ඇෆ්ගනිස්ථානය තුළ හඬන ක්‍රීඩා නිදහස | සිළුමිණ

ඇෆ්ගනිස්ථානය තුළ හඬන ක්‍රීඩා නිදහස

බුර්කාවෙන් ඇෆ්ගන් කෙල්ලන් මුදවාලූ කලීඩා පොපාල් ඩෙන්මාර්කයේ සිට කියන හැටි

ක්‍රීඩා පුවත්පතේ සමාරම්භක කර්තෘ සරත් ප්‍රේමතිලකයන්ගේසොහොයුරු සුනිල් මාධව ප්‍රේමතිලකයන් අපූරු පොතක් පරිවර්තනයකළේ ය. ඒ කෘතිය නම් කෙරුණේ ‘හඬනු මැන නිදහස’ කියා ය. දකුණුඅප්‍රිකාවේ නිදහස් අරගලය වෙනුවෙන් ස්ටීව් බිකෝ නමැති මහා සටන්කාමියා එරට කළු ජනතාව සමඟ එක්ව සිදු කළ අවිහිංසාවාදී සටන හා අවසන පාලකයා සිය අයෝමය යකඩ සපත්තුවෙන් පාගා ඔහු අභිරහස් ලෙස ඝාතනය කිරීමේ පුවත මෙම කෘතියේ විස්තර කෙරේ. දහස් ගණනක් කල්ලන්ට නිදහස් අවකාශයේ අපූර්වත්වය විඳ ගන්නට අවසර ඉල්ලා ඇරැඹි එම සටන වර්ණ භේදවාදය හිස් මුදුනින් වැළඳගත් සුද්දන් විසින් එදා දකුණු අප්‍රිකාව තුළ නිර්දය ලෙසින් පාගා දැමුවේ බිකෝ ගේ හඬ සදාකාලයට ම නිහඬ කරමිනි. එම නිහඬ කිරීම ගැන කතා කළ එක ම එක ජනතාවාදී සුදු ජාතික මාධ්‍යවේදියා වූ ‘ඩොනල්ඩ් වුඩ්ස්’ විසින් සුනිලුන් පරිවර්තනය කළ කෘතියේ මුල් රචකයා වූයේ ය. වුඩ්ස් විසින් ස්ටීව් බිකෝ පෙරමුණ ගත් දකුණු අප්‍රිකානු කල්ලන්ගේ විමුක්ති සටන පරාජය කරන්නට වර්ණභේදවාදී සුද්දන් ගත් කුරිරු උත්සාහය එම කෘතියේ හෙළිදරව් කළේ ය. ස්ටීව් බිකෝ ප්‍රමුඛ කල්ලන්ගේ දකුණු අප්‍රිකානු අරගලය එරට කෘතියක් ලෙස මුද්‍රණය කරන්නට නොහැකි වූ තැන සුදු පාලකයන්ගේ ම්ලේච්ඡ සොල්දාදුවන් ඩොනල්ඩ් වුඩ්ස් සොයා රට තොට පීරද්දී ඔහු රටින් පලා ආවේ ය. එකී පලායාම අවසන එවකට දකුණු අප්‍රිකානු සමාජය තුළ සිදුවෙමින් තිබූ කුරිරු ඝාතන, යටපත් කිරීම්, වෙනස්කර සැලකීම් ඇතුළත් 'crying freedom' නමැති කෘතිය එළිදැක්වුණේ ය. එම කෘතිය පසුකාලීනව දකුණු අප්‍රිකාව දේදුනු රාජ්‍යයක් බවට පත්කරන්නට නෙල්සන් මැන්ඩෙලා ප්‍රමුඛ විමුක්තිකාමී කණ්ඩායම්වලට අවස්ථාව උදාකළේ ගෝලීය සහය ඔවුනට දිනා දෙමිනි. එදා නිදහස වෙනුවෙන් හැඬුවේ දකුණු අප්‍රිකාව වුවද අද ‘නිදහස වෙනුවෙන් හඬමින් සිටින්නේ’ ඇෆ්ගනිස්ථානය ය. මේ ඇෆ්ගන් තලේබාන් පාලනය යටතට යළි යටත් වීමේ පුවත සමඟ එරට මානව ජීවිතය පත්ව ඇති ශෝචනීය ඉරණම තේරුම් ගැනීමට ඉඩසැලසෙන එරට ක්‍රීඩාවට බලපෑම් සිදුව ඇති ආකාරය සම්බන්ධයෙන් විමසා බැලීමකි.

“දැන් ලෝකයේ වැඩි ම අවධානය ඇෆ්ගනිස්ථානයට ය. ඒ තලේබාන් පාලනය විසින් එරට ආණ්ඩුකරණය පැහැරගත් හෙයිනි. එහෙයින් දැන් එරට වැසියනට හඬක් නැත. විශේෂයෙන් ම කාන්තාවන්ට කිසිදු හඬක් නොමැත. ඒ අතරින් කාන්තා ක්‍රීඩිකාවන්ට කිසිම ආකාරයකින් හෝ හඬක් නඟන්නට අවසරයක් නැත.’

