කේවට්ටයන් වෙනුවට මහෞෂධයන් ඕනෑ කර තිබේ | සිළුමිණ

කේවට්ටයන් වෙනුවට මහෞෂධයන් ඕනෑ කර තිබේ

 

සමාජයේ පඬිවරු බොහෝ ය. වැඩ නොකරන මුත් විවිධ න්‍යාය ඉදිරිපත් කර, මම සිටියේ නම් අසවල් අයුරින් කරන්නෙ මැ යි, සිදුවිය යුතු ව තිබුණේ අසවල් දේ යැයි කියන්නට ඔවුහු රුසියෝ ය. එවැනි පඬීන්ගේ ඇති අනික් සුවිශේෂත්ව ය වනුයේ පඳුරකට පයින් ගැසූ විට දහස් ගණනින් සොයා ගත හැකි වීම ය.

තවත් අතකින් බලන කල එවැනි පඬියෝ නොදන්නා විෂයක් නැත. ගැඹුරින් කල්පනා කර බලන්නේ නම් තමන්ගේ විෂය හැර සෙසු සියලු විෂයන් ගැන ඔවුහු දැන සිටිති. උදාහරණ වශයෙන් ගත් කල කොවිඩ් පරාජය කරන්නේ කෙසේ ද යැයි ඇසුව හොත් ඊට ගැළපෙන න්‍යායන් ඉදිරිපත් කරන්නට ඔවුහු සමත්හූ ය. ආර්ථිකය හදන්නට, වගා සංග්‍රාම කරන්නට, එන්නත් කරණය වේගවත් කරන්නට, රටවල් වසන්නට, මෙකී නොකී බොහෝ දේ කරන්නට ඔවුන් තරම් විශිෂ්ටයෝ තවත් නැත. එහෙත් සියල්ල මනාව අවබෝධ වන්නේ වගකීමක් භාරදුන් විට ය.

අවාසනාව වී ඇත්තේ මෙවැනි පඬියන්ගෙන් බොහෝ දෙනෙක් කටකතා නිමැවීමේ සුවිශිෂ්ටයෝ වීම ය. එසේ නිමවන කට කතා ප්‍රචාරය කරන්නට සමතුන් වන හෙයිනි. ගැටලුව ඇත්තේ කටකතා නිමැවීම නොව එවැනි කතා අසන විට ඕනෑ ම සමාජ සංස්ථාවක පාලකයන් ගේ ද මනස වියවුල් වීම ය.

එවැනි බුද්ධිහීන සියල්ල දත් පණ්ඩිතයන් අතීතයේ ජීවත් වූ කේවට්ට පඬියාගේ පරපුරෙන් පැවැත එන්නෝ වැනි ය. සමාජයේ අවාසනාව වී ඇත්තේ එවන් කේවට්ටයන්ට බොහෝ සංස්ථා තුළ ඇති පිළිගැනීම ය.

සමස්ත සමාජය සම්බන්ධයෙන් කතා කරන විට තත්ත්වය එය ය. එහෙයින් එකී තත්ත්වයෙන් විනිර්මුක්තව කතා කරන්නට ක්‍රීඩා විෂය තුළ වුව ද හැකියාවක් නැත. එහෙත් එය ක්ෂණිකව කෙසේ වෙතත් හැකි ඉක්මනින් වෙනස් කරන්නට උත්සුක විය යුතුව ඇත. එය එසේ කරන්නට මෙරට සම්බන්ධයෙන් සලකන කල ක්‍රීඩා ඇමැතිවරයාට අතිශය අවශ්‍යව ඇත.

එහෙත් එය සිදු කළ හැක්කේ කේවට්ටයන් සමඟ පැරිස් ඔලිම්පික් උළෙල දක්වා ඇවිද යෑමෙන් නොවේ.

එසේ නම් වත්මන් ක්‍රීඩා ඇමැතිවරයා සිදු කළ යුත්තේ කුමක් ද? කේවට්ටයන් වෙනුවට මහෞෂධ පන්නයේ ප්‍රාඥයන්ගේ සේවය සලසා ගැනීම ය. එකී මහෞෂධ කුලයට අයත් වන බුද්ධිමතුන් ගෙන් සපිරි ප්‍රායෝගික ක්‍රියාකාරීන් තව තවත් ළං කර ගැනීම ය. මේ ඊට සුදුසුම කාලය ය.

