මගේ නොවන අපේ වුණ ඩග් දිනූ රන් පදක්කම | සිළුමිණ

මගේ නොවන අපේ වුණ ඩග් දිනූ රන් පදක්කම

 

“මගේ මේ ජයග්‍රහණය හිමි යළි මට නැඟිටින්න උදවු කළ පවුලේ උදවියටයි. ඒ වෙනුවෙන් මට උපකාර කළ සෙසු හැම දෙනාටමයි.”

'ගිම්හාන ඔලිම්පික් උළෙල සේ ම පැරාලිම්පික් ක්‍රීඩා උළෙලටත් තරග වැදී නමක් දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බොහෝ දෙනෙක් ඉන්නවා. ඔවුන්ගේ ජයග්‍රහණය පසුපස තිබෙන්නේ අගය කළ යුතු ධෛර්ය සම්පන්න කතා. මේ තවත් එවැනි ධෛර්ය සම්පන්න ක්‍රීඩකයකු ගැන යි.'

එක්සත් ජනපදයේ ඩග් හේයර් යොවුන් වියේ දී අනතුරකට මුහුණ දුන්නා. ඒ පිහිනුම් තටාකයක දී කිම්දුම් තරගක් වෙනුවෙන් ක්‍රිඩා කළ අවස්ථාවේ. එම අනතුරෙන් බරපතළ තුවාල ලැබූ ඩග් ඉන් ආබාධිත තත්ත්වයට පත් වුණා.

“අම්මේ, දැන් මම පිහිනුම් තරග ඉසව්වලට සහභාගී වෙලා ඉවරයි.” ඩග් දුකෙන් කිව්වා.

“පුතා, බය වෙන්න එපා. ඔයාට නැවත තරග කරන්න අපි උදවු කරනවා.”යි අම්මා පැවසුවා.

අම්මා කියූ කතාවට ගෙදර හැමෝමත් තම හිස් වනා එකඟත්වය පළ කළා. ඔවුන් හැමෝටම ඒ ගැන හොඳ විස්වාසයක් තිබුණා.

පවුලේ හැම දෙනාම ඩග්ගේ ආබාධිත තත්ත්වය අඩු කරන්න දායක වුණා. තාත්තා උපකාර කළේ ඔහුගේ ව්‍යායාම අභ්‍යාසවලට යි. අයියා බර ඉසිලීමේ ව්‍යායාමවලට උදවු කළා. අම්මා නිතරම ඩග්ව දිරිමත් කළා. අසල්වාසීන් පවා නිකං හිටියේ නෑ. ඔවුන් හැකි හැමවිටම ඔහුගේ දුක සැප සොයා බැලුවා. ඒ නිසා කිසි විටෙකත් ඩග් තනි වුණේ නැහැ. ඔහුට ආබාධිත වුණා කියා කිසිදු තනි වුණ බවක් දැනුණෙත් නෑ.

ඔය විධියට කාලය ගෙවුණා ටික කාලයකට පස්සේ ඩග් එක්සත් ජනපද ආබාධිත ක්‍රීඩකයන්ගේ කණ්ඩායමට සුදුසුකම් ලැබුවේ අප්‍රතිහත උත්සහය නිසයි. ඒ අනුව ඔලිම්පික් උළෙලට පසු පැවැත්වෙන පැරාලිම්පික් ක්‍රීඩා උළෙලට ඩග් තරග කරන්න සුදුසුකම් ලැබුවා. එහි දී ඔහු ආබාධිත ක්‍රීඩකයන් වෙනුවෙන්ම පැවැත්වුණ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනාගත්තා.

ජයග්‍රහණයෙන් අනතුරුව ඩග් මාධ්‍ය ඇමැතුවා. සතුටු කඳුලින් දෙනෙත් පුරවාගෙන ඔහු මාධ්‍යයට මෙහෙම කිව්වා.

“මගේ මේ ජයග්‍රහණය හිමි යළි මට නැඟිටින්න උදවු කළ පවුලේ උදවියටයි. ඒ වෙනුවෙන් මට උපකාර කළ සෙසු හැම දෙනාටමයි.” රන් පදක්කම ගෙල ලා ගෙන කඳුළු පිරි දෙනෙතින් ඩග් කිව්වා.

පවුල, සමාජය, උත්සාහය, අධිෂ්ඨානය බොහෝ ජයග්‍රහණ ගෙන එනවා ඩග්ගේ කතාවෙන් තේරුම් යන්නේ, තේරුම් ගත යුත්තේ එයයි.

 

Comments