3වැනි සිකුරාදා දිනයේදී ඔහු එරට ගලේන් ඊඩ්න් මුස්ලිම් දේවස්ථානයෙන් පිටව සුපිරි වෙළෙඳ සැල වෙත පැමිණ ඇති අතර එහි සිටි සාමාන්‍ය වැසියන් හය දෙනෙකුට පිහියෙන් පහර දී ඇත්තේ ‘දෙවියන් උතුම්’ යන ප්‍රකාශයද කරමිනි.
නවසීලන්ත පොලීසියට අනුව ඔහු පිහි ඇණුම සිදු කර තත්ත්පර 60ක් ගතවීමට පෙර ඔහුට වෙඩි තබා බිම හෙළිමට පොලීසිය සමත් වී තිබේ. කෙසේ වුවද ඒ වන විටත් පහර ලැබූ සය දෙනා අතරින් තිදෙනකු බරපතළ තත්ත්වයේ පසුවී තිබේ.
අන්තවාදය මෙන්ම ත්‍රස්තවාදය කොයි මොහොතේ කොයි තැනදී ඉස්මතු වේදැයි අනුමාන කිරිමට හෝ ඉඩක් නැත. එබැවින් කළ යුත් වන්නේ රටකට, ජාතියකට හෝ ආගමකට වෙනස්ව සැලකීමට කටයුතු කිරීම නොව අන්තවාදය සහ ත්‍රස්තවාදය පිටු දැකීමට එකා මෙන් කටයුතු කිරීමය.