
'ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීම දැන් අභියෝගාත්මක සටනක්ව තිබේ. ශ්‍රී ලංකාවට එකී සටන දැනෙන්නේ දැඩි අසීරුතාවන් සහිතවය. ඒ වෙනුවෙන් සුබපැත්මේ තුඩුවෙන් පැමිණෙන දකුණු අප්‍රිකානුවෝ ගෙන එන්නේ කවරාකාරයේ පණිවුඩයක් වේවි ද? මේ ඒ සම්බන්ධ පෙර, අපර සම්බන්ධතා ගලපා බැලීමකි.'
 මීළඟ ලෝක කුසලාන තරගාවලියේ මුල් ස්ථාන අට අතරට ඇතුළත්වීම සඳහා යන ගමනේ දී මෙම වසර තුළ බටහිර ඉන්දීය කොදෙව්, බංග්ලාදේශය,එංගලන්තය,ඉන්දියාව යන රටවලට එරෙහිව එක්දින ජගත් තරග 12 ක ට මුහුණ දී සිටින ශ්‍රී ලංකාව ඉන් තරග 09 ක් පරාජයවී ජයගෙන ඇත්තේ තරග දෙකකින් පමණි. පැවැති තරග අතරින් එක තරගයක් තීරණයක් නොමැතිව අවසන් විය.
මීළඟ ලෝක කුසලාන තරගාවලියේ මුල් ස්ථාන අට අතරට ඇතුළත්වීම සඳහා යන ගමනේ දී මෙම වසර තුළ බටහිර ඉන්දීය කොදෙව්, බංග්ලාදේශය,එංගලන්තය,ඉන්දියාව යන රටවලට එරෙහිව එක්දින ජගත් තරග 12 ක ට මුහුණ දී සිටින ශ්‍රී ලංකාව ඉන් තරග 09 ක් පරාජයවී ජයගෙන ඇත්තේ තරග දෙකකින් පමණි. පැවැති තරග අතරින් එක තරගයක් තීරණයක් නොමැතිව අවසන් විය.
මේ අනුව ලෝක කුසලාන සුපර් ලිග් වටයේ කණ්ඩායම් 13 අතරින් ශ්‍රී ලංකාව දැනට ලකුණු 22 ක් ලබාගනිමින් පසුවනුයේ 11 වැනි ස්ථානයේ ය. ශ්‍රී ලංකාවට ඉදිරියෙන් අංක 10 ස්ථානයේ රැඳී ඇත්තේ දකුණු අප්‍රිකාව ය. ඔවුන් ලකුණු 24ක් ලබා සිටින නමුත් තවමත් මුහුණදී ඇත්තේ තරග හයකට පමණකි.
මෙවන් පසුබිමක් මත තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියක් හා තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියක් වෙනුවෙන් දකුණු අප්‍රිකානුවෝ ශ්‍රී ලංකාවේ සංචාරය කරති. එම සංචාරය ඇරැඹෙන්නේ සැප්තැම්බර් මස 02 වැනි දා සිට ය.
මේ අනුව දෙරට අතර පැවැත්වෙන තරගාවලියේ දී වඩා වැදගත් වනු ඇත්තේ තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය බව පැවසීම ගැටලුවක් නොවේ.
එහෙත් විස්සයි විස්ස තරගාවලිය ද මෙම වසර අවසන පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා හොඳ පෙරහුරුවක් වනු නිසැක ය.
”විශේෂයෙන්ම විස්සයි විස්ස ලෝක කුසලාන අත ළඟ තිබියදී උප මහාද්වීපික කලාපයේ තරගකාරී කණ්ඩායමක් සමග ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමිවීම ගැන සතුටුයි. ඒ ගැන මම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ස්තුති කරනවා.” යැයි කියන්නේ දකුණු අප්‍රිකා වැඩ බලන ක්‍රිකට් විධායක පොලේට්ස් මොසේකි ය.
