එන්නත්කරණය ගැන ටෙනිස් ලෝකය තවමත් නොසන්සුන් | සිළුමිණ

එන්නත්කරණය ගැන ටෙනිස් ලෝකය තවමත් නොසන්සුන්

 

‘කොවිඩ් වසංගතයෙන් මිදීමට එන්නත් කරණය කළ යුතු ද? එසේ නොමැතිව එහි අතුරු ප්‍රතිඵල ගැන ප්‍රකාශ කරමින් එන්නත් කරණය මඟහැරිය යුතු ද? තවමත් ලෝකයේ ඇතැම් පිරිස් අතර එකඟතාවක් ගොඩනැඟී නැත. මේ ලෝක ටෙනිස් පිටියේ ඒ සම්බන්ධයෙන් වන මතවාද කීපයකි.’

එන්නත් කරණය සිදු කිරීම වැදගත් බව පසුගිය දා කියා සිටියේ ලොව ප්‍රකට ටෙනිස් ක්‍රීඩකයකු වන ඇන්ඩි මරේ ය. ඔහු ජාත්‍යන්තර මාධ්‍ය අමතා ප්‍රකාශ කළේ කොවිඩ් එන්නත් කරණය නිසැකව ම සිදු කළ යුතු බව ය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ ඔහු පොදු මහජනතාවගේ ආරක්ෂාව පිණිස සෑම ටෙනිස් ක්‍රීඩකයෙක් ම කොවිඩ් එන්නතක් ලබා ගත යුතු යැයි පවසා තිබිණි. තිස් හතර වැනි වියේ පසුවන තෙවරක් ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතාව දිනූ ඇන්ඩි මරේ ගේ එම ප්‍රකාශය ලොව පුරා ක්‍රීඩා ලෝලීන්ගේ දැඩි අවධානයට ලක්වී ඇත.

කෙසේ නමුත් තමන් එන්නත් කරණය කිරීම සම්බන්ධයෙන් සතුටු වුවද බොහෝ දෙනෙක් ඒ හා තවමත් එකඟත්වයක් දක්වා නැතැයි ද ඔහු පවසා තිබේ.‘

‘අන්තිමේ දී මම සිතන්නේ අපි එන්නත් ලබා ගැනීමේ අවශ්‍යතාව වෙනුවෙන් එළිපිට පෙනී හිඳලා, ඒවා ලබා ගන්නවා නම් ඒක සමස්ත ලෝකයට ම හොඳ පණිවුඩයක් වේවි.’ මරේ මෙම අදහස දක්වා තිබුණේ ලබන මාසයේ ආරම්භ වන අමෙරිකානු විවෘත තරගාවලියට පෙර ය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඔහු, ‘අපට ක්‍රීඩකයෝ හැටියට ලෝකයේ විවිධ රටවල සංචාරය කරන්න සිද්ධ වෙනවා. එහෙම තත්ත්වයක් යටතේ සෑම සියලු දෙනකු සම්බන්ධයෙන් ම සැලකිල්ලෙන් බලා කටයුතු කිරීම අප සතු සමාජ වගකීමක්. ඉතින් එය අමතක කරන්න අපට හැකියාවක් ඇත්තේ නෑ.’ යැයි ද පවසා තිබේ. එහි දී තවදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ,

‘මම එන්නත් කරණය කිරීම ගැන සතුටු වෙනවා. ඒ වගේම ඉදිරි මාස කීපය තුළ බොහෝ ක්‍රීඩකයන් කොවිඩ් එන්නත් ලබා ගනු ඇති බව මා විශ්වාස කරනවා.’ මරේ පවසන්නේ ය.

මේ අතර ලබන මාසය පුරා දියත් වීමට නියමිත අමෙරිකානු විවෘත ග්‍රෑන්ඩ් ස්ලෑම් තරගාවලියේ සංවිධායකයන් පවසනුයේ වයස අවුරුදු 12 හෝ ඊට උඩ ප්‍රේක්ෂකයන් සියලු දෙනා එන්නත් කරණය සිදු කර නැත්නම් ක්‍රීඩාංගණයට පැමිණිය නොහැකි බවයි. ‘ඔවුන් එන්නත්කරණය කරලා මදි. එය කළ බවට තහවුරු කරන්න සාක්ෂි ඉදිරිපත් කළ යුතුයි.’ තරගාවලි සංවිධායකන් පවසන්නේ එහෙයිනි.

කෙසේ නමුත් මේ වන විටත් ක්‍රීඩකයන් නිසැකව ම එන්නත් කරණය සිදු කළ යුතු බවට ක්‍රීඩා සංගම් පවසා නොමැත.

එය එසේ වුවද පසුගිය කාලයේ ලෝකයේ ඇතැම් ස්ථානවල සංවිධානය කෙරෙනු ටෙනිස් තරගාවලි සඳහා කොවිඩ් 19 පාලනය කරමින් කටයුතු කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ නිකුත් කළ නීති රීති අනුගමනය කෙරිණි.

මේ අතර කොවිඩ් එන්නත්කරණය සම්බන්ධයෙන් ලෝකයේ අංක එකේ ටෙනිස් ක්‍රීඩක නොවැක් ඩිජොවික් දක්වන්නේ වෙනත් අදහසකි. ඔහු පවසන්නේ එන්නත් කිරීම ටෙනිස් ක්‍රීඩකයන් සඳහා අනිවාර්ය කාරණයක් නොවන බවයි. කෙසේ නමුත් තමන් අනාගතයේ එන්නත ලබා ගන්නේ ද නැද්ද යන්න පිළිබඳ කිසිවක් ප්‍රකාශ කිරීම ද ඩිජොවික් විසින් මඟ හැර තිබුණේ ය.

ඇන්ඩි මරේ හා ක්‍රීඩා කර ඇති තවත් ටෙනිස් තරුවක් වන ස්ටීවන් ස්ටිපස් කියා ඇත්තේ නිල වශයෙන් එන්නත් කරණ කළ යුතු බවට ප්‍රකාශ වන තුරු ඔහු එය ලබා නොගන්නා බව ය.

විසි තුන් හැවිරිදි ග්‍රීසියේ ටෙනිස් තරුවක වන ඔහු පවසා ඇත්තේ එම එන්නත් කරණයේ අතුරු ආබාධ ගැන කිසිවක් දැනට ප්‍රකාශ කළ නොහැකි වීම අර්බුදයක් බව ය. ඔහුගේ මෙම ප්‍රකාශය ග්‍රීක රජය විවේචනාත්මක දෘෂ්ඨියකින් සලකා බලා තිබිණි.

‘ එන්නත් කරණය ගැන ඔහු දන්නෙ මොනවා ද? එය සිදු කිරීමෙන් ලැබෙන වාසි ගැන කිසිවක් දන්නවා ද, ඒවා නොදැන මෙහෙම කතා කරන එක නිවැරැදි නෑ.’ එසේ පැවසූයේ එරට රජයේ ප්‍රකාශක ගියානිස් ඔයිකොනොමෝ ය.

විශාල වශයෙන් මුදල් හුවමාරු වන ලොව අතිශය ජනප්‍රිය ක්‍රීඩාවක් වන ටෙනිස් ක්‍රීඩාවේ නියැළෙන ධනපති ක්‍රීඩකයන් කොවිඩ් එන්නත සම්බන්ධයෙන් තවමත් දක්වන්නේ මෙවැනි මතවාදයන් ය. එය අවසානයේ කොතැනකට පැමිණේවිද යන්න තවමත් සිතා ගන්නට බැරි ය.

 

Comments