ජීවිතය ඇත්තේ ඇරැඹූ තැන නොව අවසන් කරන තැනය | සිළුමිණ

ජීවිතය ඇත්තේ ඇරැඹූ තැන නොව අවසන් කරන තැනය

 

'ජීවිතය කියන්නේ කුමක් ද? විවිධ දාර්ශනික චින්තාවන්ගෙන් ජීවිතයේ අරමුණ ගැන කියා දෙනවා. මේ දාර්ශනික චින්තාවන් අතර ක්‍රීඩාව කියන්නේ මහා විදග්ධ, ඒ කියන්නේ ප්‍රබුද්ධ, එහෙමත් නැත්නම් ගැඹුරු දර්ශනයක්. ඒ බව ඔප්පු කරන්න ගෝලීය ක්‍රීඩා සංස්කෘතිය තුළ බොහෝ නිදර්ශන සොයාගන්න පිළිවන්. මේ එවැනි චින්තාවන් හෙළිපෙහෙළි කරන මිනිසුන් ගැන කතා කරන 'ක්‍රීඩා' නවතම විශේෂාංගයක්.'

“මම 'ගැන්ග් මේම්බර්' කෙනෙක්. මගේ ගැටවර විය එහෙම තමයි ගත කළේ. ඒක ඇත්තට ම දෙබිඩි ජීවිතයක්. ඒ දෙබිඩි ජීවිතය ඇතුළේ එක පැත්තක ක්‍රීඩකයෙක් හිටියා. අනික් පැත්තේ කල්ලි සාමාජිකයෙක් සිටියේ.' ඩැරන් කැම්බෙල් තමන්ගේ ජීවිතය වෙනස් වුණු ආකාරය ගැන පවසනවා.

පෞද්ගලිකත්වය ගැන වැඩිපුර කතා නොකරපු කැම්බෙල් බී.බී.සී. පුවත් සේවයට අදහස් දක්වමිනුයි තමන්ගේ ජීවිතයේ නොදුටු පැත්ත ගැන සමාජයට හෙළිපෙහෙළි කර තිබුණේ.

“සාමාන්‍යයෙන් ලෝකයේ බොහෝ දෙනෙක් මගේ අභ්‍යන්තර ජීවිත කතාව දන්නේ නෑ. නමුත් මිනිස්සුන්ගේ හොඳ, නරක, කැත දේවල්වලිනුත් ජීවිතය ගැන ඉගෙන ගන්න බලපෑමක් කරන්න පිළිවන්. ඒ නිසා සමාජයට යහපතක් වෙන්න මම මගේ කතාව ගැන කියනවා.' ඔහු තම අතීතය හෙළිදරවු කිරීම ගැන පවසා තිබුණා.

“පුංචි කාලේ මම හැදුණේ අම්මා එක්ක. මට තාත්තා ව දකින්න ලැබුණේ අවුරුදු 13 දී මලල ක්‍රීඩා තරගාවලියක ජයග්‍රහණය හිමි කර ගෙන ඉඳිද්දී යි. එදා මම තීරණය කළා මගේ තාත්තාගේ වාසගමින් මම ලෝකය තුළ ජනප්‍රිය වෙන්නේ නෑ කියලා. එයාගේ ග්‍රාන්ට් කියන වාසගම වෙනුවට මගේ අම්මාගේ කැම්බෙල් කියන වාසගම මගේ නමට තබා ගන්න, භාවිත කරන්න මම තිරණය කළා.' කැම්බෙල් තමන්ගේ නම ප්‍රකට වුණු ආකාරය ගැන වැඩිදෙනෙක් නොදන්න කතාවක් පවසා තිබුණා.

