දක්ෂයින් රැසක් කලඑළි බැස්ස ශ්‍රී ලංකා ක්‍රිකට් - ඩයලොග් විස්සයි 20 | සිළුමිණ

දක්ෂයින් රැසක් කලඑළි බැස්ස ශ්‍රී ලංකා ක්‍රිකට් - ඩයලොග් විස්සයි 20

'වගකීම්, වගවීම් එළි දැක්වුණු බලාපොරොත්තු, නැවුම් සිහින එක්තැන් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් - ඩයලොග් විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය යළි සිහිපත් කරවිය යුතු දක්ෂතා මතුවූවකි. මේ ඒ් සම්බන්ධයෙන් 'ක්‍රීඩා' තබන සටහනකි.'

ශ්‍රී ලංකා පිල සහ සංචාරක දකුණු අප්‍රිකානු පිල අතර වන ක්‍රිකට් තරගාවලියට පෙරහුරුවක් මෙන් ම මෙරට දේශීය ක්‍රිකට් පිටියේ දස්කම් දැක්වූ ක්‍රීඩකයන්ට අවස්ථාවක් ලබා දෙනු පිණිස සීමා සහිත ඩයලොග් ආසියාට සමූහයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලැබූ ආරාධිත පන්දුවාර 20-20 ක්‍රිකට් තරගාවලිය නිමා වූයේ දසුන් ශානකගේ නායකත්වය යටතේ ග්‍රේස් පිල අපරාජිතව ශූරතාව හිමි කර ගනිමිනි.

මුළු ලොව ම කොවිඩ් වසංගතය හමුවේ දැඩි අසීරු තත්ත්වයකට පත්ව සිටිය දී වුව ද ලොව පුරා ක්‍රීඩා තරගාවලි රැසක් පැවැත්වීමට ජාත්‍යන්තර ක්‍රීඩා සංගම් සහ දේශීය ක්‍රීඩා සංගම් කටයුතු කරමින් සිටී. එවැනි තත්ත්වයක් හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් සහ ඩයලොග් එකතුවෙන් ජෛව ආරක්ෂක බුබුළක් යටතේ සියලු සෞඛ්‍යාරක්ෂිත මාර්ගෝපදේශයන් යටතේ මෙම විස්සයි 20 තරගාවලිය පැවැත්වීම විශේෂයෙන් කැපී පෙනිණි.

මෙම තරගාවලියට කණ්ඩායම් 4 ක් ක්‍රීඩා කළ අතර, දසුන් ශානකගේ නායකත්වය යටතේ ග්‍රේස් පිල (SLC Greys) එක්වූ අතර, අශාන් ප්‍රියංජන්ගේ නායකත්වය යටතේ ග්‍රීන්ස් (SLC Greens) පිල තරගාවලියටත් එක්විය.

දිනේෂ් චන්දිමාල් ගේ නායකත්වය යටතේ රෙඩ්ස් පිලත් (SLC Reds), ධනංජය සිල්වා ගේ නායකත්වය යටතේ බ්ලූස් පිලත් (SLC Blues) මෙම තරගාවලියට තරග වැදිණි.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් පිල නියෝජනය කරන වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර, භානුක රාජපක්ෂ, කුසල් ජනිත් පෙරේරා ඇතුළු ක්‍රීඩකයන් කිහිප දෙනෙක් මෙම තරගාවලියට එක් නොවුණු අතර, කොවිඩ් 19 රෝගයට ගොදුර වීම නිසා ක්‍රීඩකයන් තිදෙනකුටත්, ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් වීම හේතුවෙන් තවත් ක්‍රීඩකයන් පිරිසකටත් මෙම තරගාවලිය අහිමි විය.

