සොත්ති කකුලෙන් සීත හිමේ ගුස්ති අල්ලා එඩියෙන් ආදරය දිනූ ඔලිම්පික් පිස්සා එඩී | සිළුමිණ

සොත්ති කකුලෙන් සීත හිමේ ගුස්ති අල්ලා එඩියෙන් ආදරය දිනූ ඔලිම්පික් පිස්සා එඩී

 

ඔලිම්පික් උළෙලේ වැදගත් ම දේ වන්නේ ජයග්‍රහණය නොව එහි පාර්ශ්වකරුවකු බවට පත්වීම යි. විජයග්‍රහණය නොවේ වැදගත් අත්නොහැරීමයි.

'ජයග්‍රහණය ඇත්තේ දිලිහෙන පදක්කම් මත නොවේ. එ් පදක්කම් එළිය පරයන ලෙස ක්‍රීඩා ලෝලී මතකයේ සදාකාලික ලැගුම් ගැනීම ය. ඔහු එවැනි මිනිසෙකි. ස්වාභාවික බාධක සියල්ල මැද, අනෙකාගේ විවේචන, කකුලෙන් ඇදීම්, අවලාද, විසුළු සහගත පිළිගැනීම් ඉදිරියේ නොනැවතී ඉදිරියට යෑමය. එසේ ගොස් තමන්ට එරෙහිව තමන් ම ජය ගැනීම ය. ඔහු එවැන්නෙකි. සදාකාලික මතක සිත්තමක් ලෙස මානව ඉතිහාසයේ ඔහුට ඉඩකඩ හිමිවන්නේ ද එහෙයිනි. මේ ඔහු ගැන ගොඩනැඟුණු සිනමාව ය.'

1963 දෙසැම්බර් මස 5 වැනි දා හිරු නොබසින අධිරාජ්‍යයේ ඈත ගමක මෙලොව එළිය දුටු මයිකල් එඩී එඩ්වර්ඩ්ගේ ළමා කාලය එතරම් සුන්දර එකක් නොවී ය. කුඩා කාලයේ ම දණහිසේ ආබාධයක් නිසා වසරකට ආසන්න කාලයක් රෝහලේ ගත කිරීමට සිදු වූ එඩී ට වෛද්‍යවරුන් පැවසුවේ කිසි දිනක ක්‍රීඩාපිටියට පය නොතබන ලෙස යි. එහෙත් ඔහුගේ නොපසුබස්නා අධිෂ්ඨානයට ඒ උපදෙස් කිසිවක් වලංගු නොවී ය. එයට මානසික පිටුබලය සැපයූයේ ඔහු සිය ජීවිතයේ අත්පොතක් ලෙස තබා ගත් එක්තරා කෘතියකි. ඒ පදක්කම් දිනූ ඔලිම්පික් ක්‍රීඩකයන්ගේ විස්තර ඇතුළත් පොතකි. ඔහු ඒ පොත අතැතිව එහි ඇති ක්‍රීඩා අත්හදා බැලීමට, පුරුදු පුහුණු වුණේ නිතැතිනි.

“කවද්ද ඔයාගේ ඔය ඔලිම්පික් පිස්සුව හොඳ වෙන්නේ”

තම කුඩා පුතුගේ වැඩ දෙස බලා සිට දරාගැනීමට නොහැකි වූ මොහොතක එඩීගේ මව දිනක් ඔහුගෙන් විමසීය. ඊට ඔහු ලබා දුන් පිළිතුර පුදුම එකක් විය. ඒ තුළ ගැබ්ව තිබුණේ නොබිඳෙන අධිෂ්ඨානයකි.

“කවදහරි මම ඔලිම්පික් ක්‍රීඩකයෙකු වුණා ම.” ඔහු කීවේ ය.

දැඩි අධිෂ්ඨානයක් ඇත් නම් කළ නොහැක්කක් නොමැති බව ලෝකයාට ඔප්පු කරන්නට පැමිණි ශුභාරංචිකරුවකු වූ ඔහු සෑමදා ම ඔලිම්පික් ක්‍රීඩා අත්හදා බැලුවේ ය. වරෙක ඔහු රිටි පැන්නේ ය. තවත් විටෙක පැන ගියේ කඩුලු මතිනි. තවත් දිනක් බර ඉසිලී ය. එයින් නොනැවතී මිටිය හා හෙල්ල ද විසි කළේ ය. ජවන හා පිටිය ඉසව් සියල්ල ඔහු ම හුරුවිණි.