“මම අම්මාට කිව්වා දවසක මට ලෝකයේ බොහෝ ජනප්‍රිය වෙන්න උවමනායි කියා. නමුත් ඒ ගෞරවය මගේ පියාගේ හිමිකම් බවට පත්කරන්න මට උවමනා නොවන බවත් මම කිව්වා. ඔහුට අවශ්‍ය නම් පුතා කැම්බෙල් වුණේ කොහොම ද? මම කොහොම ද ඔහුගේ පුතා වෙන්නේ කියලා ලෝකයාට කියන්න පසුබිමක් හදනවා කියලා මම එදා කිව්වා.' තමුන්, සොහොයුරිය සොපියා හා තම මව වන මාවා ලෝකය තුළ තනිකර ගිය පියා ගැන කැම්බෙල් සිතූ හැටි පැහැදිලි කර තිබුණේ ඒ විදිහටයි.

“අපි ජීවත් වුණේ කාමර දෙකක් තිබුණු පුංචි ගේක. ඇත්තටම කියනවා නම් ඒක තට්ටු නිවාසයක පුංචි ගෙයක්. 'රේස්කෝස්' හි තමයි මේ ගේ තිබුණේ.' ඔහු කියනවා.

කැම්බෙල්ට ගොඩාක් බලපෑම් කළ ක්‍රීඩකයා තමයි කාල් ලුවිස්. අමෙරිකාවේ විශිෂ්ටත ම මලල ක්‍රීඩකයා කාල්, ලොස් ඇන්ජලීස් හි 1984 තිබුණු ඔලිම්පික් උළෙලේ මීටර් 100, 200, 100 සහය දිවීම වගේ ම දුර පැනීමෙන් රන් පදක්කම් දිනා ගැනීම කැම්බෙල් තුළ සිහිනයක්, බලාපොරොත්තුවක්, ආශාවක් ගොඩනැංවූවා. 1973 වසරේ උපන් කැම්බෙල්, කාල්ගේ මේ විශිෂ්ට ඔලිම්පික් හැකියාවන් දකිද්දී එකළොස් වැනි වියේයි සිටියේ.

“මට ඒ කාලේ පාසලේ මලල ක්‍රීඩාවෙන් දස්කම් දක්වන්න පිළිවන් වෙලා තිබුණේ. මගේ අම්මා මට ඒ විදිහට ක්‍රීඩාවෙන් ඉදිරියට යන්න දිරිගැන්වූවා.' ඇය බොහෝ දැඩි ප්‍රතිපත්ති අනුගමනය කළ තැනැත්තියක වූ හෙයින් කැම්බෙල් ඇයට දැක්වූයේ බය පක්ෂපාත බවකැයි ඔහු පවසනවා.

“අම්මා රැකියාවන් කීපයක නිරත වුණා. ඒ නිසා ඈ හරිම කාර්ය බහුලයි. මේ නිසා මම මගේ මිතුරු කණ්ඩායමේ හොඳ ම සාමාජිකයෙක් වුණා. ඒ කාලේ අපි සහෝදරයෝ කණ්ඩායමක්. නමුත් අවසානාවකට කල් ගතවෙන්න ගතවෙන්න ඒක කල්ලියක් බවට පෙරැළුණා. ලෝකයේ විෂමතාවලට, ඇතැම් දේවල්වලට අපි විරුද්ධ වෙමින් අපි අපිව ම සොයාගන්න උත්සාහ කළා. නමුත් මම අපි නරක කොල්ලෝ වුණා කියලා කියන්නේ නෑ. පුංචි කාලේ අපි එහෙම නරක කණ්ඩායමක් නොවෙයි. නමුත් ටික ටික අපි වැඩෙද් දී අපි හිටපු ප්‍රදේශයේ යම් යම් දේවලට නැඹුරු වෙන්න පාර කැපුණා. ඇත්තටම කියනවා නම් ඔබ ගැන තීරණය කරන්නේ ඔබ ඉන්න පරිසරය. ඔබේ පරිසරය තමයි ඔබ කියන නිෂ්පාදනය, පුද්ගලයා, චරිත ලක්ෂණ නිර්මාණය කරන්නේ.' ඔහු කියනවා.

