
ජපානයේ ටෝකියෝ නුවර ඔලිම්පික් ගිම්හානයේ උණුසුම නිවී යත් ම තව නොබෝ දිනකින් එම නගරයේ ම ලෝක පැරාලිම්පික් මහා මංගල්‍යයේ මඟුල් බෙර හඬ ලෝකය පුරා නින්නාද දීම ඇරඹෙයි. ඒ හඬ ගලා යන්නේ ජපානයේ ටෝකියෝව කේන්ද්‍ර කරගෙන ම ය. ඒ පැරාලිම්පික් හි 16 වැනි මහා මංගල්‍යයයි. කොවිඩ් වසංගතය හේතුවෙන් වසරක ප්‍රමාදයකින් පසු ව ඇරඹෙන මෙවර පැරාලිම්පික් තරගාවලිය අගෝස්තු 24වැනි දා සිට සැප්තැම්බර් 5වැනි දා තෙක් පැවැත්වීමට නියමිත ය.
අලුතෙන් එක්වන ක්‍රීඩා
මෙවර පැරාලිම්පික් උළෙලේ ක්‍රීඩා 22 ක් වෙනුවෙන් ඉසව් 540 ක් පැවැත්වීමට නියමිත ව ඇත. ඒ අතරින් ක්‍රීඩා 3 ක් ම පැරාලිම්පික් ක්‍රීඩා පොතට අලුතින් එකතු වූ ක්‍රීඩාවන් වේ. ඇම්පියුටි ෆුට්බෝල්, බැඩ්මින්ටන්, ටයිකොන්ඩෝ එම නව ක්‍රීඩා ත්‍රිත්වයයි.
ටයිකොන්ඩෝ ක්‍රීඩාවේ මංගල පැරාලිම්පික් ආගමනය සිදුවන 2021 ටෝකියෝ ගිම්හාන පැරාලිම්පික් උළෙලේ, කාණ්ඩ 6 ඔස්සේ එම ක්‍රීඩා ඉසව්ව පැවැත්වීමට නියමිත ය. පිරිමි - කි.ග්රෑ. 61 , කි.ග්රෑ. 75 , කි.ග්රෑ. 75 ට වැඩි සහ කාන්තා - කි.ග්රෑ. 49 , කි.ග්රෑ. 58, කි.ග්රෑ. 58 ට වැඩි ලෙස කාණ්ඩ 6 ක් ඔස්සේ ටයිකොන්ඩෝ ඉසව්ව පැවැත් වෙයි. කාණ්ඩ සයේ ජයග්‍රහණ වෙනුවෙන් රන්, රිදී සහ ලෝකඩ පදක්කම් 6 බැගින් පදක්කම් 18 ක් පිරිනැමීමට නියමිත ය. එම පදක්කම් වෙනුවෙන් ලොව රටවල් 29ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 72 ක් පැරාලිම්පික් පිටියට ප්‍රවේශ වෙති. ඒ අතරින් වැඩි ම ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් සහභාගී වන්නේ තුර්කිය වෙනුවෙනි. එම සංඛ්‍යාව 6 කි.
බැඩ්මින්ටන් ක්‍රීඩාවේ කුලුඳුල් පැරාලිම්පික් සම්ප්‍රාප්තිය සිදු වන්නේ ද මෙවර ක්‍රීඩා උළෙළේ දී ය. එහි දී රටවල් 28 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 90 දෙනෙක් බැඩ්මින්ටන් පිටියට පිවිසෙති. ක්‍රීඩකයන්ට පවතින ආබාධ අනුව කාණ්ඩ 6 ක් ඔස්සේ සංවිධානය කර ඇති මෙම තරග ඉසව්වේ තරග සියල්ල ම ජපානයේ යෝගෝහි ජාතික ක්‍රීඩාංගණයේ පැවැත්වෙනු ඇත. කාන්තා, පිරිමි, මිශ්‍ර යන කාණ්ඩ යටතේ බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන් රන්, රිදී සහ ලෝකඩ පදක්කම් 14 බැගින් සමස්ත පදක්කම් 42 ක් පිරිනැමීමට නියමිත ය.
ආබාධිත පුද්ගලයන් සඳහා විශේෂ ශිල්පීය ක්‍රම භාවිත කරමින් සකසා ඇති පාපන්දු ක්‍රීඩා වර්ගය ඇම්පියුටි ෆුට්බෝල් ය. පැරාලිම්පික් ඉතිහාසයේ පළමු වරට ඇම්පියුටි ෆුට්බෝල් ක්‍රීඩාව මෙවර ක්‍රීඩා උළෙලට ඇතුළත් කර ඇත. පිරිමි කාණ්ඩය වෙනුවෙන් පැවත්වෙන මෙම ඉසව්වට රටවල් 8 ක් තරග වදී. ජපානයේ අඕමි ක්‍රිඩාංගණයේ එම තරග පැවැත්වෙයි.
අලුත් රටවල් දෙකක්
මෙවර පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ දී ලෝකයේ රටවල් දෙකක් සිය පළමු පැරාලිම්පික් සම්ප්‍රාප්තිය සිදු කරයි. දකුණු අසියාවෙන් භූතානය මෙන් ම අප්‍රිකානු රාජ්‍යයක් වන ගයානාව එම රටවල් ද්විත්වය ය. භූතානය නියෝජනය කරමින් තිදෙනකු සහ ගයනාව නියොජනය කරමින් එක් ක්‍රීඩකයකු ඊට සහාගි වීමට නියමිත ය. භූතානය දුනු විදීම සහ ඉලක්කයට වෙඩි තැබීම ඉසව්වට සහභාගී වන අතර ගයානාවේ ක්‍රීඩකයා පාපැදි ධාවන ඉසව්වට සහභාගී වනු ඇත.
 
 