කෙසේ නමුත් ඒ සියල්ල නි‍ෙවස පිටුපස කුඩා ඉඩකට සීමා විය. සෑම ක්‍රීඩාවක ම අවසාන ප්‍රතිඵලය වූයේ ඔහුගේ කණ්ණාඩි කූට්ටම කැඩී යාම ය. කවදාහරි දිනක ජයග්‍රණය කරන ඔලිම්පික් පදක්කම් දැමීමට සිය මව ලබා දුන් බිස්කට් පෙට්ටිය වෙන් වුණේ මෙලෙස කැඩුණු කණ්ණාඩි කූට්ටම් එකතු කරන්නට ය.

“එඩී.... ඔයා ඔලිම්පික් ක්‍රීඩකයෙක් නෙමෙයි. ඔයා ආබාධිතයෙක්. ඔයාට ගැළපෙන්නේ මම කරන පෙදරේරු රස්සාව. හෙට ඉඳන් ඒක පුරුදු වෙන්න එනවා. ඔය මනස්ගාත නවත්තනවා.” දිනක් තම ඉවසීමේ සීමාව ඉක්මවා ගිය නිසා දෝ හෝ එඩීගේ පියා කීවේ ය.

එලෙස ඔහු කීවේ පුතු දරණ මේ සියලු උත්සාහයන් අසාර්ථක යැයි ඔහුගේ නුවණ වටහා දෙමින් තිබූ නිසා ය. එහෙත්, මිනිසකුගේ දෛවය වෙනස් වීමට එක් නිමේෂයක් වුව ප්‍රමාණවත් ය. අපේ කතානායකයාගේ දෛවය ද සිය පියාගේ වැඩපොළ තුළ දී එසේ වෙනස් විය. ඒ ඊට යාබද ඉඩමේ හිම මත ලිස්සා යෑමේ ක්‍රීඩා පුහුණු පාසලක් පිහිටා තිබීම නිසා ය.

“තාත්තා ඔයා හරි. මම ගිම්හාන ඔලිම්පික් උළෙලට යන්නේ නැහැ. හැබැයි මම අනිවාර්යයෙන්ම හේමන්ත ඔලිම්පික් තරගාවලියට යනවා.” ඔහු කීවේ ය.

නැවතත් එඩී ගේ ඔලිම්පික් උමතුව දරුණු විණි. නමුත් සිය මවගේ උපකාර මත පාදයක් ආබාධ මේ තරුණයා හිම මත ලිස්සා යාමට පුහුණු වන්නට විය. දෛවයට තවදුරටත් ඔහුට සරදම් කරන්නට ඔහු ඉඩ නොදුන්නේ ය. ඒ ඔහුගේ කාමරයේ බිත්ති පුරා හිම මත ලිස්සා යාමේ ක්‍රීඩාවෙන් ලද ජයග්‍රහණ සම්බන්ධ පුවත් වාර්තා, පදක්කම්, කුසලාන, සහතික පත්‍රවලින් පිරී යන්නට වූ නිසා ය. එහෙත් ඔලිම්පික් තේරීම් කමිටුවේ තීරණය වූයේ කනගාටුදායක නිගමනයකි. ඒ “ඔබ කවදාවත් ඔලිම්පික්වලට ගැළපෙන කෙනෙක් නොවේ. ඔබ ආබාධිතයෙක්” යන්න යි.

දෛවය යළිත් අන් ආකාරයකින් ඔහුට සරදම් කළේ ය. එහෙයින් ඔහුට යළි සිය පියා හා පෙදරේරු රැකියාවට යෑමට සිදු විණි. එහෙත් ඔහුගේ සිහින නම් කිසිසේත් ම බිඳ වැටුණේ නැත.

දිනක් අහඹු සිදුවීමක් ලෙස හිම මතින් පැනීමේ ක්‍රීඩාව (ski-jumper) ගැන රූපවාහිනී වැඩසටහනක් නැරඹීමට ඔහුට ලැබෙන්නේ මේ නිසාය. හිම මත ලිස්සා යාමේ තම හැකියාව හිම මත පැනිමේ ක්‍රීඩාව වෙත යොමු කිරීමට තරුණ එඩී තුළ 'එඩියක්' හටගත්තේ ය.

