
සිවු වසරකට වතාවක් ලෝක කෙළිබිම මාසයක් පුරා උණුසුම් කරන මහා ක්‍රීඩා මංගල්‍යයය ‘ඔලිම්පික්‘ පසුගියදා ජපානයේ ටෝකියෝ නුවරදී නිමාවට පත්වූයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර දුක හා සතුට එක හා සමානව බෙදා හදා දෙමිනි. ඇතැම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සතුටු කඳුළු වගුරද්දී තවත් පිරිසක් කඳුළු සුසුම් මැද හිස් අතින් ආපසු ගියහ. එසේ වුවත් මේ මහා ක්‍රීඩා මංගල්‍යයයේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිනූ සෑම පදක්කමක්ම දහදිය හා කඳුළු ඇති තරමට තැවරී තිබිණි. බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙවර ටෝකියෝ ඔලිම්පික් උලෙළ සිය ක්‍රීඩා ජීවිතයේ හංස ගීතය ගැයූ අතර, කෝඩුකාරයන් ලෙස සහභාගි වූ තවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් නව ඔලිම්පික් ගමනක් ආරම්භ කළහ. මේ පළවන්නේ ටෝකියෝ ඔලිම්පික් උලෙළේ නොඇසු කතාය. ජයග්‍රහණය සහ පරාජය පසුපස කිසිවකු නොදත් කතාය.
කෝටි 136ක් හදවත් දිනූ හොකී කෙල්ලෝ
ටෝකියෝ ඔලිම්පික් උලෙළේදි ඉන්දීය කාන්තා හොකී කණ්ඩායමට පදක්කමක් දිනා ගැනීමේ වාසනාව අහිමි වූවත් ක්‍රිකට් ක්‍රීඩාවටම උපන් හපන්කම් කියන මේ අසල්වැසි රාජ්‍යය ඔලිම්පික් උලෙළේ වැඩි අවධානයක් දිනා ගැනීමට සමත්විය. ඉන්දීය පිලේ දිරිය සම්පන්න ක්‍රීඩිකාවන් පදක්කම් නොදිනා රටක් ඉහළට ඔසවා තැබූ අයුරු විමතිය දනවන්නකි. ටෝකියෝ නුවර පැවැති හොකී තරග ඉසව්වේ අර්ධ අවසන් පූර්ව වටයේදී ලොව ප්‍රබලතම කණ්ඩායමක් වන ඕස්ට්‍රේලියාව පරදවා අවසන් කණ්ඩායම් හතරට එක්වනතුරුම කිසිවකුගේ අවධානයට ලක් නොවූ මේ ක්‍රීඩිකාවෝ ඉන්දියාව ඉහළට ඔසවා තැබුවේ පළමුවරට ඔලිම්පික් උලෙළේ කාන්තා හොකී අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබමිනි.
එය වූකලී එකම රටක් නියෝජනය කළ ද, විවිධ ආගම් අදහන, විවිධ භාෂා හසුරුවන අපූරු යුවතියන්ගේ කඳුළු කතාවකි. කණ්ඩායමේ නායිකා රානී රාම්පාල් ඇතුළු සෙසු ක්‍රීඩිකාවෝ එකම භාෂාවක් කතා කරන යුවතියෝ නොවූහ. ඇරත් ඉන්දියාවේ විවිධ ප්‍රාන්තවල දුගී දුප්පත් ගම්මානවලින් ජාතික කාන්තා හොකී කණ්ඩායමට එක්වුණු මේ යුවතියන්ට ඉංග්‍රීසි බස පිළිබඳවත් ඒ හැටි දැනුමක් නොතිබිණි. එහෙත් සංගීතය මෙන්ම ක්‍රීඩාවත් විශ්ව භාෂාවක් බව නැවත වරක් ඔප්පු කරමින් සිය මව්බිමට අසීමිත කීර්තියක් අත්කර දීමට ඔවුහු සමත් වූහ. සිය ඔස්ට්‍රේලියානු පුහුණුකරු ඔවුන්ට ආවේණික උච්චාරණයෙන් මේ ක්‍රීඩිකාවන්ට දුන් උපදෙස් ඒ අයුරින්ම පිළි පැදිමට ඔවුන් සමත්වූයේ පුදුමාකාර ලෙසටය.
දැඩි සංස්කෘතික බැඳීම් ඇති, කාන්තාවන්ට එතරම් නිදහසක් නැති ඉන්දියාවේ විවිධ ප්‍රාන්තවලින් හොකී ක්‍රීඩාවට එක්වෙද්දී ඔවුන්ට සමාජයේ ගැරහුමට පවා ලක්වීමට සිදුවී තිබිණි.
