
හතළිහ දසකයේ මුල් භාගයේ දී විල්ෂීයාර් කඳුවැටියෙන් කපා ගන්නා ලද වක් වූ දණ්ඩක ආධාරයෙන් ඔහු පන්දු පාලනය හුරු වූයේ ය. එම හුරුව පසුකාලීනව ඔහු ජාතික හොකී කණ්ඩායම තුළට රැගෙන ආවේ ය. ඉනික්බිතිව ජාත්‍යන්තරය ජය ගන්නට සමත් වූ ඔහු විධිමත් හොකී පිත්තක් අතැතිව මාතලේ විජය, ශාන්ත තෝමස්, සහිරා,පාසල්, මාතලේ දිස්ත්‍රික්, කොළඹ දිස්ත්‍රික්, යුද හමුදාව, ආරක්ෂක සේවා, වානේ සංස්ථාව, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ ජනසතු සේවා කණ්ඩායම් නියෝජනය කරන්නට සමත් වූයේ ය. මේ ඔහු ගැන ය.
ඩක භූමිකාවෙන් සමු ගැනීමෙන් අනතුරු ව ද තම පණ මෙන් ආදරය කළ හොකී ක්‍රීඩාව අත් නොහැරි ඔහු පුහුණුකරුවකු ලෙස ඉටු කර ඇත්තේ සුවිශාල කාර්යභාරයක්.
ජාතික කණ්ඩායම නියෝජනය කර ඇති ජී.එච්. ජයතිස්ස ප්‍රමුඛ චන්ද්‍රසේන සුරවීර, සාලිය සුරවීර, ධම්මික සුරවීර යන සහෝදර සමාගමේ ප්‍රබලත ම සාමාජිකයකු වන ඔහු නමින් ජී.එච්. රූපසිංහ ය.

මෙරට හොකී ක්‍රීඩාවේ ආරම්භක අවධිය වර්ණවත් කළ ඔහු දැන් සිය ජීවිතයේ අටවැනි දසකය ඉක්මවා ඇති අතර අදටත් පුහුණුකරුවකු ලෙස තරුණයන්ට අභියෝග කරන්නෙකි. මේ ඔහු හා ක්‍රීඩා අතර ඇතිවූ හමුවකි.
“හොකී ක්‍රීඩාව ගැන කතා කරද්දි මම මුලින් ම ප්‍රශංසා කරන්නේ හොකී ක්‍රීඩාවට පූර්ණ කැපවීමෙන් කටයුතු කළ අතීත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට. ඒ කාලේ ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුගේ ජීවිතය වෙලා තිබුණේ හොකී”. මෙසේ කියන්නේ හිටපු ශ්‍රී ලංකා ජාතික හොකී පුහුණුකරුවකු මෙන් ම හිටපු ජාත්‍යන්තර ක්‍රීඩකයකු ද වන ජී.එච්.රූපසිංහයන් ය.
ක්‍රිඩා සමඟ සුහද පිළිසඳරකට පිවිසෙමින් ඔහු ඒ බව කියා සිටියේ ය. ඔහු රැල් බුරුල් හැර යළිත් සිය කතාව ඇරැඹුවේ ය.
“ඒත් අද ඒ තත්ත්වය වෙනස් වෙලා. වර්තමානයේ ඉන්න ක්‍රීඩකයන් තුළ ඒ කැපවීම දකින්න නැහැ. අද ඔවුන් වැඩි අවධානයක් යොමු කරන්නේ උසස් අධ්‍යාපනය ලබා ගන්න. එහෙමත් නැත්නම් හොඳ රැකියාවක් සොයාගන්න. මම ඒ අරමුණ වැරදියි කියලා කියන්නේ නෑ. ඒත් ඒකෙන් වෙලා තියෙන්නේ හොඳ ක්‍රීඩකයන් බිහි වීම මඟහැරීමයි.