ඔහුගේ පළමු උත්සාහය වූයේ එංගලන්තය නියෝජනය කරන කණ්ඩායමට එක්වීම ය. අවසානාවට 1929 වසරේ සිට එංගලන්තය නියෝජනය කරන කිසිම ක්‍රීඩකයෙක් නොවීම ය. 1929 සිට ක්‍රීඩකයාගේ වාර්තාව වූයේ ද මීටර් 22.9කි. ආසන්න ම පුහුණු කඳවුර ඇත්තේ ද ජර්මනියේ ය. අභියෝග ගොඩකි. එහෙත් ඒ සියල්ල ඇත්තේ එඩී ඉදිරියේ ය. මේ එඩී අභියෝග අභිමුව පසුබසින්නකු නොවිණි.

“මේ පාර ඔයා කරන්න යන්නේ බෙල්ල කඩා ගන්න වැඩක්. කැඩිච්ච කකුලකුත් තියාගෙන බෙල්ලත් කඩාගෙන එනවකෝ.” මාපියෝ කෑගැසූ හ.

එලෙස මාපිය විරෝධය මත ඔහු 'ස්කයි ජම්පර්' පුහුණු කඳවුරට යෑමට තීරණය කළේ ය. එම කඳවුරේදී ද ඔහුට එල්ල වන්නේ විරෝධය පමණි.

“තමුන්ගේ වයස අවුරුදු 22 යි. නමුත් මේ හැම දක්ෂයෙක් ම මේ ක්‍රීඩාවට ආවේ අවුරුදු 6 න්. තමුන් පරක්කු යි.” බොහොමයක් පුහුණුකරුවෝ කී හ.

එලෙස සෑම පුහුණුකරුවකු ම ඔහුව නොසලකා හරිනු ලැබිණි. එවිට ඔහුගේ උනන්දුව හා කැපවීම තේරුම් ගත් බ්‍රෙන්සන් පෙරී නම් පුහුණුකරු එඩී ගැන විවෘත දෑසීන් බැලී ය. සැබැවින්ම පෙරී ද එක්තරා ආකාරයකට එඩී මෙන් හිතුවක්කාරයෙකි. හේ කලකට පෙර අධික බීමත්කම හේතුවෙන් හිම මතින් පැනීමේ ක්‍රීඩාවෙන් නෙරපන ලද්දෙකි. එහෙත් ඔහු එම ක්‍රීඩාවේ

අතිදක්ෂයෙකි.

ඔහුගේ පුහුණු කිරීම මත එඩී තරගාවළි කිහිපයක් ජය ගෙන එතෙක් පැවැති බ්‍රිතාන්‍ය වාර්තාවත් බිඳ හෙළන්නට සමත් වූයේ ඒ අනුව ය. ඉන් සිදුවූයේ හේමන්ත ඔලිම්පික් උළෙලට ඔහු සුදුස්සකු වීම ය. එහෙත් බ්‍රිතාන්‍ය ඔලිම්පික් කමිටුව සිටියේ එඩීට පසමිතුරුවය. එහෙයින් ඔවුන් කළේ නීති රීති වෙනස් කරමින් එඩීට ඔලිම්පික් යෑමට තිබූ අවසරය වසා දමා ඔහුව ඉන් නෙරපීම ය.

නිලධාරීවාදය, සහෝදර ක්‍රීඩකයන් තුළින් එල්ල වන විරෝධය, හිම මතින් පනින ක්‍රීඩකයකු සතු විය යුතු ශාරීරික යෝග්‍යතාවක් නොමැතිකම යන ගැටලු රාශියක් තමන් ඉදිරියේ වූවද ඔහුගේ අධිෂ්ඨානයට ඒ සියල්ල යටපත් විණි. අවසානයේ එඩී 1988 වසරේ කැනඩාවේ පැවැති හේමන්ත ඔලිම්පික් උළෙල නියෝජනය කිරීමට වරම් දිනා ගත්තේ ය.