තම පරිසරය තුළ ජීවත් වුණු කල්ලි, ආයුධවලින්, පිහිවලින් සිදු කරන අපරාධ, මත්ද්‍රව්‍ය වැනි දේ බහුල වන්නට වීම ඔවුන්ට ද බලපෑම් කළේ ය.

“අපේ අහිංසක මිතුරු කල්ලියට මේවායින් ගැලවෙන්න බැරි වුණා. සමාජය විසින් අපවත් මෙම තැනට තල්ලු කළා. අපිට සිද්ධ වුණා මේවායින් ඇතිවෙන අතුරු ප්‍රතිඵලවලින් අපිව ආරක්ෂා කර ගන්න ආකාරය ගැන තේරුම් ගන්න. ඒ වගේ ම ඔබේ යහළුවන්ව ගලවා ගන්න. ඒ නිසා අපි අපිව ම එකිනෙකා ආරක්ෂා කර ගත්ත. එතකොට තමයි අපි කල්ලියක් බවට පෙරැළුණේ. ' කැම්බෙල් තම කණ්ඩායම වෙනස් වෙන්න පරිසරය නිමැවුණු ආකාරය ගැන පැහැදිලි කරනවා.

මේ සියල්ල අතරේ මලල ක්‍රීඩකයකු වශයෙනුත් කැම්බෙල් කැපී පෙනෙන්න ගන්නේ මේ කාලයේ දී මයි. ඔහුට පාසලේ ගෞරවය ලැබෙනවා. ඒ වගේම කලාපය තුළත් ජනප්‍රසාදයක් නිර්මාණය වෙමින් තිබෙනවා.

“ඒ යුගයේ පසුම්බියට සල්ලි ටිකක් දමාගන්න අපි හැමෝටම උවමනාවක් ඇති වුණා. අපේ කණ්ඩායම මේ දේ කරන්නේ කොහොමද කියලා කල්පනා කළා. ඊට පස්සේ තමයි යෝජනා වුණේ 'පබ්' එකක් (සමාජ ශාලාවක්) කොල්ලකමු කියන එක. ඒක රෑට කරන්න අපි අතර සැලසුමක් හැදුණා. පිහි පෙන්වලා 'පබ්' කළමනාකරුවාව බිය ගන්වලා මුදල් පැහැර ගන්න එකයි සැලසුම වුණේ. මට තිබුණේ සල්ලි කොල්ලකාගෙන එන යාළුවාව බයිසිකලේ දාගෙන වේගයෙන් පැදගෙන යන එක. ඒත් ඒ සිද්ධිය ගැන මගේ හිත ඇතුළේ කම්පනයක් තිබුණා. ඔන්න ඔය අතරේ තමයි මගේ අම්මා කැපකරු මව වුණු අපේ තවත් යාළුවෙක් වෙඩි පහරකින් මිය ගියේ. ඔහු අපේ ප්‍රදේශයේ නොවුණත් ඔහු ජීවත් වුණු ප්‍රදේශයේ කල්ලියක සාමාජිකයෙක්. මේ සිද්ධිය මා තුළ මහත් කම්පනයක් ඇති කළා. ඒ වගේමයි පිහි ගැටුමක දී මාව ඉලක්ක කරගෙන එල්ල වුණු පිහි පාරකින් මම ජීවිතය ගලවා ගත්තේ අනූනවයෙන්. ඒ සියලු දේවල් මා තුළ අවිනිශ්චිත භාවයක් නිර්මාණය කර තිබුණා.' ඔහු කියනවා.

මේ වෙනකොට ඔහු ක්‍රීඩාව තුළ ඉතා දිදුලන ගමනක නියැළෙන්නට සූදානම් බව ප්‍රදර්ශනය කරමිනුයි උන්නේ. ග්‍රීසියේ තිබුණු යුරෝපා කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ දී මීටර් 100, 200 රන් පදක්කම් දිනා ගනිමින් ඔහු දස්කම් දක්වා තිබුණා.