‘ගැහැනු ළමයින්ට ක්‍රීඩාව සුදුසු නෑ. අනික මේ සාය කොට වැඩියි‘ හොකී ක්‍රීඩාවට නියමිත ක්‍රීඩා ඇඳුම සම්ප්‍රදායික ඉන්දීය ගම්මානවල වැඩිහිටියන්ගේ දැඩි විවේචනයට ලක්වෙද්දී නිවෙසේ බිත්ති හතරට කොටු කළ ගැහැනු ජීවිතයට නිදහසේ පියාපත් ලැබුණේ මව්බිම නියෝජනය කරන තුරු හොකී පිත්ත අත් නොහැරීමට තිර අධිෂ්ඨානයකින් පසුවීම නිසා වන්නට ඇත.
ඉන්දීය ජාතික හොකී කණ්ඩායමේ වැඩිපුරම සිටියේ දරිද්‍රතාව නිසා නිවෙසින් පැන යෑමට තරම් පීඩනයකට ලක්වී සිටි තරුණියන් පිරිසකි. ඉන් ඇතැම් ක්‍රීඩිකාවන් ගත කළ අඳුරු ජීවිත දෑසට කඳුළු උනන තරම් වේදනාබරය.
විදුලි පහසුකම් නැති, මදුරුවන් තල තලා නිදන්නට සිදුවූ දුෂ්කර ගම්මානවල තරුණියෝ ද මේ ක්‍රීඩිකාවන් අතර සිටියහ. දිනකට වේල් දෙකක් පමණක් අහරයට ගෙන කුස පුරවා ගත් ක්‍රීඩිකාවන් මෙන්ම අනෝරා වැසි සමයේ ගංවතුරට නිවස යටවෙද්දී තමන් වඩාත්ම ප්‍රිය කළ හොකී පිත්ත පමණක් දෝතට ගෙන නිවෙසින් පිටව ගිය ක්‍රීඩිකාවන්ද නැතුවා නොවේ. මේ ඇතැම් ක්‍රීඩිකාවන්ගේ පියවරු කරත්තකරුවෝ වෙති. මව්වරු ධනවතුන්ගේ නිවාසවල මෙහෙකාරියෝය. එනිසාම ක්‍රීඩාවට අවශ්‍ය පෝෂ්‍යදායි ආහාර ලබාදීමට ඔවුන්ට වත්කමක් නොතිබිණි.
එහෙත් නිහතමානීත්වය, දිරිය සම්පන්න බව, කණ්ඩායම් හැඟීම අතින් ඔවුන් එදා ටෝකියෝ නුවර හොකී පිටියේ සැමටම වඩා කැපී පෙනුණි.
ඔලිම්පික් උලෙළේ කාන්තා හොකී ඉසව්වේ අවසන් පූර්ව වටයට ප්‍රථමවරට සුදුසුකම් ලැබූ ඉන්දීය කාන්තා හොකී කණ්ඩායම
සැබෑ මිත්‍රත්වය ලොවට කියා දුන් අපූරු මිතුරෝ
කළ්‍යාණ මිත්‍රයෝ පිළිබඳ නොයෙකුත් කතා තිබුණද, මූටාස් බර්ෂිම් සහ ගියන්මාර්කෝ ටැම්බෙරි ටෝකියෝ නුවර සිට ලොවට දුන් මිත්‍රත්වයේ අපූරු ආදර්ශයට යටපත් වනු සහතිකය. කිලෝමීටර් පන්දහසකට වඩා වැඩි දුරක සිට ජපානයේ ටෝකියෝ නුවර ඔලිම්පික් ගම්මානයට සේන්දු වූ මේ උස පැනීමේ ශූරයන් දෙදෙනා ආපසු සිය මව්බිම බලා පිටත්ව ගියේ ලෝකයාට සැබෑ මිත්‍රත්වයේ උදාන පාඨයක් බවට පත්වෙමිනි.
සෙසු ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම මේ දෙදෙනා ද ටෝකියෝ නුවරට සේන්දු වූයේ එකම අරමුණක් වෙනුවෙනි. ඔවුනොවුන්ගේ රටවලට පදක්කම් දිනා දෙමින් මව්බිමේ කීර්තිය ටෝකියෝ නුවරින් ලොවට ව්‍යාප්ත කිරීමේ අරමුණින් සිය ක්‍රීඩා ඉසව්වට එක්වූ 30 හැවිරිදි බර්ෂිම් සහ 29 හැවිරිදි ටැම්බෙරි දෙදෙනාම පසුවූයේ රන් දිනන තුරු ආපසු නොහැරෙන තිර අධිෂ්ඨානයකි. ජයග්‍රාහකයා තීරණය කරන අවසන් පිම්ම දක්වාම එකිනෙකා ප්‍රතිවාදීහු බවට පත්ව සිටියහ.
