ඇෆ්ගන් යුද්ධයට පෙර ඇමරිකාව ලත් විසි වසරක කටුක අත්දැකීම | සිළුමිණ

ඇෆ්ගන් යුද්ධයට පෙර ඇමරිකාව ලත් විසි වසරක කටුක අත්දැකීම

වියට්නාම් යුද්ධයේ කටුකත්වය අත්විඳින ඇමරිකානු සෙබළු

වසර විස්සක් පුරා ඇෆ්ගනිස්තානයේ යුද්ධ කළ ඇමරිකාව පසුගියදා ඒ යුද්ධය අවසන් කරමින් පැදුරටත් නොකියා සිය රට බලා ගියේය. සැබවින්ම මෙලෙස හදිසියේ තමන් විසින් අත්පත් කර ගත් භූමිය අතහැර යෑමට ඇමරිකාව කටයුතු කළද, එහිලා ඇමරිකාවට බලපෑ ප්‍රධාන හේතුව ලෙස හඳුනා ගත හැකි වන්නේ දැරීමට අපහසු මූල්‍ය හෙවත් ‘අධික වැය’ යි. වාසනාවකට මෙන් ඇෆ්ගන් යුද්ධයේදී ජීවිත පූජා කිරීමට සිදු වූ ඇමරිකානු සොල්දාදුවන්ගේ සංඛ්‍යාව එතරම් විශාල වන්නේ නැත. එබැවින් ඇමරිකානු ජනතාවට ඇෆ්ගන් යුද්ධය නිසා සිදු වූ ‘සමාජීය තුවාල’ අවම බව පැවසිය හැකිය.

 

එහෙත් ඉතිහාසය විමසන විට පෙනී යන්නේ ඇෆ්ගන් යුද්ධයට වඩා හානිකර අත්දැකීම් ඇමරිකාවට ලබා දුන්, එමෙන්ම අවසානයේ ඇෆ්ගන් යුද්ධය මෙන්ම පරාජයෙන් අවසන් වූ තවත් යුදමය අත්දැකීමක් ඇමරිකාව සතු වන බවයි. ඒ දැනට වසර හතළිස් හයක අතීතයකට හිමිකම් කියන ‘වියට්නාම් යුද්ධයයි’.

ඇෆ්ගන් යුද්ධය සමඟ වියට්නාම් යුද්ධය සසඳන විට පෙනී යන්නේ ඒවායේ සමානකම් කිහිපයක්ම පවතින බවයි. ඇෆ්ගන් යුද්ධය මෙන්ම වියට්නාම් යුද්ධයද ඇමරිකානු භූමියෙන් බැහැර සිදු වූ අතර, වෙනත් දේශයක සිදුවන දේශපාලන ක්‍රියාදාමයකට ඇමරිකානු මැදිහත්වීම් ලෙස හමුදා සාමාජිකයන් යෙදවීම මේ අවස්ථා දෙකේදීම දැක ගත හැකිය. මේ යුද්ධ දෙකම වසර විස්සක කාලයක් පැවති අතර අවසන් වූයේ තම හමුදා සාමාජිකයන් පෙරළා යළි ඇමරිකාවට කැඳවීමෙනි. එමෙන්ම මේ අවස්ථා දෙකේදීම ඇමරිකානු හමුදා භූමිය අත්හැර ගිය පසු ඒ වෙනුවෙන් සටන් කළ පිරිස් එම භූමියේ තම පාලනය යළි ස්ථාපිත කිරීමට කටයුතු කළහ. එය වියට්නාමයේදී සමාජවාදී පාලනයක් වශයෙන් සහ ඇෆ්ගනිස්තානයේදී ඉස්ලාම් මූලධර්මවාදී පාලනයක් වශයෙන් විය. එමෙන්ම වියට්නාම් යුද්ධය අවසානයේදී එරට ජනතාවට දරුණු පශ්චාත් යුද සිදුවීම්වලට මුහුණ දීමට සිදුවූ අතර ඇෆ්ගනිස්තානයේද එවැනි සිදුවීම්වලට මාර්ගය සැකසෙමින් පවතින අන්දමක් දැක ගත හැකිය.