දකුණු ආසියානු කලාපයේ පාපන්දු ක්‍රීඩාව පිළිබඳව සැලකිලිමත් වන විට ඇෆ්ගනිස්ථානය හඳුන්වා දිය හැක්කේ යම් පමණකට හෝ කලාපීය රටවල් අතර ඉදිරියෙන් සිටින රටක් ලෙසිනි.

එහෙත් නිරන්තරයෙන් හට ගන්නා අභ්‍යන්තර යුද ගැටුම් හා ආගමික මතිමතාන්තර ඔවුනට පාපන්දු ක්‍රීඩාවෙන් අපේක්ෂා කළ තරමේ ශීඝ්‍ර වර්ධනයක් අත් කර ගැනීමට බාධාවක් වී ඇති බවක් දක්නට ඇත.

එරට පාපන්දු ක්‍රීඩකයන්ට කෙසේ වෙතත් 1996 වසරේ සිට 2001 වසර දක්වා පැවැති තලේබාන් පාලනයෙන් තරුණියන්ට නම් කිසිදු ක්‍රීඩාවකට සහභාගී වීමට ඉඩක් ලැබුණේ ම නැත.

ක්‍රීඩාවන් කෙරෙහි ඇෆ්ගන් තරුණියන්ගේ ආකර්ෂණය ඇතිව පිහිටුවා ගන්නා ලද පාලනය තුළින් එරට කාන්තා පාර්ශ්වයට විමුක්තිය හිමි වීම හේතුකොට ගෙනය.

එහෙත් එකලද ඇෆ්ගනිස්ථානයේ සමහර ප්‍රදේශවල තලේබාන් කැරලිකරැවන් හා රජයේ හමුදා අතර හට ගන්නා ගැටුම්වල අඩුවක් නොවීය.

නව පාලනය තුළින් ඇෆ්ගන් කාන්තාවට යම් ප්‍රමාණයක නිදහසක් ලැබිණි. ඉන් උපරිමයෙන් ප්‍රයෝජන ගත් තරුණියන් අතර කාලිඩා පොපාල්ට හිමි වන්නේ ඉහළ ම ස්ථානයකි. ඇයගේ මැදිහත් වීමෙන් පාපන්දු ක්‍රීඩාවට රුචි තරුණියන්ගේ එකතුවකින් 2007 වසරේ දී ඇෆ්ගන් ජාතික කාන්තා පාපන්දු කණ්ඩායම ගොඩනැඟුණි.

ක්‍රමක්‍රමයෙන් බිය පහව ගිය බැවින් ඇෆ්ගන් තරුණියන් ක්‍රීඩා පිටියට කැඳවා ගැනීම කලීඩා පොපාල්ට අපහසු කාර්යයක් වූයේ නැත.

තලේබාන් පාලන සමයේ එරට තරුණියන්ට අධ්‍යාපනය ලැබීම, ක්‍රීඩාවට සම්බන්ධ වීම, රැකියාවන් හි නිරත වීම සම්පූර්ණයෙන් ම තහනම් ව පැවතුණි. තව ද කාන්තාවන් නිවෙසින් පිටතට යන්නේ නම් ඔවුන් අනිවාර්යෙන් ම ඥාති පිරිමියකු සහභාගි කර ගත යුතු විය. සම්පූර්ණයෙන් ම ශරීරය වැසෙන බුර්කාව ඇඳීම ද අනිවාර්ය වී තිබුණේ ය. මේ නිසා එකල ඇෆ්ගන් කාන්තාවන් තම රට තුළ සිරකාරියන් බවට පත්ව සිටියා ය. එම හේතූන් ද කලීඩාගේ ක්‍රියාන්විතයට අත් කර දී තිබුණේ අස්වැසිල්ලකි.

ඇෆ්ගනිස්ථාන පාපන්දු සංගමයට අනුබද්ධව ගොඩනඟන ලද කාන්තා අංශය යටතේ නිසියාකාර පුහුණුවක් ලැබූ මෙම කාන්තා පාපන්දු කණ්ඩායම කලීඩාගේ නායකත්වය යටතේ අන්තර්ජාතික ආරක්ෂක සේවා කාන්තා කණ්ඩායම සමඟ පළමු ජාත්‍යන්තර තරගයට මුහුණ දෙනු ලැබී ය.

කාබුල් නගරයේ ගාසි ක්‍රීඩාංගණයේ 2007 වසරේ පවත්වන ලද මේ තරගයෙන් ඇෆ්ගන් ජාතික කාන්තා පිලට ගෝල 5 - 0 ක විශිෂ්ට ජයක් අත්විණි.