ලීග් ක්‍රමයට පැවැති පළමු වටයේ දී එක් පිලකට තවත් පිලක් සමඟින් තරග 2 ක් බැගින් ක්‍රීඩා කිරීමට අවස්ථාව සැලසී තිබිණි. පළමු වටයේ දී අපරාජිත ව පසුවෙමින් ලකුණු සට-

හනේ පළමු තැන හිමි කර ගත් ග්‍රේස් පිල (SLC Greys) සහ ලකුණු සටහනේ දෙවැනි තැනට පත් රෙඩ්ස් පිලත් (SLC Reds) අවසන් තරගයට සුදුසුකම් ලැබීය. සියලු තරග පල්ලෙකැලේ ජා-ත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.

අවසන් තරගයේ දී රෙඩ්ස් පිල (SLC Reds) ලකුණු 42 කින් පරදවමින් ශූරතාව දිනා ගැනීමට ග්‍රේස් පිල (SLC Greys) සමත් විය. එහි දී මිනෝද් භානුක, දසුන් ශානක සහ නුවනිදු ප්‍රනාන්දු ගේ වැඩි දායකත්වයෙන් යුතු ව ඔවුන් ලකුණු 201ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රෙඩ්ස් පිලට (SLC Reds) සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 159 ක් පමණි. පන්දු 51 ක දී ලකුණු 74 ක් රැස් කළ ආරම්භක පිතිකරු මිනෝද් භානුක අවසන් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.

ශ්‍රී ලංකා එක්දින සහ 20-20 ක්‍රිකට් පිලේ නායකත්වය දරන දසුන් ශානක පිත්තෙන් දස්කම් දක්වමින් වැඩිම ලකුණුලාභී පිතිකරු වශයෙන් මෙම තරගාවලියේ වීරයා සම්මානය දිනා ගත්තේ ය. පිතිකරුවන් අතුරින් ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට නවකයකු ලෙසින් එක්ව පසුගිය තරග සංචාරවල දී ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට එක්වීමට අවස්ථාවක් නොලැබුණු වමත් පිතිකරු කමිඳු මෙන්ඩිස් දැක්වූ දස්කම් විශේෂයෙන් කැපී පෙනිණි.

තවද පසුගිය එංගලන්ත සහ ඉන්දීය තරගාවලි දෙකේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට එක්වීමට අවස්ථාවක් නොලැබුණු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයකු වූ දිනේෂ් චන්දිමාල් නැවතත් ලකුණු අතරට පැමිණීමට සමත් වීම ද විශේෂය. පැතුම් නිශ්ශංක, සදීර සමරවික්‍රම, අවිෂ්ක ප්‍රනාන්දු, ධනංජය ලක්ෂාන්, ඕෂධ ප්‍රනාන්දු, චරිත් අසලංක, අශේන් බණ්ඩාර, මිනෝද් භානුක, නුවනිදු ප්‍රනාන්දු, ළහිරු මධුසංක, ළහිරු උදාර, කමිල් මිෂාර සහ සහන් ආරච්චිගේ වැනි ශ්‍රී ලංකා වරම් ලැබූ සහ නොලැබූ පිතිකරුවන් සුපුරුදු රිද්මය කරා පැමිණි ආකාරයක් මෙම තරගාවලියේ දිස්වීම වඩා සුවිශේෂී කරුණු ය.

ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතයට පන්දු යවන්නකු වශයෙන් දායකත්වයක් දරනු ඇතැයි විශ්වාසය පළ කළ හැකි අංකුර ක්‍රීඩකයකු වන හිමේෂ් රාමනායක වැඩිම කඩුලුලාභී පන්දු යවන්නා වීම ද කැපී පෙනේ. සීක්කුගේ ප්‍රසන්න, නුවන් ප්‍රදීප්, පුලින තරංග, චාමික කරුණාරත්න, අකිල ධනංජය, අශේන් ඩැනියෙල්, මහීෂ් තීක්ෂණ, ලක්ෂාන් සඳකැන් , චතුරංග ද සිල්වා සහ අසේල ගුණරත්න පන්දු යවන්නෝ ලෙස දස්කම් දැක්වූ හ.