එහෙත් සංචාරයේ එක්දින තරගාවලිය සඳහා ඔවුන් තම ප්‍රබල ක්‍රීඩකයින් තිදෙනෙකු වන ක්වින්ටන් ඩි කොක්, ඩේවිඩ් මිලර් හා ලුන්ගි එන්ගිඩි යන ක්‍රීඩකයින් විවේක ගන්වා ඇත. ඩේවිඩ් මිලර් ආබාධයක් හේතුවෙන්ද ලුන්ගි එන්ගිඩි පෞද්ගලික හේතුවක් මතද සහභාගී නොවන නමුත් විස්සයි විස්ස කණ්ඩායමට ඔවුන් නම්කර තිබේ.
මෙහි වඩාත්ම ස්විශේෂී සිදුවීම සුදු පන්දු ක්‍රීඩාව සඳහා (එක්දින හා විස්සයි විස්ස) දකුණු අප්‍රිකානු පිලේ සිටින සුපිරිතම ක්‍රීඩකයෙකු වන දැනට 37 වියෙහි පසුවන ෆැෆ් ඩු ප්ලේසිස් සංචාරක පිලට ඇතුළත් නොවීමය. පසුගිය පෙබරවාරි මාසයේ ඔහු ටෙස්ට් පිටියෙන් සමු ගත්තේ එක්දින හා විස්සයි විස්ස තරග සඳහා වැඩි අවධානයක් ලබාදීම පිණිසය.
”එළඹෙන වසර දෙකේ විස්සයි විස්ස ලෝක කුසලාන දෙකක් පැවැත්වෙනවා. මේ නිසා මගේ වැඩි අවධානය එම තරග රටාවටයි. මට අවශ්‍යයි ලොව පුරා පැවැත්වෙන මෙම තරග හැකිතාක් ක්‍රීඩා කරන්නට.”ටෙස්ට් පිටියෙන් සමුගනිමින් ඔහු ප්‍රකාශ කර තිබුණේ ය.
පසුගිය අයි.පි.එල්.තරගාවලිය කෝවිඩ් තත්ත්වය මත අතරමග නතර කරන විට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරමින් ඔහු ලකුණු 320 ක් රැස්කර සිටියේ ඉනිම් 07 තුළ ය. එමෙන්ම ඔහු අවසන් වරට සහභාගිවූ විස්සයි විස්ස තරගාවලියවූ පසුගිය දෙසැම්බර් මස එංගලන්තයට එරෙහිව පැවති තරගාවලියේ දී අර්ධ ශතක දෙකක් ද රැස් කර තිබිණි.
”අපි ප්ලේසිස් ගැන කතා වුණා. එත් පසුව තීරණය කළේ කලින් පැවති තරගමාලාවල ක්‍රීඩා කළ ක්‍රීඩකයින්ට උප මහාද්වීපික තණතීරුවල තරග වැදීමේ අත්දැකීම් ලබාගන්න අවස්ථාව ලබා දෙන්නයි.” දකුණු අප්‍රිකානු ක්‍රිකට් බලධාරියෙකු වන වික්ටර් එම්පිට්සාන් පවසා තිබේ.
”කොහොම වුණත් අපි ඔහුව විස්සයි විස්ස ලෝක කුසලාන කණ්ඩායමට තෝරා ගැනීම ගැන සලකා බලනවා.” ඔහු වැඩිදුරටත් පවසා ඇත.
ශ්‍රී ලංකාව පැත්තෙන් බලන කල මේ ලැබී ඇත්තේ හොඳ අවස්ථාවකි. තරගමාලාව තමනට සුපුරුදු පරිසරයක පැවැත්වීම ,දකුණු අප්‍රිකා කණ්ඩායමේ පළපුරුදු ක්‍රීඩකයින් සිව් දෙනෙකු නොමැතිවීම වැනි කරුණු මෙහි දී තම වාසියට යොදාගත හැකිවීම ඊට හේතුව ය.