එහෙත් මේ දෙදෙනාම එක හා සමාන උස ප්‍රමාණයක් වාර්තා කරමින් සිය තරග ඉසව්ව නිමාවට පත් කළේ විනිසුරුවන්ට දැඩි හිසරදයක් ගෙන දෙමිනි. අවසන් තරගයේදී මීටර් 2.37ක උස ප්‍රමාණයක් වාර්තා කිරීමට සමත්වීම නිසා රන් පදක්කම පිරි නැමිය යුත්තේ බර්ෂිම්ටද නොඑසේනම් ටැම්බෙරිටද ? විනිසුරුවන් මොහොතකට දෙගිඩියාවකට පත් කළ පැනය එය විය.
‘මේ යාළුවා, අපි දෙන්නම රන් ඉල්ලමුද? ‘ කටාර් මුස්ලිම් ජාතිකයාගේ කරට අත දමාගත් ඉතාලියේ දැඩි ක්‍රිස්තියානි භක්තිකයකු වූ ටැම්බෙරි එසේ ඇසුවේය. බර්ෂිම් බලාපොරොත්තුව සිටියේද එයයි.
‘මේ, අපි දෙන්නටම රන් දෙන්න බැරිද..?‘ කරට අත දමාගත් මේ ප්‍රතිවාදීන් දෙදෙනා විනිසුරුවන් විමතියට පත් කරමින් එසේ ඉල්ලා සිටියේය. විනිසුරුවෝ හිස වනා එය පිළිගත්හ.
එපමණකි! මේ තීරණයෙන් උද්දාමයට පත් ඉතාලි ජාතිකයාගේ සතුට නිම්හිම් නැති විය. ඔහු ටෝකියෝ නුවරටම ඇසෙන තරමට ප්‍රීතියෙන් කෑගසමින් බර්ෂිම්ගේ කරට පැන ඔහු සිප වැලඳ ගත්තේය.
ඔලිම්පික් ක්‍රීඩා ඉතිහාසයේ රන් අකුරින් ලියා තැබූ වඩාත්ම අමරණීය සැමරුම එය විය. මිත්‍රත්වය බෙදා හදා ගැනීම රන් දිනනවාට වඩා වටින බව බර්ෂිම් සහ ටැම්බෙරි ලොවට පෙන්නුම් කළේ ජාතීන් අතර විරසකභාවය හේතුවෙන් ලොව පුරා විවිධ රටවල යුද ගැටුම් උත්සන්න වෙමින් පවතින අවදියකය. මනුෂ්‍යත්වයේ උදාර ගතිපැවතුම් මිනිස් සමාජයෙන් තුරන් වී යන අවදියකය.
‘අපි තරුණ පරම්පරාවට දෙන හොඳම පණිවුඩය මෙයයි.‘ කර බැඳි රන් පදක්කම් සිප ගනිමින් ද, කරට අත දමා ගනිමින් ද සතුට සමරමින් බර්ෂිම් සහ ටැම්බෙරි මාධ්‍යයට එසේ කියා සිටියහ.
‘මේ හීනයෙන් ඇහැරෙන්න මට ඕන නෑ.‘ මිත්‍රත්වය, මානව සම්බන්ධතාව, සහජීවනය රන් පදක්කමට වඩා වටිනා බව ලොවට පෙන්වූ මේ උදාර ක්‍රීඩකයන් දෙදෙනා රන් පදක්කම් තුරුළු කර ගනිමින් ආපසු සිය මව්බිම කරා ගියේ දෙදෙනා අතර මිත්‍රත්වය තවත් ශක්තිමත් කර ගනිමිනි.
කාන්තා මීටර් 100 ඉසව්වේ රන් පදක්කම දිනූ ජැමෙයිකාවේ එලයිනා තොම්සන්
අසමසම එලයිනා
ජැමෙයිකාවේ සුපිරි කෙටි දුර ධාවන ශූරිය එලයිනා තොම්සන් හෙරා ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ කාන්තා මීටර් 100 රන් පදක්කම දිනා ගැනීමට සමත් වූයේ නව ඔලිම්පික් සහ ජැමෙයිකානු ජාතික වාර්තාවක් ද බිහි කරමිනි. 29 හැවිරිදි මේ ජවසම්පන්න ක්‍රීඩිකාව ටෝකියෝ නුවරදී මීටර් 100 ඉසව්ව නිමා කළේ තත්පර 10.61ක කාලයක් වාර්තා කරමිනි. මීටර් 200 තරග ඉසව්වේද රන් පදක්කම දිනූ ඇය 2016 රියෝ ඔලිම්පික් ක්‍රීඩා උලෙළේදීද මීටර් 100 සහ 200 රන් පදක්කම්ලාභිනිය වේ.