ඔලිම්පික් යනු මානවීය ආදරය ය | Page 2 | සිළුමිණ

ඔලිම්පික් යනු මානවීය ආදරය ය

 

'නූතන ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ තිස් දෙවැන්න ජපානයේ ටෝකියෝ නුවර දී අවසන් වීමට නියමිත ව තිබේ. ඔලිම්පික් පහන නිවා දමා තිස් තුන් වැනි ඔලිම්පික් උලෙළ වෙනුවෙන් ප්‍රංශයේ පැරිසියේ දී යළි හමුවීමට ගිවිස ගනිමින් සමුගෙන ගිය ද ඔලිම්පික් වැඩසටහන අවසන් නොවන බව පැවසිය යුතු ය. එය මීට පෙර කීවාක් මෙන් 2024 වෙනුවෙන් අඛණ්ඩව තමන්ගේ සංවිධාන කටයුතු, හමුවීමේ කටයුතු වෙනුවෙන් වෙහෙස මහන්සි වනු ඇත. මේ කැලණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එම්.කේ. ඒ. අනෝමා රත්නායක ඔලිම්පික් සම්බන්ධයෙන් දක්වන තවත් අදහස් කීපයක් සංක්ෂිප්ත කිරීමකි.'

අප ගිය සතියේ දී ඔලිම්පික් යනු මානව සමාජයීය අයිතිවාසිකම් බව ප්‍රකාශ කළා. එය කිසිම ලෙසකින්වත් ඉවත දැමිය නොහැකි මානව අයිතිවාසිකමක් දක්වා වර්ධනය වී ඇත්තේ ඔලිම්පික් සංකල්පයේ ඇති ප්‍රබලත්වය හා අවංකත්වය සලකායි.

‘සැමට ඔලිම්පික් උරුමය.’ යන්න මිනිස් සමාජයේ මූලිකම අයිතිවාසිකම බවට පත්කරන්න ඔලිම්පික් ව්‍යාපාරය සමත්ව ඇත්තේ එහෙයිනුයි. කෙසේ නමුත් ජාත්‍යන්තර ඔලිම්පික් සංකල්පය කියලා කියන්නේ ක්‍රීඩා ක්‍ෂේත්‍රයට පමණක් සීමා වුණු දෙයක් නොවෙයි. එය දැන් විවිධ ක්ෂේත්‍ර තුළට විහිදෙමින් තිබෙනවා. එය විවිධ ක්ෂේත්‍රයන්ට ව්‍යාප්ත වීමට හැර ඔලිම්පික් ආශිර්වාදයක් වගේ ම සාමාන්‍ය ජනයාට වටිනා ආදර්ශ සපයා අවසන්.

ඒ නිසා ම හිත්වල බලාපොරොත්තු ගොඩනඟා ගන්නත්, අපේක්ෂා භංගත්වයෙන් මිදී ලෝකය තුළ ජීවත් වීම යථාවත් කර ගැනීමටත් අවස්ථාවක් නිර්මාණය වීමට පරිසරය උදා කර දීම සිදුකරන්නට ඔලිම්පික් ව්‍යාපාරය ක්‍රියා කරමින් ඉන්නවා. මෙය අපි දකින තවත් ස්ථානයක් විදිහට ඔලිම්පික් සහයෝගීතාවයේ පණිවුඩය දේශයකින් ඔබ්බට ගිය කල්පිත රටක් වෙනුවෙන් පවා ලබා දෙන්නට සූදානම් වීම දක්වන්න පිළිවන්. කල්පිත රටක් කීවාට එයින් ගම්‍ය වන්නේ ලෝකය තුළ තවමත් සටන් කඳවුරු නිර්මාණය කර ඇති ඊශ්‍රායලය වැනි රාජ්‍යයන් බිහි කිරීමක් ගැන නොවෙයි අපි මේ කතා කරන්නේ. එය කල්පිත රාජ්‍යය කාන්තාරයක ක්ෂේම භූමියක් වගේ. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සෙවණ, සෙනෙහස පිරුණු ක්‍රීඩා රාජ්‍යයක් යටතට ලෝකයේ විවිධ ප්‍රශ්න නිසා අසරණ වන, පීඩාවට පත් වන ක්‍රීඩකයන් ළං කර ගන්නවා. උදාහරණයකට සරණාගත භාවයට පත්වූවන් පවා සන්නිවේදනය කරන්නත් ඔලිම්පික් උලෙළ මඟින් යම් අවස්ථාවක් උදා කර ගන්නවා. සැබැවින්ම ඔලිම්පික් යනු විසිරී, කැඩී, බිඳී ගිය සමාජයේ යම් යම් කණ්ඩායම් සියල්ලක්ම ඒකරාශි කර ගැනීමේ නොනවතින උත්සාහය යි.

එය ලෝකය තුළ ඔලිම්පික් ප්‍රතිපත්තියක් ලෙසින් නිවේදනය කළේ 2015 වසරේ ඔත්තෝබර් මස පැවැති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේ දී යි. එය සුවිශේෂි සිදුවීමක් බවට පත්වුණා. එ් තමයි ඔලිම්පික් හේතුවෙන් ම විශේෂිත කණ්ඩායමක් බිහි වීම.

