ප්‍රජාතන්ත්‍රවාදයේ පෙරැළීම ක්‍රීඩාවට බලපාන්නේ කොහොම ද? | සිළුමිණ

ප්‍රජාතන්ත්‍රවාදයේ පෙරැළීම ක්‍රීඩාවට බලපාන්නේ කොහොම ද?

ලොව ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් අතරින් පවතින ආණ්ඩු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයෙන් තොරව පෙරළා වෙනත් කණ්ඩායම් බලය අල්ලාගත් අවස්ථා බොහෝවිට දැකගත හැකි වූයේ පාකිස්තානයෙනි.

අපට මතක ආකාරයට හැත්තෑව දසකය අග අලිභූතෝ අගමැතිවරයා ගේ රජය හිටිහැටියේ පෙරළා දමා සියා උල් හක් හමුදාපතිවරයා පාකිස්තානයේ රාජ්‍ය බලය අල්ලා ගත්ත් ය. ඒ අයුරින්ම 1999 නවාෂ් ෂරිෆ්ගේ රජය එක රැයකින් පෙරළා දැමූ ෆර්වේෂ් මුෂාරෆ් හමුදා ප්‍රධානියා බලය අල්ලා ගැනීම ද ඊට කදිම උදාහරණයකි.

මුෂාරෆ් බලය අල්ලා ගන්නා අවස්ථාවේ පාකිස්තාන් ක්‍රිකට් කණ්ඩායම සිටියේ වසීම් අක්‍රම්ගේ නායකත්වය යටතේ සාජා හි දී ශ්‍රී ලංකාව හා කොදෙව් කණ්ඩායම සමඟ තුන් කොන් ක්‍රිකට් තරගාවලියකට සහභාගී වෙමිනි. එහෙත් එසේ පාලන බලය කෙසේ අත්පත් කරගත්ත ද කිසිදු පාලකයෙක් එරට ක්‍රීඩාවට විශේෂයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට අත පෙව්වේ නැත.

මෙම හමුදා කුමන්ත්‍රණයකින් බලය අත්පත් කරගත් සියා උල් හක් හා ෆර්වේෂ් මුෂාරෆ් දෙදෙනා ද හොඳ ක්‍රිකට් ප්‍රේමින් වූ හ. වත්මනේ ඒ සම්බන්ධයෙන් කතා කිරීමට සිත් වූයේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ නවතම සාමාජිකයින්ගෙන් එක් රටක් වූ ඇෆ්ගනිස්තානය ද වත්මන්හි මෙවන් සිදුවීමකට මුහුණ දී සිටී. ඒ තලේබාන් පාලනය විසින් යළි එරට ආණ්ඩු බලය අල්ලා ගැනීම සමඟිනි.

“ඔවුන් ක්‍රිකට් ක්‍රීඩාවට සහය දැක්වීමට සුදානම්. ඇෆ්ගනිස්තානයේ ක්‍රිකට් ක්‍රීඩාව හොඳින් කරගෙන යනවා. අපේ කණ්ඩායම පාකිස්තානය සමඟ වන එක්දින තරගාවලියට සහභාගිවන්න පුහුණු වෙමිනුයි සිටින්නේ. ඒ තරගාවලිය අනුමතයි.

රට තුළ වෙනස්වීම් සිදුවෙමින් පවතින අවස්තාවක් නිසා ගුවන් ගමන් සම්බන්ධයෙන් අපහසුතාවයක් තිබුණත් ගුවන් යානයක් හමුවූ සැනින් ශ්‍රී ලංකාව බලා පිටත්වීමට අපි සුදානම්. අපේ ක්‍රීඩකයින් කාබුල් නුවර සිට තරගාවලීය සඳහා සුදානමින් පසුවනවා.

එ වගේම තරගාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා හා පාකිස්තාන් ක්‍රිකට් ආයතන දැනුවත් කර තිබෙනවා. තරගාවලිය වෙනුවෙන් සත්කාරකත්වය පිරිනැමීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයටත් ස්තුතිය පිරිනමනවා.” මෙසේ පවසන්නේ එරට ක්‍රිකට් ප්‍රධාන විධායක හමීඩ් සින්වාරි ය.