අනික අපේ රට අතුළේ හොකී ක්‍රීඩාවට ඇති පහසුකම. අනිකුත් ක්‍රීඩා සමඟ සසඳන විට හොකී ක්‍රීඩාවේ යටිතල පහසුකම් තිබෙන්නේ මධ්‍යස්ථ මට්ටමක. විවිධ යුගවල හොකී ක්‍රීඩාවට පුනර්ජීවය ලබා දෙන්නට උත්සාහ කළ පාලකයෝ සිටියා. ඒ කොහම වුණත් ජාත්‍යන්තර හොකී ක්‍රීඩා ක්ෂේත්‍රය හා සසඳා බලන විට අපි රටක් වශයෙන් හොකී ක්‍රීඩාවෙන් සාර්ථකත්වයක් ලබා ගෙන නැහැ. නමුත් හොකී කියන්නේ ජාත්‍යන්තර ජය ගත හැකි හොඳ ක්‍රීඩාවකට. විදේශයන්ට අභියෝග කළ හැකි දක්ෂ ක්‍රීඩකයෝ අපේ රටේ ඕනෑ තරම් ඉන්නවා. නමුත් ඔවුන් කළමනාකරණය කරන්නට තරම් දක්ෂ පරිපාලකයන් පිරිසක් පෙනෙන තෙක්මානයක නෑ. ඒක තමයි කනගාටුවට කරුණක් වෙන්නේ.’ රූපසිංහයන් හොකී ක්‍රීඩාවේ වත්මන් චිත්‍රය පැහැදිලි කළේ එලෙසිනි.
ඔහු කීවේ අතීතයේ දී මෙන් තරගයක් හෝ තරගාවලියක් සංවිධානය කිරීම වර්තමානය වන විට අපහසු කර්තව්‍යයක් බවට පත්ව ඇති බවයි. ඊට ඉවහල්ව ඇත්තේ මුදල් මූලික වී තිබීම ය. තරගාවලියක් ක්‍රියාත්මක කරන්න අත්‍යවශ්‍ය ක්‍රීඩාංගණවලට අත්වී තිබෙන ඉරණම සම්බන්ධයෙන් ද ඔහු තුළ ඇත්තේ ප්‍රශ්නයකි. ‘රටේ කිසිදු ප්‍රදේශයක හොකී ක්‍රීඩාවේ සංවර්ධනය සඳහා සාධනීය වැඩපිළිවෙළක් පෙනෙන්නටවත් නැහැ. බලධාරීන් සංවර්ධනය ගැන කතා කරන නමුත් ප්‍රායෝගික ව ඒවා අක්‍රියයි. හොකී ක්‍රීඩාව මෙහෙයවන උසස් බලධාරීන් ක්‍රීඩාවේ සංවර්ධනය වෙනුවෙන් බොහෝ දේ පොරොන්දු වී ඇති නමුත් කිසිවක් සමස්තය වෙත පැමිණි බවක් පෙනෙන්නට නැහැ.’ ඔහු කියන්නේ කනගාටුවෙනි.
‘හොකී ක්‍රීඩාවේ ජාතික තලයට කුසලතා පූර්ණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහි කළ තිඹිරිගෙය මාතලේ. නමුත් අද එහි ගෞරවයත් නැති වෙලා ගිහින්. මම මාතලේ විජය විද්‍යාලයෙන් හොකී ක්‍රීඩාවේ මුලකුරු ඉගෙන ගත්තේ. අනතුරු ව සාන්ත තෝමස් විද්‍යාලය සහ මාතලේ සහිරා විද්‍යාලය නියෝයෝජනය කර-න්නට හැකි වුණා. ඒ වාගේම 1956 පැවැති පළමු ජාතික ජ්‍යෙෂ්ඨ හොකී තරගාවලිය ට මාතලේ කණ්ඩායම නියෝජනය කරමින් ශූරතාව දිනා ගැනීමට සමත් වීමත් මා ලැබූ භාග්‍යයක්. එකල මාතලේ ජනතාව හොකී ක්‍රීඩකයන්ට දැක්වූයේ මහත් භක්තියක්. අපිත් හොකී ක්‍රීඩාවෙන් මාතලේට කීර්තියක් රැගෙන ඒමට හැම විටම උත්සාහ කළා.’ රූපසිංහයන් අතීතය ගැන කතා කරන්නේ අප්‍රමාණ ආඩම්බරයකිනි.