ඒ තමයි අයිඕසී සරණාගත ඔලිම්පික් කණ්ඩායමක් බිහි කිරීමට කටයුතු කරන බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු ප්‍රධානියා එක්සත් ජාතීන්ගේ සංවිධානයට පැවසීම. මෙලෙස සරණාගත භාවයට පත් වූ පුද්ගලයන්ට ඒ සඳහා අවස්ථාව ලබා දුන්නේ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන තෝමස් බැච් මහතා යි. එතුමා අන්තර්ජාතික ඔලිම්පික් කමිටු සරණාගත ඔලිම්පික් කණ්ඩායම් නිර්මාණය කරන නිවේදනය එදින ප්‍රකාශයට පත් කළා.

ඔලිම්පික් ක්‍රීඩා උලෙළක් නියෝජනය කරන්නට සරණාගතයන්ටත් අවස්ථාවක් දීම සුවිශේෂී ගමන් පියවරක්. ඔලිම්පික් ව්‍යාපාරය ඉදිරියට යද්දී එළැඹුණු වටිනාම පියවර තමයි එය. සාමාන්‍යයෙන් බොහෝ විට රටක් වශයෙන්, සමාජයක් වශයෙන් අපි සරණාගතයන් ගැන සිතන්නේ අවසාන පියවර වශයෙනුයි.

එහෙත් ඔලිම්පික් ව්‍යාපාරය සරණාගතයන් වෙනුවෙන් ඉහළ පෙළෙන්ම කතා කරනවා. ඇත්තටම ඔලිම්පික් කියන්නේ ම මිනිස්සුන්ගේ සිත් තුළ හැංගිලා තියෙන මනුෂ්‍යත්වය කියන ගුණාංග ඔප කර ගන්නා ව්‍යාපාරයක් වන්නේ මේ නිසයි. මේ නිසා ලොව පුරා වෙසෙන මිලියන ගණනක සරණාගතයන්ට බලාපොරොත්තුවේ පණිවිඩය රැගෙන එන ව්‍යාපාරය තමයි ඔලිම්පික්.

මිනිස් ආත්මයේ ශක්තියෙන් ලෝකයක් ප්‍රබෝධමත් කිරීමේ සංදේශය ලෝකය පුරා ප්‍රචාරය කිරීමට මෙය පිටිවහලක් වුණේ ඒ අනුවයි. මේ නිසාම ඔලිම්පික් ඉතිහාසයේ සනිටුහන් සුවිශේෂී පරිච්ඡේදයකට හිමිකම් කීමට 2016 වසරේ බ්‍රසීලයේ රියෝ ද ජැනෙයිරෝ පැවැති ඔලිම්පික් උළෙලට හැකියාව ලැබුණා.

ඔලිම්පික් සරණාගත කණ්ඩායම් වෙනුවෙන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති තෝමස් බැච් මහතාගේ ප්‍රකාශය මෙසේ යි.

‘මෙය ලෝකයේ සියලු ම සරණාගතයන්ගේ බලාපොරොත්තුවේ සංකේතයක් වනු ඇති අතර මෙම අර්බුදයේ විශාලත්වය පිළිබඳ ව ලෝකය වඩාත් හොඳින් දැනුවත් කරනු ඇත. සරණාගතයන් යනු අප සමාජයේ ම කොටසක් වන අතර එය සමාජයට පොහොසත් කිරීමට හැකියාව සහිත කණ්ඩායමක් ම බව ජාත්‍යන්තර ප්‍රජාවට සංඥාවක් ගොඩනංවනු ඇත.’ යනුවෙනි.

එයින් ඔහු කියන්නට උත්සාහ ගනුයේ ක්‍රීඩාව භාවිත කරමින් ගොඩනඟා ගත හැකි මිනිසත්කම ගැන ය. සමඟියෙන් ජීවත් වන පරිසරයන් පටු ආකල්පවලින් වෙළා ගත් පසු මිනිස්සු අසරණ වෙති. ඔලිම්පික් ඒ පටු අකල්පයන් උනා දමා මේ මිහිතලයේ ජීවත් වන සෑම මිනිසකු වෙනුවෙන් ම යම් වටිනාකමක් ලබා දී තිබේ.

ඒ වටිනාකම් තීරණය කළ යුතු වන්නේ අධ්‍යාපනය, ආගම, ජාතිය, කුලය, දුප්පත්‐පොහොසත්, බල පුළුවන්කාරකම යනා දී බෙදීම්වලින් ද නොවේ. එය මිනිසකු තවත් මිනිසකු වෙනුවෙන් ලබා දෙන ගරුත්වය පදනම් ව සිදුවිය යුතු ය. එය ඔලිම්පික් ව්‍යාපාරය මඟින් මනාව ස්ථාපනය කර ඇත. රටක් නැති, ලෝකයේ බිමක් නැති සරණාගතයන් වැළඳ ගන්නට ඔලිම්පික් ව්‍යාපාරය දෑත් විහිදන්නේ, තමන්ගේ ධජය යටතට රැගෙන එන්නේ එහෙයින්ම ය. එය ම ඔලිම්පික් යනු ලෝකයේ නිර්මල දර්ශනයක් ලෙස අවබෝධ කර ලන බව කිවයුතු යි.

Comments