මේ ඡායාරූපය ඔබ දැක ඇති බවට සැකයක් නැත. එයට හේතුව එම ඡායාරූපය එතරම්ම ප්‍රසිද්ධියට පත්ව ඇති නිසාවෙනි. පසුපසින් බොම්බයක් වැනි යමක් පුපුරා යන අවස්ථාවක දිවි බේරා ගැනීමට දිව එන මිනිසුන් අතර හඬමින් නිරුවතින් දිව එන කුඩා දැරිවියකි. මේ ඡායාරූපය දෙස බැලූ බොහෝ නෙත් කඳුළින් තෙත්ව යන්නේ එහි එතරම්ම අපූරුවට යුද්ධය යනු කුමක්දැයි නිරූපණය වී ඇති නිසාවෙනි.
මේ ඡායාරූපය ලබා ගත් ඡායාරූප ශිල්පියා ‘නික් අට්’ ය. ඔහු වියට්නාම් ජාතික ඡායාරූප ශිල්පියෙකි. එහෙත් ඔහුට ඇමරිකාව ඇතුළු බටහිර රටවල් සමඟද මාධ්‍යවේදියකු ලෙස සබඳතා විය. 1972 වසරේ ජූනි මස 8වැනිදා ඔහු වියට්නාමයේ නාපාම් ප්‍රදේශයේ සිටියේය. නාපාම් පිහිටා තිබුණේ දකුණු වියට්නාමයේ වූ අතර එම ප්‍රදේශයේ බලය ඇමරිකානු හමුදා සතු විය. එබැවින් මේ ප්‍රදේශයේ ජනතාවට යුද බියක් හෝ ගුවන් ප්‍රහාර පිළිබඳ බියක් වූයේ නැත. එහෙත් එදින එක්වරම පැමිණි ඇමරිකානු ගුවන් යානා රැසක් නාපාම් ප්‍රදේශයට ගුවනින් ගිනි බෝම්බ හෙළන්නේය. සියලු දෙනා මරබියෙන් දිව යන්නේ එම බෝම්බ ප්‍රහාරයට මැදි වූ ඇමරිකානු සොල්දාදුවන් පිරිසක් ඇතුළු සිවිල් වැසියන් පිරිසක්ද පණ පිටින් ගිනි ගෙන දැවෙද්දීය.
එවකට නව හැවිරිදි වියේ පසුවූ මේ දැරිය (පසුව ඇය පහන් තායි කිම් පච් යනුවෙන් හඳුනාගන්නා ලද අතර ඇය මේ වන විට 58 හැවිරිදි වියේ පසුවන්නීය.) බෝම්බ ප්‍රහාරයෙන් තුවාළ ලබා දිව එනු දකින නික් අට් මේ කනගාටුදායක අවස්ථාව තම කැමරාවේ සටහන් කර ගන්නේය.
පසුව ඔහු ලබාගත් මේ ඡායාරූපය සඳහා පුලිට්සර් සම්මානයද හිමිවන අතර එය ලෝක ප්‍රසිද්ධ වන්නේය.
මේ සියල්ල අතර වඩාත් අවාසනාවන්ත හෙළිදරව්ව වන්නේ එදින ඇමරිකානු හමුදා නාපාම් ප්‍රදේශයට බෝම්බ හෙළන්නේ අත්වැරදීමකින් බව ප්‍රකාශයට පත්වීමය. ඇමරිකානු ගුවන් හමුදාව බෝම්බ හෙළිමේදී නියමිත ස්ථානය නිසි ලෙස හඳුනා නොගැනීමෙන් ඔවුන්ගේම සෙබළුන් සහ සාමාන්‍ය වැසියන්ට ජිවිතවලින් වන්දි ගෙවීමට සිදුවිය. එහෙත් එවැනි අත්වැරදීම් සිදුවූ එකම අවස්ථාව මෙය නොවූ බව පසුව වියට්නාම් යුද්ධයේ කටුක අත්දැකීම්වලට මුහුණ දුන් ඇමරිකානු හමුදා සාමාජිකයෝ පවසා සිටියහ.
කෙසේ වුවද ඇමරිකානු පාර්ශ්වයෙන්ද වියට්නාම් යුද්ධයට තම බලධාරීන් වෙත දෝෂාරෝපණ එල්ල වූ අතර එයම වසර විස්සකට පසුව තම හමුදා සියරට කැඳවීමට බලපෑ හේතුවක් විය. යුද්ධය විවේචනය කරමින් නිදහස් මත දැරීමට හැකියාව ලැබුණු තවත් අවස්ථාවක් ලෙස මේ නාපාම් දැරියගේ ඡායාරූපය ඉතිහාස ගත වන්නේය.