ලෝක කුසලාන සුපර් ලිග් වටයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන පස්වන තරගාවලිය මෙය වන අතර ශ්‍රී ලංකාව පසු වන්නේ වැඩි ජයග්‍රහණ ගණනක් ලබාගත යුතු අවස්ථාවකය. මේ මොහොත වනවිට සුපර් ලිග් වටයේ කණ්ඩායම් ලකුණු ලබා ඇත්තේ එංගලන්තය 95, බංග්ලාදේශය 80,ඔස්ට්‍රේලියාව 60, ඉන්දියාව 49, පාකිස්තානය 40, බටහිර ඉන්දීය කොදෙව් 40, අයර්ලන්තය 35,නවසීලන්තය 30, ඇෆ්ගනිස්තානය 30, දකුණු අප්‍රිකාව 24, ශ්‍රී ලංකාව 22, නෙදර්ලන්තය 20, සිම්බාබ්වේ 10 ලෙස ය. යම් හෙයකින් දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වීමට නියමිත තරග තුනම ජයගැනීමට ශ්‍රී ලංකාවට හැකිවුවහොත් ප්‍රසාද ලකුණු 30 ක් හිමිවන අතර එවිට දැනට ලබාගෙන ඇති ලකුණු 22 ද සමඟින් මුළු ලකුණු ගණන 52 ක් වනු ඇත.
මෙහිදී යම් ප්‍රශ්නයකට ඇත්තේ ශ්‍රී ලංකාව තරග වැඩි ගණනක් ක්‍රීඩා කර තිබීමය. ශ්‍රී ලංකාව හැරුණු විට තරග 10 කට වැඩි ගණනක් ක්‍රීඩා කර ඇති රටවල් වන එංගලන්තය, බංග්ලාදේශය හා අයර්ලන්තය වැනි රටවල් අතරින් මේ වනවිට එංගලන්තය හා බංග්ලාදේශය ඉදිරියෙන් සිටී.
මේ අනුව ශ්‍රී ලංකාවට දකුණු අප්‍රිකාව හා පැවැත්වෙන තරගාවලියෙන් පසු ඉතිරිව ඇත්තේ නවසීලන්තය,සිම්බාබ්වේ, හා ඇෆ්ගනිස්තානය යන රටවල් හා තරග වැදීම පමණි.
මේ අතරින් නවසීලන්තය දැනට ඉතාමත් ප්‍රබල කණ්ඩායමක් වන අතර තරගාවලිය පැවැත්වෙන්නේද නවසිලන්තයේ දී ය. එබැවින් දකුණු අප්‍රිකාව සමග වන තරගාවලිය ලෝක කුසලාන සුපර් ලීග් වටයේ ශ්‍රී ලංකාව පාර්ශ්වයෙන් ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයකි.
මේ වනවිට දෙරට අතර එක්දින තරග 77 ක් පවත්වා ඇති අතර ඉන් දකුණු අප්‍රිකාව තරග 44 ක් ජයගෙන තිබේ. ශ්‍රී ලංකාව ජයගෙන ඇත්තේ තරග 31 ක් පමණි. එක තරගයක් තීරණයකින් තොරව අවසන්වී තවත් තරගයක් දෙපිලේ ලකුණු සමවීමෙන් නිමාවී තිබේ.
ශ්‍රී ලංකාව අවසන් වරට තරගයකින් දකුණු අප්‍රිකාව පරාජය කර ඇත්තේ 2018 වසරේ දී ශ්‍රී ලංකාවේ දී ය. ඉන් පසු දෙරට අතර පවතී තරග හයම අඛණඩව ජයගෙන ඇත්තේ දකුණු අප්‍රිකා කණ්ඩායමයි.
එමෙන්ම 2013 ශ්‍රී ලංකාවේ දී සටහන් වූ 4-1 වූ තරගාවලි ජයග්‍රහණයෙන් පසු දකුණු අප්‍රිකාව 2014 සිට දෙරට අතර ශ්‍රී ලංකාවේ මෙන්ම දකුණු අප්‍රිකාවේ පැවති තරගමාලා සියල්ල ජයගෙන ඉදිරියට පැමිණ තිබේ.
විස්සයි විස්ස තරග බිමේද දකුණු අප්‍රිකාව සිටිනුයේ ඉදිරියෙනි. දෙරට අතර පැවත්වී ඇති තරග 13 න් තරග 07 ක ජය ඔවුන් සතුය. ශ්‍රී ලංකාව ජයගෙන ඇත්තේ 05 ක් පමණි. ලකුණු සමවී නිමා වූ තරග ගණන එකකි.


 
 