අප එසේ කියන්නේ ටෝකියෝ ඔලිම්පික් තරගාවලිය අවසානයේ එහි ශේෂ පත්‍රය කියවා බලද්දී ය. එම ශේෂ පත්‍රයෙන් මෙරට ක්‍රීඩාව රැගෙන යා යුතු දිශානතිය මෙන් ම සමීප කර ගත යුතු පුද්ගලයන් කවරේ ද යන්න ගැන දළ අවබෝධයක් ඇති කර ගැනීමට ඇමැතිවරයාට හැකි ය. එහෙයින් දැන් ක්‍රීඩාවේ අර්බුද විසඳා ගැනීමට වහා ක්‍රියාත්මක කළ යුතු තැන් සොයා බලා ඒවාට පිරියම් යෙදීම ඇරැඹිය යුතු ය.

මීට පෙරත් අප යෝජනා කළා මෙන් ක්‍රීඩාවට අවංකව ආදරය කරන, අවම වශයෙන් තම පෞද්ගලික සාර්ථකත්වය ගැන සිහින මවන නිලධාරීන් කණ්ඩායමක් ක්‍රීඩා සංගම් තුළ වර්ධනය වන පසුබිමක් සැකසීම වැදගත් ය. ක්‍රීඩා පනත, ඔලිම්පික් ප්‍රඥප්ති අනුව බලද් දී ක්‍රීඩා සංගම් හෝ සම්මේලනයන්ට තමන්ගේ හිතවතුන්, විශ්වාසවන්තයන් පත්කර ගැනීමට හැකියාවක් නැති බව සැබෑ ය. අප එසේ කරන්නට යැයි යෝජනා කරන්නේ ද නැත.

ඒ මන්ද බලවතුන් වටා එක් රොක්ව හිතවත්කම් ගොඩනඟා ගන්නා හිතවතුන්ගෙන් වැඩි දෙනෙක් අයත්වන්නේ ප්‍රායෝගිත තලයේ වැඩ බැරි න්‍යායාත්මක තලයේ දී ඔක්ස්ෆර්ඩ් උගතුන් ලෙස හැසිරෙන ප්‍රායෝගික බුද්ධිහීනයන් බව ඔප්පු කර පෙන්වා ඇති නිසා ය.

එහෙත් සිදු කළ හැක්කේ නිලවරණයන්ගෙන් ක්‍රීඩා සංගම්, සම්මේලන භාර ගන්නා නිලධාරීන් තමන්ගේ විශ්වාසවන්තයන් බවට පෙරළා ගැනීම ය. දේශපාලනය, පෞද්ගලික රුචි අරුචිකම් පසෙක තබා රටක් වශයෙන් ජයග්‍රහණ සොයා ගැනීම උදෙසා ඔවුනට පෙළ ගැසෙන්නැයි යෝජනා කිරීම ය. මෙහි දී ඉලක්ක ලබා දීම ප්‍රමාණවත් නැත. ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ප්‍රතිපාදන සිඟමන් යදින බලධාරීන් වෙනුවට ස්වාධීනව කටයුතු කළ හැකි නිලධාරීන් බිහි කළ යුතු ය. එය සිදු කළ හැක්කේ එක් එක් සංගම්වලට ස්වාධීනව නැඟී සිටීමට අවශ්‍ය අනුග්‍රාහකයන් සොයා ගැනීමට උපකාර කිරීමෙන් ය.

එය වඩාත් පහසුවෙන් සිදු කිරීමේ ශක්තිය වෙන කවරකුටත් වඩා වැඩිපුර ඇත්තේ වත්මන් ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂට ය. ඔහුගේ එකී හැකියාවට යම් බලපෑමක් කරන්නේ නම් කරන්නේ මේ වන විට ලෝකය වෙළාගෙන ඇති කොවිඩ් වසංගත තත්ත්වය පමණ ය.