කෙසේ නමුත් තලේබාන් කැරලිකරුවන්ට කලීඩාගේ ක්‍රියා කලාපය ඉවසුම් නොදෙන්නක් විය. අවස්ථා කිහිපයක දී ම ඇයට කැරලිකරුවන්ගේ මරණ තර්ජනවලට මුහුණ දීමට සිදු වූයේ ඒ නිසා ය. අවසානයේ ඇය ජීවිත ආරක්ෂාව සලසා ගැනීම සඳහා 2011 වසරේ දී ඩෙන්මාර්කයට සංක්‍රමණය වූවා ය.

උපන් රට හැරදා යන විට කලීඩා පොපාල් ඇෆ්ගන් කාන්තා පාපන්දු කණ්ඩායමේ කළමනාකාරිය ලෙසත් ඇෆ්ගනිස්ථාන කාන්තා විමුක්ති සංවිධානයේ අධ්‍යක්ෂවරියක ලෙස මෙන්ම වීදී සරණ දරුවන්ගේ ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සංවිධායක මණ්ඩලයේ සාමාජිකාවක ලෙසත් වගකීම් රැසකට උරදෙමින් සිටියා ය.

“අපි හැම දෙනාම ඒ කාලෙ ඇෆ්ගනිස්ථාන ධජය යටතේ තරග කළේ හරිම ආඩම්බරයෙන්. මට මතකයි ජාත්‍යන්තර තරගාවලියක දී පළමු වරට අපේ රටේ ජාතික ගීය වාදනය වෙන වෙලාවේ අපි හැම දෙනාගෙ ම ඇස්වල කඳුළු පිරිලා තිබුණා. ඒ කඳුළු කඩා වැටුණේ දුකට නෙවෙයි සතුට ට.’ වරක් කලීඩා පොපාල් ජාත්‍යන්තර තරගාවලියක දී ලද අත්දැකීමක් විස්තර කර තිබුණේ එලෙසිනි.

එහෙත් අද ඇය ඩෙන්මාර්කයට වී කඳුළු සලන්නේ ඇෆ්ගනිස්ථාන කාන්තා පාපන්දු ක්‍රීඩිකාවන්ට අත්විය හැකි ශෝචනීය ඉරණම සිහිපත් කරමිනි.

ඇය ජීවත් වන්නේ ඩෙන්මාර්කයේ බැවින් ඇගේ ජීවිතය සුරක්ෂිත ය. නමුත් ඇයගේ මැදිහත් වීමෙන් පාපන්දු ක්‍රීඩාවට එක්ව ඇෆ්ගනිස්ථානය තුළ සිර වී සිටින පාපන්දු ක්‍රීඩිකාවන් අනාරක්ෂිත ය.

ඇෆ්ගනිස්ථානය තුළ රඳවා සිටි අමෙරිකානු හමුදා පසුගිය දා අමෙරිකානු ජනාධිපතිවරයා විසින් ආපසු සියරට කැඳවීමත් සමඟ ඇෆ්ගන් රජයේ හමුදා සහ තලේබාන් කැරලිකරුවන් අතර බලය අත්පත් කර ගැනීමේ යුද ගිනි ඇවිළී ගියේ ය.

මේ වන විට එරට පාලනය කළ ජනාධිපතිවරයා ද රටින් පිටවී ගොස් අවසන් ය. කාබුල් අගනුවර ඇතුළු සියලුම ප්‍රධාන නගර ද දැන් පවතින්නේ තලේබාන් කැරලිකරුවන් යටතේ ය.

මරණ බියෙන් තැති ගෙන සිටින ඇෆ්ගන් පාපන්දු ක්‍රීඩිකාවන් දුරකථන ඇමතුම් හා වෙනත් තාක්ෂණික ක්‍රමවේද භාවිත කරමින් කාලීඩා පොපාල් අමතා ඔවුන් බේරා ගැනීමට මැදිහත් වෙන්නැයි ආයාචනා කර ඇත.

ඔවුනට උපදෙස් ලබා දෙමින් කලීඩා සඳහන් කර ඇත්තේ තම තමන් පවත්වාගෙන යන මුහුණු පොත් ඇතුළු සියලු ම සමාජ මාධ්‍ය ජාලා මකා දමා ජාතික කණ්ඩායම වෙනුවෙන් නිකුත් කර ඇති නිල ඇඳුම් කට්ටල ද පුලුස්සා දමන ලෙස ය.

“දැනට මා සතු ශක්තිය මගේ හඬ පමණයි. නමුත් මේ මොහොතේ ඇෆ්ගනිස්ථානයේ හිර වී ජීවිත අවධානමකට ගොදුරු වී සිටින ක්‍රීඩිකාවන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමට නම් අන්තර්ජාතික සංවිධාන හා බලවත් රාජ්‍යයන් මැදිහත් විය යුතුයි.’ යනුවෙන් පවසා ඇති කලීඩා මේ වන විටත් අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ හා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ ද සහාය ඉල්ලා ඇත.

Comments