මෙම සියලු සිදුවීම් කැම්බෙල් තුළ දැඩි අවිනිශ්චිත බවක් ගොඩනැංවූවා. ඔහුට හැඟුණේ ජීවිතය කොයිතරම් අනපේක්ෂිත, විශ්වාස කළ නොහැකි, ක්ෂණිකව බිඳී යන්නක් ද කියා යි. එය ඔහුට මැන්චෙස්ටර් නුවර තවදුරටත් ජීවත් වන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ප්‍රබල ලෙස ඉවහල් වූවා.

ඔය අතරේ දකුණු කොරියාවේ පැවැති ලෝක ශූරතා කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය ඔහුට තවත් විශාල බලපෑමක් එල්ල කිරීමට ඉවහල් වුණා. එහි දී ඔහු මීටර් 100 හා 200 ඉසව්වන්ගෙන් රිදී පදක්කමත් සහය දිවීමේ ඉසව්වෙන් රන් පදක්කමත් දිනා ගැනීමට සමත් වී තිබුණා. ඒ හේතුව ඔහුට දකුණු වේල්සයේ සුප්‍රකට මැල්කම් ආර්නල්ඩ් යටතේ වැඩිදුර පුහුණුවට එක්වන්න අවස්ථාව උදා කළා.

“අපේ මිත්‍රයාගේ ඝාතනය මගේ අම්මා තුළ තැති ගැන්මක් ඇති කරලා තිබුණා. ඇය මගෙන් ඇහුවා මෙහෙන් යන්න කැමති නැද්ද කියලා. මම කිව්වා කැමතියි කියලා. ඒ වගේම මම ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගයේ දැක්වූ දක්ෂතා ඒකට පාර විවර කළා. ඒ විදිහට තමයි එංගලන්තයේ දක්ෂත ම මලල ක්‍රීඩා පුහුණුකරුවෙක් ගාවට මාව යොමු වන්නේ. ඒ සිදුවීම මගේ 'ගැන්ග්' ජීවිතය අවසන් කරනවා.'

1995 වසරේ දී ලින්ෆර්ඩ් ක්‍රිස්ටි, කොලින් ජැක්සන්, ජේමී බෝල්ච් හා පෝල් ග්‍රේ සමඟින් පුහුණුවීම් සිදු කරන කැම්බෙල් බ්‍රිතාන්‍ය ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ මීටර් 100 ඉසව්වේ සිව් වැනියා ව තරගය අවසන් කරන්නට සමත් වූවා. ඒ හේතුවෙන් 1996 ඇතැන්ස් ඔලිම්පික් සහය දිවීමට යන ඔහු අතින් යෂ්ඨිය ගිලිහී යෑමත් සමඟ බ්‍රිතාන්‍යය අපේක්ෂා තබා තිබූ පදක්කමක් අහිමි වුණේ කැම්බෙල් තුළ බිඳ වැටීමක් ඇති කරමිනුයි.

“ඊට පසුව මම ටිකෙන් ටික නැඟිට්ටා. කොහොම වුණත් ඒ නැඟිටීම සුරංගනා කතාවක් වගේ නොවෙයි. ඒත් ප්‍රතිඵල හෙමින් හෙමින් වැඩි දියුණු වුණා. බ්‍රිතාන්‍ය ජාතික ශූරතාවේ මීටර් 100 රිදී පදක්කම දිනා ගත්ත මම ලෝක ශූරතා මලල ක්‍රීඩා උළෙලේ සහය දිවීමෙන් ලෝකඩ පදක්කමක් දිනා ගත්තා.'

එයින් අනතුරු ව 1998 වසරේ බ්‍රිතාන්‍යයේ හා යුරෝපයේ මීටර් 100 ජාතික ශූරයා වන ඔහු පොදු රාජ්‍ය මණ්ඩලයීය තරගාවලියේ දී ද එම කිරුළ රැක ගැනීමට සමත් වුණා.