ජාතික ක්‍රීඩා සභාව, ඉහළ දක්ෂතා කළමනාකරණ මණ්ඩලය වැනි ආයතන තුළින් ඇමැතිවරයා දැනුවත් කරන බව සැබෑවකි. එහෙත් ඒ දැනුවත් භාවය යතාර්ථවාදී සාර්ථකත්වයක් වෙත රැගෙන යා හැක්කේ එම අරමුණු සමඟ අනුනාද වන හදවත් සහිත සම්මේලන හෝ සංගම් නිලධාරීන් නිර්මාණය කර ගැනීමෙන් පමණි. එය සිදු කිරීමේ දී කේවට්ට පණ්ඩිතයන්ගේ මර උගුල් පසු කර ප්‍රවේශමෙන් යුතුව අනාගතයට ගමන් කිරීමට ක්‍රීඩා ඇමැතිවරයාට සිදු ව තිබේ.

එය වඩාත් තහවුරු කරන සංසිද්ධියක් පසුගිය ටෝකියෝ ඔලිම්පික් උළෙලේ දී නිර්මාණය වූයේ ය. ඒ මලල ක්‍රීඩිකා නිමාලි ලියනාරච්චි ගේ ධාවන සපත්තු අන්දරය ය. ඈ ධාවන සපත්තු යුගල දෙකක් රැගෙන ටෝකියෝ ගිය ද අවසානයේ සපත්තු නැති ව ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ආ ධාවකයන් ඇතැයි පවසමින් ඇමැතිවරයා නොමඟ යවා තිබුණේ ය.

අපේ ක්‍රීඩකයන් ගේ ඔලිම්පික් සූදානම ප්‍රමාණවත් යැයි අපි නොකියමු. එය මීට වඩා ප්‍රශස්ත තලයක පවත්වා ගත යුතු ය. එහෙත් එය එකලාව සිදු කළ හැක්කේ ක්‍රීඩකයන්ට පමණක් නොවේ. මන්ද යත් ඊට අදාළ ක්‍රීඩා සංගම් හෝ සම්මේලන ඒ සම්බන්ධයෙන් වගවිය යුතු ය.

එවැනි වගවීම් ඇති කර ගත හැක්කේ කෙසේ ද? එය සිදු කළ හැක්කේ කේවට්ට පඬියන් ට සවන් දී නොවේ. එවන් බොරු කාරයන් ගොතන අමූලික අසත්‍ය විශ්වාස නොකරන්නට තරම් ඇමැතිවරයා තුළ සන්සුන් භාවයක් ගොඩනඟා ගන්නේ නම් පමණි.

එය සිදු කළ හැක්කේ මහෞෂධ පන්නයේ උපදේශකයන් තව තවත් ළං කර ගැනීමෙනි. මියුලු නුවර වටලෑ අවස්ථාවේ දී තම නුවර භවභෝගයන්ගෙන් මෙන් ම සිහිල් දියෙන් පිරුණකැයි උපායෙන් දක්වා විරුද්ධවාදීන් මානසික ව පරාජය කරන්නට මහෞෂධයන් සමත් වූ සේ ඇතැම් විට සංදර්ශනාත්මක උපාය මාර්ගවල පිහිටා ක්‍රියා කරන්නට ද සමත් පඬිවරුන් අවැසි ය. එවැනි ඇතැම් සම්යප්‍රයෝග මඟින් ඇතැම් විට අනාගතය තුළ දීප්තිමත් ජයග්‍රහණ අත්පත් කර ගන්නට හැකි ය.

එවැනි තත්ත්වයක් වඩා වැදගත් වන්නේ පැරිස් ඔලිම්පික්, පොදු රාජ්‍ය මණ්ඩලයීය, ආසියානු හෝ සෙසු ජාත්‍යන්තර තරගාවලි රැසක් ඉදිරියේ දී ක්‍රියාත්මක වීමට නියමිත ව ඇති හෙයිනි. ඒ සඳහා වහ වහා ක්‍රියාත්මක විය යුතු කාලය එළඹ තිබේ. ඒ වෙනුවෙන් ක්‍රීඩා ඇමැතිවරයා ශක්තිමත් කිරීමට නොවලහා පෙරට ආ යුතුව ඇත. ඒ මන්ද යත් පැරිස් ඔලිම්පික් උළෙලට මෙන් ම ලෝකයේ සියලු සංස්ථාවන්හි පැවැත්ම හෝ නොපැවැත්ම තීරණය කරන කාල ගණනය දැන් ඇරඹී ඇති හෙයිනි.

Comments