ඔබේ ‘සන්නි­වේ­දන කුස­ලතා’ ඔබට හැඳින ගත හැකි ද? | සිළුමිණ

ඔබේ ‘සන්නි­වේ­දන කුස­ලතා’ ඔබට හැඳින ගත හැකි ද?

සන්නිවේදන අධ්‍යයනයේ ප්‍රබල ඥාන ධාරාවක් ලෙස පෙන්නුම් කෙරෙන සන්නිවේදන කුසලතා (Communication Skills) පිළිබඳ වඩාත් ශාස්ත්‍රීය වූත් විධිමත් වූත් විවරණ සමුදායක් දැක ගත හැකි වන්නේ, (Teri Kwal Gambl) සහ මයිකල් ගැම්බල් ( Michael Gamble) විසින් ලියන ලද සන්නිවේදන කාර්ය භාරය නමැති කෘතියෙහි ය. එහිලා සටහන් වන පරිදි,

“මානවයා උපතේ සිට අභාවය දක්වා ගත කරන කාලය තුළ ඔහුගේ හෝ ඇයගේ කිනම් හෝ සන්නිවේදන කුසලතාවක් අනුව කල්ගත කරනු ලබන බව පෙන්නුම් කෙරේ. එක් එක් මානව සංස්කෘතින්ට අනුකුලව ඒ සන්නිවේදන කුසලතා වෙනස් විය හැකි ය. එහෙත් ඒ ජීවත් වෙන කාල වකවානුව තුළ තමන්ගේ ඒ කුසලතාව හෝ කුසලතාවන් (Skill or Skills) කවරේද යන්න තමන්ටම හඳුනා ගත හැකි වීද?”

මේ ප්‍රශ්නය මතු කිරීමෙන් පසුව ‘සන්නිවේදන කුසලතා’ යනු කෙසේ හටගන්නේද යන්නත්, කෙසේ කෙමෙන් වර්ධනය වන්නේ ද යන්නත් පිළිබඳව ප්‍රමාණවත් විවරණයක් අන්තර්ගත වේ.

ඒ මෙසේ දත හැකි ය.

“ඔබ මෙලොවෙ ජනිත වූයේ කිනම් කුසලතාවක් රැගෙන ද යන්න ඔබට වඩා දැකගත හැකි වන්නේ ඔබ හා සමඟ කල්ගත කරන අන්‍යයින්ට ය. ඔබ අතින් කිසියම් අවශ්‍යතාවක් හෝ අවශ්‍යතාවන් රැසක් (need or needs) සිදු වන බව වාගදා ඔබට පෙනේනනට ඇත. ඔබටත් වඩා අනුන්ට පෙනෙන්නට ඇත. ඔබ අනුන් සතුටට පත් කරන (Make others happy) කෙනෙක්ද? ඒ සතුට ඔබ ඔවුන්ට අත්පත් කර දෙන්නේ කෙසේ ද? කතන්දරයක් නිර්මාණය කිරිමෙන් විය හැකි ය (by a narrative) ඒත් නැතිනම් ගායනයකින් (singing) හෝ වාදනයකින් (playing an instrument) හෝ යමක් ඉගැන්වීමෙන් (teaching) හෝ චිත්‍රයක් ඇඳීමෙන් (painting) ක්‍රිඩාවක් කිරීමෙන් (playing a game) විය හැකි ය. කුසලතා මෙතෙකින් කෙළවරක් නොවේ. කුසලතාවන් හි සම්මතයක් (conventiona) හා වෙනස් වූ අසම්මතයක් (unconventional) ලක්ෂණ කොතෙකුත් තිබිය හැකි ය. ඒවා පෙනෙන අවස්ථා හා නොපෙනෙන අවස්ථා තමන් නියැ­‌ෙළන කාර්යභාරයට අනුකූලව විද්‍යමාන වේ. සන්නිවේදන කුසලතා අසීමිත බව (limitless) ද සැලකිය යුතු ය. කෙනෙකුට සාමාන්‍යයෙන් කළ නොහැකි කාර්යයක් තවත් කෙනෙකුට කළ හැකි ය. මෙය සුවිශේෂ කුසලතාවක් (special skill) ලෙස සැලකේ. නිදසුන් සපයා ගත හැක්කේ ඔබ අවට කල් ගෙවන අය කරන කියන වැඩ කටයුතු දෙස බලා සිටීමෙනි.

කුසලතාව යනු හුදු දක්ෂතාවක්ම නොවන බව ද වටහාගත යුතු ය. එය ද හිතන පතන ආකාරය අනුව පදනම් වූව කි. අපූරු වාර්තා බිහි කරන පුද්ගලයින් පිළිබඳ තොරතුරු නිතරම අපට මාධ්‍යජාලා ඔස්සේ අසන්නට දකින්නට කියවීමට ලැබේ. එහෙත් ඔවුන්ගේ ඒ තොරතුරු පිටුපස රැඳී ඇති බලවේගය කවරේදැයි වටහා ගත හැකි ද?

ඒ සියල්ල කිසියම් පරිචයක් මත ඇති වූ කුසලතාවන්ද නැතහොත් උපතින්ම ගෙන එන ලද ඒවා ද? මේ ප්‍රශ්නයට තවමත් නිසි ප්‍රතිචාරයක් ලැබී ඇතැයි සිතිය නොහැකි ය.”

සන්නිවේදන කුසලතා ප්‍රගුණ කිරීමට නම් කිසියම් ජීන්‍න ආවර්ජනයක් ද අවශය බව 93 හැවිරිදි සුප්‍රකට චෙලෛා් වාදකයකු වූ පැබ්ලෝ කැසල්ස් වතාවක් කී කතාවක මෙසේ සඳහන් වේ.

“හැම දිනයකදිම මම නැවත උඵදිමි. හැම දිනයක්ම අලුතින් පටන් ගත යුතු වේ. ඒ මක් නිසා ද යත්, මම මගේ කුසලතාව හැම දිනයකදීම ඔප මට්ටම් කර ගනිමි. පසුගිය අවුරුදු 80ක් මුළුල්ලේම මම හැම දිනයක්ම සැලකුවේ උදා වූ අලුත් දිනයක ලෙසින් විනා තවත් කරදරකාරි දිනයක් වශයෙන් නොවේ. මම, ලොව පිනවූ මගේ වාදන කුසලතාව තව තවත් ප්‍රගුණ කිරීමට වෑයම් කරමි.

එය මට ජීවන අවශ්‍යතාවක් ලෙසින් දැනේ. කාලය ගෙවෙන අයුරු මට නොපෙනේ. හැම දිනයක්ම මට නව සතුටක් උත්පාදනය කරවන නව දැනුමක් අත්පත් කර දෙන කාල උදාවක් ලෙස පෙනී යයි. මේ හැඟුම මා තුළ නිදන්ගතව ඇත්තේ පුදුමාකාර බලවේගයක් ලෙසිනි.

මම ඉන් සතුටක් ලබමි. මානවයකු වීම ප්‍රාතිහාර්යයක් ලෙස මම සලකමි.”

මෙබඳු නිදසුන් අපට කොතෙකුත් හැඳින ගත හැකි වන්නේ සන්නිවේදන කුසලතා රැගත් අයගේ අපදාන අධ්‍යයනය කිරීමෙනි.

Comments