ඒ අනුව තලේබාන් පාලනය සැප්තැම්බර් 01 දින සිට ශ්‍රී ලංකාවේ හම්බන්තොට දී පැවැත්වීමට නියමිත ඇෆ්ගනිස්තාන් -පාකිස්තාන් තරගාවලියට බාධාවක් නිර්මාණය කර නැත. දැනට එරට පවතින ගුවන් ගමන් අපහසුතාවය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා ගුවන් යානයක් නොලැබුණහොත් අසල්වැසි පාකිස්තානයට ගොස් ඩුබායි හරහා ශ්‍රී ලංකාවට පැමිණීමේ සැලසුමක් ද ඔවුන් සතුව තිබේ.

“ක්‍රිකට් සම්බන්ධ තලේබාන් පාලකයන්ට කිසිම ගැටළුවක් නෑ, ඔවුන් අපට කියා සිටියා අපේ වැඩ කටයුතු සැලසුම් කර ඇති ලෙස කරගෙන යන ලෙස.” එරට ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය මෙහෙයුම් ප්‍රධානි හික්මාල් හසන් පවසයි.

මේ වනවිට ලැබෙන අලුත්ම පුවතකට අනුව කියැවෙන්නේ කලින් එරට ක්‍රිකට් ආයතන සභාපතිවරයෙකුව සිටි අශිෂුල්ලා ෆස්ලි තාලිබාන් පාලනය යටතේ එරට නව ක්‍රිකට් සභාපතිවරයා ලෙස පත්ව ඇති බව කි. එමෙන්ම 'ඉන්දියා ටුඩේ' පුවතකට අනුව පැවසුණේ එරට ක්‍රිකට් ක්‍රීඩකයින් හා පරිපාලකයින් පසුගිය දා තලේබාන් නියෝජිතයින් හමුවී ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙනයාම සම්බන්ධයෙන් සාකච්ඡාකර ඇති බව ය. එරට ක්‍රිකට් ක්‍රීඩාව ඇරඹුවේ තම පාලනය යටතේ බවත් එහි ඉදිරි දියුණුව සඳහා තම සහයෝගය හිමිවන බවත් තලේබාන් දේශපාලන කාර්යාලයීය සාමාජිකයෙකු වන අනාස් හඛානි පවසා තිබිණි.

කෙසේ නමුත් පසුගිය සතියේ එරට සුපිරි පන්දු යවන්නා වන රෂිඩ් ඛාන් එංගලන්තයේ සිට සුවිශේෂී ප්‍රකාශයක් කර තිබුණේ ය. ඔහුගේ එම ආයාචනය කෙරෙහි ලොව අවධානය යොමුවී තිබුණේ ය.

ඉන් ප්‍රකාශ කෙරුණේ තම රට අනතුරේ වැටී ඇති බවත් දහස් ගණන් අහිංසක ජනයා, කාන්තාවන් හා දරුවන් දිනෙන් දින හිංසනයට ලක්වන බවය. මෙම අනතුරෙන් තම රට විනාශවීමට ඉඩ නොතබන ලෙසත් ඔහු ලෝක නායකයින් හමුවේ ආයාචනය කර තිබිණි.

කෙසේ නමුත් ඔවුන්ගේ කාන්තා ක්‍රිකට් බොහෝවිට තාලිබාන් පාලනය යටතේ නතරවීමට ඉඩ ඇත.හමීඩ් සින්වාරිට අනුව මේ වනවිට කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන් 25 දෙනෙකු හට කොන්ත්‍රාත් පිරිනමා ඇති නමුත් කලින් පැවති තලේබාන් පාලනය යටතේ කාන්තා අධ්‍යාපනය පවා තහනම් කෙරුණේ ය.

කෙසේ නමුත් ඉස්ලාමීය නීතියට අනුව කාන්තාවන්ගේ ගෞරවය සුරැකෙන අයුරෙන් රට පාලනය කරන බව මෙවර ඔවුන් පවසා තිබේ.

” මට හිතෙන්නේ ඔවුන් කාන්තා ක්‍රිකට් නතර කරාවි'' මේ ඔවුන්ගේ ක්‍රිකට් ප්‍රධාන විධායකවරයා දරණ මතය ය.

”අනාගතය ගැන මට කිසිවක් කිව නොහැකියි. කාන්තා ක්‍රිකට් නතර කිරීමට ආණ්ඩුව තීරණය කළහොත් අපට එය නතර කිරීමට සිදුවේවි.” බී.බී.සී. පුවත් සේවයේ ක්‍රීඩා අංශය වෙනුවෙන් අදහස් දක්වමින් ඔහු කියා තිබිණි.