කෙසේ වුවද ඇෆ්ගන් යුද්ධය මෙන්ම වියට්නාම් යුද්ධයද ලෝක ඉතිහාසයේ සඳහන් වන්නේ ඇමරිකාවට පරාජය ළඟා කර දුන් යුද්ධ වශයෙනි. විශේෂයෙන්ම වියට්නාමයේදී ඇමරිකානු හමුදාවන්ට අත්විඳීමට ලැබුණු හානිය අති විශාලය. ඒ හානිය ඔවුන්ට හිමි වූයේ අවම පහසුකම් යටතේ සටන් වැදුණු වියට්නාම් ජාතිකයන් අතිනි. සැබවින්ම එය වාමාංශික මත සහිත ජනතාවට නම් වීරත්වයෙන් පිරි අතීතයකි.

වියට්නාම් සටන දෙවැනි ඉන්දු චීන සටන ලෙසින්ද හඳුන්වයි. මේ දෙවැනි ඉන්දු චීන සටනට හේතුව වන්නේ පළමුවැනි ඉන්දු චීන සටනයි. පළමුවැනි ඉන්දුචීන සටන ඇතිවන්නේ වියට්නාමය සහ ප්‍රංශය අතරයි. සැබවින්ම මෙහිදී වියට්නාමය යනුවෙන් පැවසුවද මේ සටනට දායක වන්නේ සෝවියට් රුසියාවෙන් ඇරඹි නැගෙනහිර කලාපය පුරා පැතිර ගිය සමාජවාදයේ රසය විඳි වියට්නාම් ජනතාවයි. කෙසේ වුවද එහිදී තවදුරටත් සටනට දායක වීමෙන් වැළකෙන ප්‍රංශය වියට්නාමය අත්හැර යන අතර ඒ අඩුව පිරවීමට ඇමරිකාව පැමිණෙන්නේ ධනවාදයේ පෙරගමන්කරුවා වශයෙනි.

මේ වන විට 1950 දශකය ආරම්භ වී පැවති අතර ඒ වකවානුව යනු ලෝකය තුළ ඇමරිකාව සහ රුසියාව අතර සීතල යුද්ධය ප්‍රබල ලෙසින්ම ක්‍රියාත්මකව පැවති අවධියයි. කෙසේ වුවද ඇමරිකාව වියට්නාමය තුළ සටනට පිවිසෙන්නේ හුදකලාව නොවේ. ඒ සඳහා ඇමරිකාවට දකුණු කොරියාවේ, පිලිපීනයේ, ඔස්ට්‍රේලියාවේ, නවසිලන්තයේ මෙන්ම තායිලන්තයේද ආණ්ඩුවල සහය හිමි විය. එහෙත් සඳහන් කළ යුතු විශේෂ කරුණක් වන්නේ මේ අතරින් තායිලන්තය වැනි රටවල සමාජවාදී මත දැරු ජනතාව වාමාංශික මතවාද දරමින් ධනවාදයට විපක්ෂව සටන් වැදුණු පෙරමුණට සහය දුන් බවයි.

වියට්නාම් යුද්ධය බොහෝ දෙනා හඳුනන්නේ වියට්නාමය සහ ඇමරිකාව අතර පැවති යුද්ධයක් වශයෙනි. එහෙත් සැබවින්ම මේ යුද්ධය සිදු වන්නේ වියට්නාමයේම උතුරු සහ දකුණු ප්‍රදේශ අතරය. සෙසු රටවල දායකත්වය හිමිවන්නේ එම රටවල දේශපාලන මතවාදය අනුව උතුරු හෝ දකුණු පාර්ශ්වයට සහයෝගය ලබා දීමෙනි. උදාහරණ ලෙස උතුරු වියට්නාම් පාර්ශ්වයට රුසියාව, චීනය, උතුරු කොරියාව, කාම්බෝජය, ලාඔසය මෙන්ම තායිලන්ත ජනතාවද සහය ලබා දුන් අතර දකුණු වියට්නාම් පාර්ශ්වයට ඇමරිකාව, දකුණු කොරියාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය යනාදී රටවල් සහයෝගය ලබා දුන්නේය.

