තලේබාන් නිසා තැළෙන ඇෆ්ගන් ක්‍රීඩාව | සිළුමිණ

තලේබාන් නිසා තැළෙන ඇෆ්ගන් ක්‍රීඩාව

තලේබාන්වරුන්ට බියෙන් අමෙරිකානු හමුදා ගුවන් යානයක එල්ලී යෑමට උත්සාහ කරද්දී වැටී මියගිය තරුණයන් කිහිප දෙනකුගෙන් එක් අයකු 19 හැවිරිදි සාකී අන්වර් ය. ඔහු ඇෆ්ගන් ජාතික පාපන්දු කණ්ඩායමේ දක්ෂ ක්‍රීඩකයකු බව ඇෆ්ගන් ශාරීරික අධ්‍යාපන හා ක්‍රීඩා අධ්‍යක්ෂ අංශය නිකුත් කළ නිවේදනයකින් කියැවුණේ ය. ඇෆ්ගනිස්ථානයේ ඉතාමත් කීර්තිමත් පාසලක් වන එස්ටෙක්ලාල් උසස් පාසලේ ශිෂ්‍යයෙක් වශයෙන් ද ඔහු ගැන තොරතුරු ලැබෙමින් තිබේ.

පැරාලිම්පික් තහනම

ඇෆ්ගනිස්ථානය නියෝජනය කරමින් මෙවර පැරාලිම්පික් උළෙල වෙනුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙදෙනකු සුදුසුකම් ලබා තිබුණි. ඒ ටයිකොන්ඩෝ ක්‍රීඩාව වෙනුවෙන් සකියා කුදාදාදි සහ මලල ක්‍රීඩා වෙනුවෙන් හුසේන් රසියුල් යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙදෙනා ය.

ඒ අතරින් සකියා කුදාදාදි ඇෆ්ගනිස්ථානයේ පළමු පැරාලිම්පික් කාන්තා නියෝජනය ලෙස ඉතිහාසගත වන්නට ඇඟිලි ගණිමින් සිටියා ය. නමුත් ඇෆ්ගන් පරිපාලනය තලේබාන්වරුන් අතට පත්වීමත් සමඟ එරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ටෝකියෝ පැරාලිම්පික් උළෙල නියෝජනය කරන්නට තහංචි පැනවෙනු ඇතැයි පැවසුණද අවසන් මොහොතේ ඔවුනට ටෝකියෝ පැරාලිමිප්ක උළෙලට සහභාගිවීමට අවසර හිමිවී තිබුණේ ය. එය ලෝකය තුළ ඇතිවන ප්‍රබල විරෝධයට පිළිතුරු සැපයීමක් වන්නට පිළිවනැයි දේශපාලන විශ්ලේෂකයන්ගෙ අදහසය.

කෙසේ නමුත් 1995 – 2001 අතර කාල පරාස‍‍යෙහි ද ඇෆ්ගනිස්ථානය පැවතියේ තලේබාන් පරිපාලනය යටතේ වන අතර එහිදී තලෙබාන් පාලනය විසින් 2000 වසරේ සිඩ්නි පැරාලිම්පික් උළෙල මෙන් ම ඔලිම්පික් උළෙල සඳහා එරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී කරවූයේ නැත.

 

කාන්තා ක්‍රිකට්හි ඉරණම

තලේබාන් පරිපාලනය විසින් කාන්තාවන් කෙරෙහි දක්වන ආකල්ප සහ නීතිරීති හුදෙක්ම ජාත්‍යන්තර නීතියෙන් වෙනස් වෙයි. එහි දී කාන්තාවන්ට දක්වන අවධානය අවම වන අතර, එම නිසා ම ක්‍රීඩාව තුළ කාන්තා නියෝජනය තලේබාන්වරු විසින් නොපිළිගන්නා බවට ඉඟි මේ වන විටත් පළ වී තිබේ.

පසුගිය දා තලේබාන් පරිපාලනය, ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය අමතා පවසා ඇත්තේ පිරිමි ක්‍රිකට් කණ්ඩායම සඳහා සිය පරිපාලනය කිසිදු විරෝධයක් නොදක්වන බවයි. නමුත් කාන්තා ක්‍රිකට් වෙනුවෙන් නව පරිපාලනය එතරම් සුබදායී අදහස් ඉදිරිපත් කර නොමැත.

මේ අනුව ඇෆ්ගනිස්ථානයේ තලේබාන් නව පාලනයත් සමඟ ක්‍රීඩාවේ අනාගතය පිළිබඳ ව යම් අවිනිශ්චිතතාවක් මතුව තිබේ. තලේබාන්වරු බලයේ සිටි 1995 සිට 2001 දක්වා කාල වකවානුව තුළ කිසිදු ක්‍රීඩාවක් සඳහා රාජ්‍ය අනුග්‍රහය දැක්වූයේ ද නැත.

Comments