

වසරකට වඩා වැඩි කාලයක් නිහඬ ව තිබූ රග්බි පිටිය අවදි කරමින් ගුවන් හමුදාපති කුසලාන හෙවත් “කමාන්ඩර් අභියෝග ශූරතාව” පසුගිය සති අන්තයේ පැවැත්වුණේ රත්මලාන ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී ය.
සුහද ලීලාවෙන් ක්‍රියාත්මක කෙරුණු මෙම හමුව ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට නියමිත අන්තර් ක්‍රීඩා සමාජයීය ලීග් තරගාවලිය මෙන් ම පරාජිතයන් පිටු දැකීමේ තරගාවලිය හා සත් සාමාජික තරගාවලිය ආරම්භ කිරීමට කල් යල් බැලීමකි.
සෞඛ්‍ය මාර්ගගෝපදේශවලට අනුගත වෙමින් ජීව බුබුළක් යටතේ ගුවන් හමුදා ක්‍රීඩකයන් රත්මලාන කඳවුර තුළ ද සී.එච් ක්‍රීඩකයන් කටුනායක ගුවන් හමුදා කඳවුර තුළ ද පුහුණුව ලබමින් මෙම තරගයට අවතීර්ණ කෙරිණි.
අතිශය තියුණු ස්වරූපයක් ඉසිලූ මෙම සටනින් ලකුණු 23 - 21 ක් ලෙස ජයග්‍රහණය සී.එච්. පිල හිමි කර ගත්තේ ය.
පසුබැස්මකින් පසුව නව මානයක් සොයා යමින් නිසි මඟට අවතීර්ණ වී ඇති සී.එච් ක්‍රීඩා සමාජය මෙම තරගයේ දී ප්‍රදර්ශනය කළ සටන්කාමිත්වය ප්‍රශංසනීය විය.
කවදත් ප්‍රතිවාදීන්ට සටනක් ඉදිරිපත් කරන්නට සමත් ගුවන් හමුදා පිල මෙම තරගයේ දී ප්‍රදර්ශනය කළ සටන්කාමී ක්‍රීඩා රටාව ද අගය කළ යුතු ය.
සී. එච්. කණ්ඩායම ගෝල් දිනුම් 02 ක් සහ දඬුවම් පහර 03 ක් ආශ්‍රිතව තම ලකුණු පුවරුව ක්‍රියාත්මක කරවා ගත් අතර, පරාජිත ගුවන් හමුදා පිල ගෝල් දිනුමක් සහ එක් උත්සාහක දිනුමක් සමඟ දඬුවම් පහර 03 ක් සාර්ථක කර ගනිමින් තම ලකුණු පුවරුව ඉහළ නංවා ගත්තේ ය.
තරගයේ පළමු අර්ධය 13 - 06 ක් ලෙස පෙරමුණේ ගත්තේ සී. එච්. කණ්ඩායම ය. තරගයේ දෙවැනි භාගයේ දී 15-10 ක් ලෙස ගුවන් හමුදා ක්‍රීඩකයෝ පෙරමුණ ගත් හ.
සී.එච් ජයග්‍රහණය වෙනුවෙන් අනගි මෙහෙයක් ඉටු කළ රෝහිත රාජපක්ෂ (01) සහ සුදම් සූරියආරච්චි (01) බැගින් උත්සාහක දිනුම් වාර්තා කළ අතර, දඬුවම් පහර 03 ක් සහ ප්‍රවර්තන 02 ක් නිවැරැදි එල්ලයට යොමු කරමින් තරගයේ වීරයා බවට පත්වන්නට තේනුක නානායක්කාරට හැකි විය.
ගුවන් හමුදාව වෙනුවෙන් කැපී පෙනුණු පරාක්‍රම රත්නායක (01) සහ අංජුල හෙට්ටිආරච්චි (01) බැගින් උත්සාහක දිනුම් සටහන් කළ අතර ගයන්ත ඉද්දමල්ගොඩ ගේ පා පහරින් ප්‍රවර්තන 02 ක් සහ දඬුවම් පහර 02 ක් සාර්ථක වුණි.
පසුගිය වසර කිහිපය තිස්සේ ම දේශීය රග්බි පිටියේ සුපුරුදු ප්‍රේක්ෂකයෙකු වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගේ ප්‍රධානත්වයෙන් මෙම තරගය ආරම්භ කෙරිණි.
ඡායාරූප - ජගත් ඉරෝෂණ
 
 