දසුන් ශානක, අසේල ගුණරත්න, ළහිරු මධුසංක, ධනංජය ලක්ෂාන් සහ පුලින තරංග යන ක්‍රීඩකයන් තුන් ඉරියව් දස්කම් දැක්වූ ක්‍රීඩකයින් අතුරින් පෙරමුණ ගත් හ.

මේ දක්වා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් පිල නියෝජනය කිරීමට වරම් නොලැබූ හිමේෂ් රාමනායක, පුලින තරංග, නුවනිදු ප්‍රනාන්දු, අශේන් ඩැනියෙල්, මහීෂ් තීක්ෂණ, ළහිරු උදාර, කමිල් මිෂාර සහ සහන් ආරච්චිගේ යන ක්‍රීඩක-යන් මෙම තරගාවලියේ දී තම දස්කම් දක්වමින් ඉදිරියට පැමිණීම විශේෂයෙන් කැපී පෙනිණි.

තරගාවලියේ ජයග්‍රාහකයින් වෙත රුපියල් ලක්ෂ 20 ක මුදල් ත්‍යාගයක් මෙන් ම අනු ශූරය-න්ට රුපියල් 15 ලක්ෂයක මුදලක් පිරිනැමීමට කටයුතු යොදා තිබිණි. තරගාවලියේ වීරයා වෙනුවෙන් රුපියල් ලක්ෂ 2 ක මුදලක් සහ අවසන් තරගයේ වීරයාට රුපියල් පනස් දහසක මුදලක් ද පිරිනැමුණේ ය.

තරගාවලිය අවසානයේ දී මෙවැනි තරගා-වලියක් සංවිධානය කිරීම සම්බන්ධයෙන්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයටත්, ඩයලොග් ආසියාටා සමූහ ව්‍යාපාරයටත් ස්තුතිය පළ කිරීමට දසුන් ශානක කටයුතු කළේ ය. එය සියලු දෙනාටම සුපුරුදු රිද්මය ලබා ගැනීමට ඉවහල් වූ බවත්, ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම විසින් කළුබෝවිල ශික්ෂණ රෝහලේ කොවිඩ් රෝගීන් සඳහා වන ඒකකය ඉදිකිරීමේ කටයුතු වෙනුවෙන් අරඹා ඇති අරමුදලට තමන්ගේ තරගාවලියේ වීරයා වෙනුවෙන් ලද ත්‍යාග මුදල සහ කණ්ඩායමට ලැබුණු ත්‍යාග මුදලෙන් කොටසක් පිරිනැමීමට කටයුතු කරනවා.” යැයි ග්‍රේස් පිලේ නායක, තරගාවලියේ වීරයා වූ දසුන් ශානක පැවසීය.

අවසන් තරගය

ග්‍රේස් (SLC Greys): 201/4 (පන්දුවාර 20) මිනෝද් භානුක 74, දසුන් ශානක නොදැවී 48, නුවනිදු ප්‍රනාන්දු 47, ළහිරු මධුසංක නොදැවී 12, කමිල් මිෂාර 10, අකිල ධනංජය 24/2, අසේල ගුණරත්න 35/1

රෙඩ්ස් (SLC Reds): 159 (පන්දුවාර 19.4) ඕෂධ ප්‍රනාන්දු 46, අකිල ධනංජය නොදැවී 25, අසේල ගුණරත්න 22, දිනේෂ් චන්දිමාල් 14, අවිෂ්ක ප්‍රනාන්දු 10, නිපුන් ධනංජය 10, නුවන් ප්‍රදීප් 17/2, පුලින තරංග 27/2, මතීෂ පතිරණ 28/2, ළහිරු මධුසංක 7/1, දසුන් ශානක 17/1, අශේන් ඩැනියෙල් 25/1

ශූරතාව - ග්‍රේස් (SLC Greys), අනු ශූරතාව - : රෙඩ්ස් (SLC Reds) , අවසන් තරගයේ වීරයා - මිනෝද් භානුක (ග්‍රේස්), තරගාවලියේ වීරයා - දසුන් ශානක (ග්‍රේස්)

 

Comments