ඇමරිකාව ප්‍රථමයෙන්ම මේ සටනට පිවිසෙන්නේ පහසු ජයක් අපේක්ෂා කරමිනි. එහෙත් සැබවින්ම උතුරු වියට්නාම් පාර්ශ්වයේ ශක්තිය ඔවුන් අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා බෙහෙවින් විශාල විය. 1955 වසරේ නොවැම්බර් පළමුවැනිදා එවකට ඇමරිකානු ජනාධිපති ජෝන් එෆ් කෙනඩිගෙ තීරණයකට අනුව වියට්නාමයට ගොඩබස්වන ඇමරිකානු හමුදා පරාජයේ දුර්විපාක සහ දේශපාලන බිදවැටීම් රැසක්ද සමඟ යළි ඇමරිකාවට ගොඩබසින්නේ එයින් වසර විස්සකට පසුවය. ඒ වන විට ඇමරිකාව තවත් ජනධිපතිවරු දොළොස් දෙනෙකුගේ පාලනයට නතු වී අවසන්ව තිබිණි. ඇමරිකානු දේශපාලනයේ විශේෂත්වය වන්නේ රිපබ්ලිකන් හෝ ඩිමොක්‍රටික් කුමන පක්ෂයේ ජනාධිපතිවරයකු බලයට පැමිණීයද ඇමරිකානු ආධිපත්‍ය ලෝකය තුළ ආරක්ෂා වන අන්දමේ තීරණ සංශෝධනය කිරීමට කටයුතු නොකිරීමයි.

සැප්තැම්බර් ප්‍රහාරයෙන් පසු ඇෆ්ගනිස්තානයට හමුදා යැවීමට ගත් තීරණය ඩිමොක්‍රටික් පාක්ෂික බරැක් ඔබාමා ජනාධිපති වීමෙන් පසුව වුවද වෙනස් නොකෙරුණු අතර යුද්ධය අවසන් කිරීමට තීරණය කරනු ලැබුවේ තවත් ජනාධිපතිවරුන් දෙදෙනෙකුගේ ධූර කාල තුනකට පසුවය.

ඩිමොක්‍රටික් පාක්ෂික ජෝ බයිඩ්න් යටතේ යුද්ධය අවසන් කිරීමට තීරණය කරනු ලැබූවේද ඇමරිකාව දැනට මුහුණ දෙමින් සිටින මූල්‍ය අර්බුදය හේතුවෙන් බවට වැඩි වාසි දෙමින් අනුමාන කළ හැකිය.

කෙසේ වුවද උතුරු වියට්නාමය සහ දකුණු වියට්නාමය අතර පැවති ධනවාදී - සමාජවාදී සටනට සහයෝගය දැක්වීමට පැමිණි ඇමරිකානු හමුදා අතරමං වූයේ නොසිතූ සටන් බිමකය. භූමියේ අවාසිය ඔවුන්ට ප්‍රබල පීඩා එක් කළ අතර වසර ගණනාවක් පුරා බිම් ගෙවල් හාරමින් ගරිල්ලා සටන් ක්‍රම භාවිත කළ වියට්නාම් වාමාංශික නායක ‘හෝ චි මිං’ ගෙ සාර්ථක නායකත්වය හමුවේ ඇමරිකානු හමුදාවේ අති දියුණු අවි ආයුධවලින් ලැබුණේ අවම ප්‍රයෝජන පමණක්ම විය.