කැනඩාවේ දී ඔහු මීටර් 70 තරග කාණ්ඩය යටතේ තරග වැද මීටර් 60.5 ක දුරක් වාර්තා කළේ ය. එහෙත් ඔහුගේ බාහිර පෙනුම විසුළුකාරයකුගේ ස්වරූපය ගත් බැවින් සහ එඩීගේ තරග විලාශය රාජාලියකු තටු ගසනා ස්වභාවයක් ගන්නා බැවින් මාධ්‍ය එඩීට අනවර්ථ නාමයක් පටබැන්ඳේ ය. ඒ එඩී ඊගල් හෙවත් එඩී නම් රාජාලියා යනුවෙනි.

මාධ්‍ය ඔහුව ප්‍රවෘත්ති මවන විසුළුකාරයෙක් කළේ එසේ ය. අවසානයේ ඔහු එතෙක් කිසිදු දිනක පුහුණුවීමක් නොකළ තරමක් භයංකර වූ මීටර් 90 තරග කාණ්ඩය යටතේ තරග වැදීමට තීරණය කරනු ලැබිණි. අවසානයේ සියලු බාධක ජය ගෙන ඔහු මීටර් 90 කඩඉම සාර්ථකව නිම කළේ සියල්ලන් මවිත කරමිනි. ජයග්‍රහණයක් නොලැබුවත් හේමන්ත ඔලිම්පික් ඉතිහාසයේ ඔහුගේ නම ලියා තැබීමට ත් නව බ්‍රිතාන්‍ය වාර්තාවක් පිහිටුවීමටත් එඩීට හැකි විණි.

“අපි ඔහුගේ උද්යෝගය හා කැපවීම අගය කළ යුතු යි. ඔහු අනික් ක්‍රීඩකයන්ට ආදර්ශයක්”

එඩීව ප්‍රතික්ෂේප කළ, තවත් විටෙක ඔහුගේ හැකියාව අවතක්සේරු කළ සියලු නිලධාරීන් එඩීගේ මේ කැපවීම අගය කළේ ය. එඩීගේ මේ නොපසුබස්නා උත්සාහය ගැන Eddie the Eagle නමින් 2016 වසරේ දී සිනමාපටයක් ද නිර්මාණය විණි.

ක්‍රීඩාව හුදෙක් ජයග්‍රහණය සඳහා ම නොව ප්‍රේක්ෂකයාගේ ඔල්වරසන් නද, තරග බිමේ ඇති වන තිගැස්ම සියල්ල මුසු වූ අවස්ථාවක අපූර්වත්වය උදෙසා ද ක්‍රීඩා කරන්නන් අප අතර සිටින බව මතක් කිරීමට මෙම චිත්‍රපටය හේතුවක් විය. අභිප්‍රේරණාත්මක ක්‍රීඩා චිත්‍රපට ෂානරය තුළ ඉහළින් ම තැබිය හැකි සිනමාපටයකි මේ.

මිනිත්තු 106 ක් පුරා දිවෙන මෙම සිනමාපටය තුළට 80 දසකයේ ඇමෙරිකානු රොක් සංගීතය අපූරු ලෙස මුසු කර ඇති අයුරු දක්නට ලැබේ. මෙහි අධ්‍යක්ෂණය සිදුකර ඇත්තේ Dexter Fletcher විසිනි. එඩී එඩ්වර්ඩ්ගේ චරිතය සඳහා Taron Egerton ද බ්‍රෙන්සන් පෙරී ගේ චරිතය සඳහා Hugh Jackman ද රංගනයෙන් දායකත්වය සපයති.

සිනමාපටය අවසානයේ පිටපත් රචකයා විසින් සෑම ක්‍රීඩකයෙක් වෙනුවෙන් ම මෙසේ සඳහන් කරයි.

“ඔලිම්පික් උළෙලේ වැදගත් ම දේ වන්නේ ජයග්‍රහණය නොව එහි පාර්ශ්වකරුවකු බවට පත්වීම යි. විජයග්‍රහණය නොවේ වැදගත් අත්නොහැරීමයි.”

එය සත්‍යයකි. විජයග්‍රහණය නොව අත්නොහැරීම ප්‍රගුණ කරන්න. එවිට ඉතිහාසය තුළ ප්‍රේක්ෂක මතකයේ සදාකාලික සිනමාත්මක ෂානරයක් වනු ඇත.

 

Comments