ඒ ආකාරයෙන් ඔහුගේ ජීවිතය නිසි මඟට පිවිසි අතර 1998 වසරේ දී සිය බිරිය වන ක්ලෙයාර් ද මුණ ගැසුණේ ය. එහි ප්‍රතිඵලය දැන් ඔහු තිදරු පියකු වීම ය.

“මට මගේ මුල අමතක නෑ. පුංචි සන්ධියේ හිටපු යහළුවෝ, කල්ලි ජීවිතය, වගේ ම යොවුන් ක්‍රීඩකයෙක් වශයෙන් දක්ෂතා දක්වා ජාත්‍යන්තර ක්‍රීඩකයෙක් බවට පත්වීම සියල්ල අද වගේ මට මතකයි.' කැම්බෙල් කියයි.

තම ජීවිතයේ පූර්ණ කාලීන සිහිනය වෙත ඔහු පිවිසෙන්නේ සිඩ්නි ඔලිම්පික් උළෙලේ දී ය. “එදා මම මීටර් 100 අවසන් මහා තරගයට සූදානමින් සිටියා. නමුත් එහි මම හය වැනියා. ඒත් මීටර් 200 රිදී පදක්කම දිනා ගන්න මට හැකි වෙනවා. හරියට ම ඊට අවුරුදු හතරකට පස්සේ ඇතැන්ස් හි දී මට සහය දිවීමේ කණ්ඩායම නියොජනය කරලා ඔලිම්පික් රන් පදක්කම හිමි කර ගන්න පිළිවන් වුණා.' ඔහු පවසන්නේ සතුටින්.

එය ජීවිතයක අධිෂ්ඨානයෙන් ලබා ගත හැකි විශිෂ්ට ජයග්‍රහණ ගැන ලෝකයාට පාඩමක් කියා දෙන්නක්. කැම්බෙල් ක්‍රීඩාවෙන් සමුගන්නා විට ඒ කියන්නේ 2006 වසර වන විට ලෝක ශූරතා මල ක්‍රීඩා තරගාවලියේ රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කම් දෙකක් හිමි කර ගෙන තිබුණා. යුරෝපා ශූරතාවෙයේ දී රන් පදක්කම් දෙකක් ද පොදු රාජ්‍ය මණ්ඩලයීය තරගාවලියේ ලෝකඩ පදක්කමක් ද හිමි කර ගෙන තිබෙනවා.

“මට මගේ ජීවිත කතාව ලෝකයට කියන්න අවශ්‍යයි. අද මම යම් සාර්ථක ස්ථානයක ඉන්නවා නම් එය මා තනිව ළඟා කර ගත් දෙයක් නොවෙයි. මේ සාර්ථකත්වය පිටිපස්සේ මා ජීවත් වුණු, මා ඇසුරු කළ මගේ මිත්‍රයෝ ඉන්නවා. මම ඔලිම්පික් රන් පදක්කමක් දිනා ගත් සහය දිවීමේ කණ්ඩායමේ සාමාජිකයෙක් වෙද්දී මගේ ඇස් දෙක ඉදිරිපිට මගේ අතීතය මුල ඉඳලා මැවී පෙනුණා. මගේ දෙනෙත් ඒ මතකයත් එක්ක ඇතිවුණු සතුටු කඳුළින් පෙඟුණා. අන්තිමට මට හිතුණේ එක දෙයයි. ඒ තමයි, 'In life it's not about where you start, it's about where you finish.' කියන එකයි. ඇත්ත. අපි පටන් ගත්තු තැන නොවෙයි වැදගත් වන්නේ, අපි ජීවිතය අවසන් කරන තැනයි ලෝකයට වැදගත් වන්නේ. මට ඒ ගැන තියෙන්නේ ආඩම්බරයක්.' ඔහු කියනවා.

 

Comments