‘මාතලේ සහ මහනුවර තිබූ නම ගිය හොකී ක්‍රීඩා සමාජ බොහෝමයක් අද වන විට අභාවයට ගිහිල්ලා. එම ප්‍රදේශවල පාසල් හැර ගිය තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සෙල්ලම් කරන්න තැනක් ඉතිරි වෙලා නෑ . පාසල් මට්ටමෙන් පසු තරඟකාරී බවක් සමස්ත ලංකාව තුළ ම පෙනෙන්නට නොමැති වීම හොකී ක්‍රීඩාවේ ප්‍රධාන අඩුපාඩුවක්.
දැන් බලන්න කොළඹ සහ මාතලේ කෘත්‍රිම ක්‍රීඩාංගණ තිබෙනවා. නමුත් මා දකින පරිදි ඒවා ප්‍රමාණවත් නැහැ. ගාල්ල, මහනුවර, පුත්තලම, අනුරාධපුර සහ බදුල්ල වැනි ප්‍රදේශවල මෙවැනි කෘත්‍රිම ක්‍රීඩාංගණ
වැඩි වශයෙන් ඉදි කළ යුතුයි. මෙම ප්‍රදේශවලට පහසුකම් තිබේ නම් අද වන විට හොකී ක්‍රීඩාව වඩා හොඳ මට්ටමක තිබිය හැකි ව තිබුණා. නමුත් වර්තමාන වටපිටාව සමඟ ක්‍රීඩකයන් සතුටු කිරීම හා ආකර්ෂණය කර ගැනීම දුෂ්කර කාර්යයක්.’ ඔහු පෙන්වා දෙන්නේ ක්‍රීඩාවේ අඩුපාඩු ය.
ක්‍රිකට් ක්‍රීඩාව වෘත්තීමය ස්වභාවයට පත් වීමෙන් පසු කොළඹ ක්‍රීඩා සමාජ ක්‍රිකට් කෙරෙහි දැඩි අවධානයක් යොමු කළ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස හොකී ක්‍රීඩාවට කුඩම්මාගේ සැලකිලි හිමිව ඇති බව ඔහුගේ අදහස ය.
‘මාතලේ ඒ දිනවල ඉතාමත් දක්ෂ ක්‍රීඩකයන් සිටියා. නමුත් විවිධ හේතුන් මත එම ක්‍රීඩකයන් දැනට හොකී ක්‍රීඩාවට සෘජුවම සම්බන්ධ නොවීම ම ගැටලුවක්. ශ්‍රී ලංකා හොකී සම්මේලනය පවා ඔවුන්ගේ ප්‍රවීණතාවයෙන් ප්‍රයෝජන ලබා ගැනීමට උත්සාහ කළ බව පෙනෙන්නට නැහැ.
අද ජාත්‍යන්තර හොකී කෙළිබිමේ තරග නීති රීති සහ කොන්දේසි මෙන් ම තරග විලාසයන් හා ක්‍රම හාත්පසින්ම වෙනස්. ඒවා වැඩිදියුණු වී ඇත්තේ හිතා ගන්නටවත් බැරි තරමට. එදා සිටි හොඳම කණ්ඩායම් තමයි ඉන්දියාව සහ පකිස්ථානය. 1966 දී ආසියානු ක්‍රීඩා උළෙලේදී අපි කොරියාව 03-00 ලෙස පරාජය කළා. නමුත් අද කොරියාව අපව පරාජය කරන තත්ත්වයට ඇවිල්ලා. මැලේසියානු රජය හොකී ක්‍රීඩාව කෙරෙහි දිගු කාලීන අවධානය යොමු කළ අතර ඔවුන් ජාත්‍යන්තර වේදිකාවේ ප්‍රධාන බලවේගයක් බවට පත්වෙලා.
මෙයින් පෙනෙන්නේ ලංකාව විදේශ උපාය මාර්ග හා විශේෂඥතාවයන් අනුගමනය කළ යුතු බවයි.
අවම වශයෙන් වසර දෙකක කාලයක් වත් ජාතික කණ්ඩායමේ පුහුණු කිරීම් සැලසුමකට අනුව පවත්වා ගෙන යෑම තුළින් අපේ අරමුණට ළඟා විය හැකියි.’ රූපසිංහයන් පැවසුවේ ය.
 
 