මේ සටන් උතුරු සහ දකුණු වියට්නාමයේ පමණක් නොව ලාඔසය, කාම්බෝජය සහ දකුණු චීන මුහුද සහ තායිලන්ත මුහුදු කලාපය දක්වාද පැතිර ගිය අතර වසර විස්සක් ගත වී හමුදාව යළි කැඳවීමට ඇමරිකාව තීරණය කළ අවස්ථාව වන විට අති විශාල මිනිස් ඝාතන සංඛ්‍යාවක්ද වාර්තා අතරට එක්ව තිබිණි. දළ වශයෙන් දක්වන්නේ නම් වාමාංශික පාලනය පැවති උතුරු වියට්නාම් පාර්ශ්වයෙන් සිවිල් වැසියන් ලක්ෂ දෙකකට ආසන්න සංඛ්‍යාවක් මිය යන විට ඇමරිකාවේ සහය ලැබූ දකුණු වියට්නාම් පාර්ශ්වයේ සිවිල් වැසියන් ලක්ෂ හතරකට ආසන්න සංඛ්‍යාවක් මියගොස් තිබේ. උතුරු පාර්ශ්වයෙන් හමුදා සාමාජිකයන් ලක්ෂ අට ඉක්මවා මිය යන විට දකුණු පාර්ශ්වයෙන් හමුදා සාමාජිකයන් ලක්ෂ තුන ඉක්මවා මියගොස් තිබේ. මේ දත්ත ඇමරිකානු පාර්ශවයන් විසින් සිදු කරන ලද සමීක්ෂණ අනුව ලබා දෙන ලද දත්ත බවද මෙහිලා සඳහන් කළ යුතුය.

විශේෂිතම කරුණ වන්නේ මේ යුද්ධයෙන් ඇමරිකානු සෙබළුන් 58,281ක් මිය යෑමය. ඇෆ්ගන් යුද්ධයේදී මිය ගිය ඇමරිකානු සෙබළුන්ගේ සංඛ්‍යාව සඳහන් වන්නේ 2,420ක් වශයෙනි.

කෙසේ වුවද දීර්ඝ කාලයක් තිස්සේ අධික මුදලක් වියදම් කරමින් පවත්වාගෙන ගිය මේ අනවශ්‍ය යුද්ධය ඇමරිකාව තුළ දේශපාලන කුණාටුවක්ද නිර්මාණය කිරීමට සමත්ව තිබූ අතර ලෝක පොලිස්කාරයාට කිසිඳු ජයග්‍රහණයක් ප්‍රකාශ කිරීමෙන් තොරව තම හමුදා සියරටට කැඳවීමට සිදුවන්නේද එවන් පසුබිමකය. එපමණක්ද නොව යළි ඇමරිකාව බලා පැමිණි හමුදා සාමජිකයන් අතරින් වැඩි පිරිසක් නොයෙක් පශ්චාත් යුද මානසිකත්වයන් හේතුවෙන් පීඩා විඳි අතර ඒ සියල්ල මෙන්ම පනස් දහසක මරණද සමාජය තුල පාලකයන්ට එරෙහි පීඩනයක් ඇති කිරිමට සමත්ව තිබිණි.

වසර විස්සක වියට්නාම් යුද්ධය මෙලෙස අවසන් වන විට දකුණු වියට්නාමයද සමාජවාදී පාලනයට නතු වූ අතර ඒ ආශ්‍රිත ලාඔසය මෙන්ම කාම්බෝජයද සමාජවාදී රටවල් බවට පත් විය. එහෙත් ඒ සමඟ තුන්වැනි ඉන්දු චීන යුද්ධය ආරම්භ වූයේ එම රටවල තවත් මහා මනුෂ්‍ය ඝාතන වාර්තා කරමිනි. ඇෆ්ගනිස්තානය සම්බන්ධව අපට බය හිතෙන්නේ එකී පැරණි අත්දැකීම් සිහිවන විටය.

කෙසේ වුවද යුද්ධයක් අනුස්මරණය කිරීම කනගාටුදායක කරුණක් බව කිව යුතුය. යුද්ධයක් අවසන් වීම සතුටට කරුණක් වුවද ඉතිහාසයේ කිනම් හෝ වකවානුවක තම බලය වෙනුවෙන් අන්‍ය දේශසිමා වෙත බලහත්කාරයෙන් කඩා වදිමින් තමන්ගේ නීතිය ස්ථාපිත කිරීමට කැස කැවූ අඳුරු ඉතිහාසයන් කිසිසේත් සුන්දර වන්නේ නැත. එහෙත් මේ අඳුරු අත්දැකීම් පාදක කර ගනිමින් හෝ ලෝකයේ තවත් කොනක යුද ගිනිදැල් ඇවිළීමට බලවතුන් කටයුතු නොකරන්නේ නම් එයම මේ පැරණි යුද තුවාලවලට ලබා දෙන හොඳම ඔසුව බවට පත්වනු ඇත.

 

Comments