මේ අතර ජගත් ක්‍රිකට් කවුන්සිලයද මේ සම්බන්ධයෙන් තම අවධානය යොමු කර තිබේ. හිටපු ඕස්ට්‍රේලියා කණ්ඩායමේ නායිකා ජගත් ක්‍රිකට් සමුළු කාන්තා කමිටු සාමාජිකා ලීසා ස්ටලේකර් සිටිනුයේ ඇෆ්ගන් කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව නවත්වන්නේ නම් දැඩි කණසල්ලකිනි.

“එහි කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට කුමක්ද සිදුවෙයිද කියා මට ජගත් ක්‍රිකට් සමුළුවෙන් දෑන ගැනීමට ලැබී නැහැ නමුත් ඇෆ්ගනිස්තානයේ සිදුවෙමින් පවතින දේ ගැන මම පෞද්ගලිකවම කණගාටු වනවා.” ඈ කියයි.

කලින් ලැබුණු පුවතකින් කියවුනේ දැනට විදේශයක සිටින ඇෆ්ගනිස්තාන් කාන්තා පාපන්දු කණ්ඩායමේ හිටපු නායිකා කලිඩා පෝපල් එම කණ්ඩායමේ ක්‍රීඩිකාවන් සම්බන්ධ සමාජ මාධ්‍ය ජාලා විස්තර සියල්ල වසාදමා ඇති බව ය. ඒ තාලිබාන්වරුන් ක්‍රීඩිකාවන් හඳුනා ගැනීම වැළක්වීමේ අදහසිනි. තවද තම අනන්‍යතාව රහසක් ලෙස තබා ගන්නා ලෙසද ඇය ඇෆ්ගනිස්ථානයේ සිටින ක්‍රීඩිකාවන්ගෙන් ඉල්ලා ඇත.

එමෙන්ම වෙනත් කාන්තා ක්‍රීඩිකාවන්ද තම ආරක්ෂාව වෙනුවෙන් තම සමාජ මාධ්‍ය ජාලා ගිණුම් අක්‍රිය කිරීමේ උත්සාහයක නිරත වන බව ද දැනගන්නට තිබිණි. එරට හිටපු පැසිපන්දු නායිකාවක වන අස්ගාරි ට්විටර් පණිවිඩයක් මගින් එක්සත් ජනපද ඔලිම්පික් හා පැරා ඔලිම්පික් කමිටුවලට මෙන්ම එක්සත් ජනපද පැසිපන්දු සංගමයට හා ඇෆ්ගනිස්තානයේ එක්සත් ජනපද තානාපතිවරයාට දන්වා සිටින්නේ ඇෆ්ගනිස්තානයේ කාන්තා ක්‍රීඩිකාවන්,පුහුණුකරුවන් මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ද කඩිනමින් මුදවාගන්නා මෙන් ය.

මේ අතර එරට කාන්තා පාපන්දු ක්‍රීඩාව ව්‍යාප්ත කිරීමට සම්බන්ධවීම හේතුවෙන් තමනට දඬුවම් හිමිවනු ඇතැයි බියට පත්ව සිටින එරට ඇතැම් පාපන්දු නිලධාරින් මේ වනවිට ඉන්දියාවේ රැකවරණ පතන බව ද ප්‍රකාශිත ය.

“තලේබාන් සාමාජිකයන් තුළ කාන්තාව ක්‍රීඩාවේ යෙදීම සම්බන්ධයෙන් ඇත්තේ ක්‍රෝධයක්.” එවන් එක නිලධාරියෙකු පවසා තිබිණි.

“පසුගිය වසර හත තුළ එරට කාන්තා පාපන්දු ක්‍රීඩාව දියුණු කිරීමට ගත් උත්සාහය නිසා ඇෆ්ගනිස්තාන් පාපන්දු නිලධාරින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් පසුවන්නේ දැඩි ජීවිත අවධානමකින්. අපි ඒ ගැන වහා ක්‍රියාත්මක විය යුතුයි.” මෙසේ පවසනුයේ දිල්ලිහි පාපන්දු සභාපති සහ හිටපු ජගත් පාපන්දු සංගම් කලාපිය ප්‍රධානියෙකු වන ශාජි ප්‍රභාකරන් ය.

මේ සියලු තත්ත්වයන් සමෝධානික කරද්දී ඇෆ්ගනිස්ථානයේ ක්‍රීඩාවට සිදුවන්නේ කුමක් ද යන්න තේරුම් ගත නොහැකි උභතෝකෝටිකයක් බවට පත්කර ඇතිබවනම් කිවයුතු ය.

 

Comments