කෙක්කෙන් බැරි වී කොක්කෙන් ඉතිහාස ගත වූ රේඩ්මැචර් | සිළුමිණ

කෙක්කෙන් බැරි වී කොක්කෙන් ඉතිහාස ගත වූ රේඩ්මැචර්

 

අද අගෝස්තු 22 වැනි දා ය. ක්‍රීඩා පිටියේ අද දිනයට අදාළ ව අමතක නොවන වැදගත් සිදුවීම් රැසක් ම සටහන්ව ඇතත් ඒ අතර ඇති පීටර් රේඩ්මැචර් නම් වූ බොක්සිං ක්‍රීඩකයාට සම්බන්ධ කතාවට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි.

අමෙරිකානු බොක්සිං ක්‍රීඩකයකු වූ ඔහු වීරයකු ලෙස ඉතිහාස ගත වීමට ගන්නා ලද උත්සාහය ක්‍රියාත්මක කරන ලද්දේ මීට වසර 64කට පෙර අද වැනි දිනයක ය.

කැපී පෙනෙන උසත් ශක්ති සම්පන්න දේහයත් නිසා ඔහු බොක්සිං ක්‍රීඩාවට කදිමට ගැළපුණේ ය. ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර 1956 වසරේ පවත්වන ලද ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී කිලෝග්‍රෑම් 81 ට වැඩි හෙවිවේට් ඉසව්වේ රන් පදක්කම දිනා ගන්නා ලද්දේ රේඩ්මැචර් විසිනි.

පීටර් රේඩ්මැචර්ට ඔලිම්පික් හෙවිවේට් රන් පදක්කම දිනා ගැනීම සඳහා තරග තුනකට සහභාගී වීමට සිදුවූයේ ය. පළමු තරගයේ දී ආර්ජන්ටිනාවේ ජෝස් ගියෝගෙටී ද අවසන් පූර්ව තරගයේ දී දකුණු අප්‍රිකාවේ ඩැනියල් බෙකර් ද ඔහු පරාජයට පත් කළේ ය.

ඉන් පළමු තරගයේ දෙවැනි වටයේ දී ද දෙවැනි තරගයේ තෙවැනි වටයේ දී ද තරග අවසන් කර තිබූ අතර, අවසන් තරගයේ දී රේඩ්මැචර්ට මුහුණ දීමට සිදුව තිබුණේ රුසියාවේ ලෙච් මුකින්ට ය. ඔහු ද මූලික තරග 3 ම ජය ගෙන තිබුණේ ප්‍රතිවාදීන් බොක්සිං වළල්ල මත පෙරළා දමමිනි.

එබැවින් අවසන් තරගය තියුණු මුහුණුවරක් ගනු ඇතැයි අපේක්ෂා කළ ද පළමු වටය අවසන් වීමටත් පෙර රේඩ්මැචර් ජය ගත්තේ ය.

මෙම ඔලිම්පික් හෙවිවේට් බොක්සිං රන් පදක්කම දිනා ගැනීමෙන් පසු ඔහු කල්පනා කරන්නට වූයේ තමන් මීළඟට කළ යුත්තේ කුමක් ද යන්න ය. තවදුරටත් ආධුනික බොක්සිං ක්‍රීඩකයකු ලෙස නොසිට වෘත්තීය බොක්සිං වළල්ලට පිවිසීම ඔහුගේ අවසන් තීරණය විය.

වෘත්තීය බොක්සිං ක්‍රීඩකයකු ලෙස සහභාගී වන පළමු තරගයෙන්ම ඔහුට අවශ්‍ය වූයේ ඉතිහාස ගත වීමට ය. ඒ අනුව රෙඩ්මැචර් රන් පදක්කම දිනා පැයක් ගත වීමටත් පෙර අපූරු තීරණයකට එළැඹුණි.

ඒ එවකට ලෝක හෙවිවේට් කිරුළ දිනා සිටි අමෙරිකානු ක්‍රීඩක ෆ්ලොයිඩ් පැටර්සන්ට අභියෝග කිරීම ය. වෘත්තීය බොක්සිං වළල්ලට පළමු වරට ගොඩ වූ කිසිම ක්‍රීඩකයකු මීට පෙර තමන් සහභාගී වූ මංගල තරගයේ දී ලෝක හෙවිවේට් බොක්සිං කිරුළ දිනාගෙන නොතිබූ හෙයින් එම වාර්තාව තමන් සන්තක කර ගැනීම ඔහුගේ අභිලාෂය විණි.

එම තීරණය අනුව ඔහු පැටර්සන්ව අභියෝග කරනු ලැබුවේ ය. පැටර්සන් ද එය භාර ගත්තේ කිසිදු අදිමදි කිරීමකින් තොරව ය.

ඒ වන විට පැටර්සන් පසුවූයේ 22 හැවිරිදි වියේ ය. එහෙත් ඔහු ඒ වන විට වෘත්තීය තරග 33 ක අත්දැකීම් සහිත වූවෙක් විය. ආධුනික බොක්සිං ක්‍රීඩකයකු වශයෙන් රෙඩ්මැචර් ද තරග 79 ක ට සහභාගී වි තිබුණේ ය.

මේ තරගය පැවැත්වීමට දින නියම වූයේ 1957 අගෝස්තු 22 වැනි දා ය. සටන ඇරැඹුණි. පළමු වටයේ දී පැටර්සන් වරක් බිම ඇද වැටුණු අතර මුල් වට දෙකේ දී වැඩි වාසියක් අත් කර ගත්තේ ද රේඩ්මැචර් ය. එහෙත් තුන් වැනි වටයේ සිට 6 වැනි වටය දක්වා වූ වට හතරේ දී ම රේඩ්මැචර් පැටර්සන් ගේ ගොදුරක් බවට පත්ව සිටියේ ය.

හය වැනි වටයේ දී පැටර්සන් එල්ල කළ පහරකින් රේඩ්මැචර් බිම ඇද වැටුණි. තරගය ඉන් නතර කෙරුණි. එම අවසන් වට හතරේ දී රේඩ්මැචර් හත් වරක්ම බොක්සිං වළල්ල තුළ පෙරළා දමන්නට ද පැටර්සන්ට හැකි වී තිබුණි.

ඒ අනුව රේඩ්මැචර් තෙවැනි වටයේ සිට හය වැනි වටය දක්වා තරග කර තිබුණේ ද වැටි වැටී නැඟිටිමිනි.

වෘත්තීය බොක්සිං වළල්ලට ගොඩ වී සහභාගී වූ පළමු තරගයේ දී ම ලෝක හෙවිවේට් ශූරයා පරාජය කළ පළමු ක්‍රීඩකයා ලෙස ඉතිහාස ගත වීමට මේ පරාජය නිසා පීටර් රේඩ්මැචර්ට නොහැකි විය.

එහෙත් තමන් සහභාගී වූ පළමු වෘත්තීය බොක්සිං තරගයේ දී ම ලෝක හෙවිවේට් කිරුළ සඳහා තරග වැදුණු පළමු ක්‍රීඩකයා ලෙස ඔහු ඉතිහාස ගත වූයේ අද වැනි දිනක ය.

 

Comments